2017 මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය ගලිගමුවෙන් ඇරඹේ

192

සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ප්‍රමුඛතම සන්නාමය වන මන්චි අඛණ්ඩව 10 වන වසරටත් ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියට අනුග්‍රාහක දායකත්වය ලබා දීම සඳහා ඉදිරිපත්ව සිටී.

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සම්මේලනය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය මෙම මස 30 වන දින ගලිගමුව මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ අවසන් මහා තරග නොවැම්බර් මස 10 වනදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

වසරේ දැවැන්ත වොලිබෝල් තරගාවලියට සියල්ල සූදානම්

ශ්‍රී ලංකාව තුළ සංවිධානය වන විශාලතම ක්‍රීඩා උත්සවය හා මෙරට ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම අවධානය දිනා ගන්නා…

පෙර වසරවල දී පැවති අකාරයටම මෙවර ද තරගාවලිය කාන්තා හා පිරිමි නවක සහ සුපර් ලීග් වශයෙන් කාණ්ඩ 04ක් යටතේ පැවැත්වීමට නියමිත ය. ආරම්භයේ දී දිස්ත්‍රික් මට්ටමින් සහ ඉන්පසු ජාතික මට්ටමින් පැවැත්වෙන තරගවලින් අනතුරුව තරගාවලියේ අවසන් මහා තරග පැවැත්වේ.  

ප්‍රථම වරට මෙම තරගාවලියේ ප්‍රධාන තරග කිහිපයක් කොළඹ, ගම්පහ, හම්බන්තොට, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල එළිමහන් ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර ඇත. ඒ අනුව එම අදාළ දිස්ත්‍රික්කවල දී ශ්‍රී ලංකාවේ දක්ෂතම පිරිමි වොලිබෝල් කණ්ඩායම් 8ක් සහ කාන්තා කණ්ඩායම් 6ක් සිය දක්‍ෂතා ප්‍රදර්ශනය කරනු ඇත. මීට පෙර එම ප්‍රධාන පෙළේ තරග පවත්වන ලද්දේ ගෘහස්ථ ක්‍රීඩාංගණවල දී පමණක් වන අතර ඒ අනුව එම තරග නැරඹීමේ අවස්ථාව ලැබුණේ ඉතා සීමිත ප්‍රේක්ෂක පිරිසකට පමණි. නමුත් එම තරග එළිමහන් ක්‍රීඩාංගණවල දී පවත්වන්නේ නම් වැඩි ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවකට ඒවා නැරඹීමට අවස්ථාව ලැබෙන බවට යෝජනාවක් පසුගිය වසරේ දී ඉදිරිපත් විය. ඒ අනුව මෙවර විශේෂ තරග කිහිපයක් එළිමහන් ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ;

“දිවයින පුරා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම කුසලතා දියුණු කර ගනිමින් ජාතික තලයට පිවිසීම සඳහා මන්චි වෙතින් ලැබෙන සහයෝගය අගය කළ යුතුයි. මෙය වාණිජ සමාගමක් සිය වාණිජ අරමුණුවල සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ජාතික මට්ටමේ කර්තව්‍යයක් සඳහා කැපීපෙනෙන ලෙස දායක වූ අවස්ථාවක් ලෙස මා දකිනවා. ඉදිරියටත් මේ උදාර කර්තව්‍යය කරගෙන යාම සඳහා මන්චි වෙත ශක්තිය හා ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.”

එමෙන්ම මෙම අවස්ථාවට එක්වූ සිලෝන් බිස්කට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නලින් කරුණාරත්න මහතා පවසා සිටියේ;

“රටේ ප්‍රධානතම දේශීය සමාගමක් ලෙස අප රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නංවාලීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමඟ එක්වී අප ආයතනය දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කරනවා. මෙම තරගාවලියට මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දීමට අමතරව නිරන්තරයෙන් නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්‍ෂතා දියුණු කර ගනිමින් ජාත්‍යන්තර තලයට පිවිසිය හැකි පදනමක් සකස් කිරීමට අප උත්සාහ කරන්නේ ඒ නිසයි.”

තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි තරග අංශය යටතේ යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, පොලිස්, වරාය අධිකාරි, විදුලිබල මණ්ඩල, වෙළඳසේවා සහ ජාතික තරුණ සේවා සභා යන කණ්ඩායම් 8 තරග වදින අතර එහි කාන්තා අංශයෙන් තරග වදින්නේ යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, පොලිස්, වෙළඳසේවා සහ ජාතික තරුණ සේවා සභා යන කණ්ඩායම් 6යි.

තරගාවලිය සඳහා අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් මස 01 වන දිනෙන් අවසන් වේ.

ජයග්‍රාහකයින් සඳහා පිරිනැමෙන ත්‍යාග සහ කුසලාන පහත පරිදි වේ.

සුපර් ලීග් – කාන්තා සහ පිරිමි

  • පළමු ස්ථානය – රු. 150,000 සහ කුසලානය
  • දෙවන ස්ථානය – රු. 100,000 සහ කුසලානය
  • තෙවන ස්ථානය රු. 50,000 සහ කුසලානය

නවක අංශය – කාන්තා සහ පිරිමි

  • පළමු ස්ථානය – රු. 100,000 සහ කුසලානය
  • දෙවන ස්ථානය – රු. 50,000 සහ කුසලානය
  • තෙවන ස්ථානය රු. 25,000 සහ කුසලානය

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<