ආධුනික අංශයේ වොලිබෝල් ශූරියන් සහ ශූරයින් වන්නේ කවුරුන්ද?

882
Munchee National VolleyballMunchee National VolleyballMunchee National VolleyballMunchee National Volleyball

2016 මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ ආධුනික අංශයේ තරග, දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වී මේ වන විට ජාතික තලය දක්වා පැමිණ ඇත. විශිෂ්ට දස්කම් ගොන්නකින් සැදුම් ලත් කණ්ඩායම් 4ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්, අවසන් මහා තරගයේ කාන්තා සහ පිරිමි අංශයන්හි ශූරතා කිරුල පිළිබඳව සිහින දකිමින් සිටින අතර, සියලු සිහින සැබෑ කරනා අවසන් මහා තරගය, නොවැම්බර් මස 26 වැනි සෙනසුරාදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

සරත් ජෙම්ස් සහ නිව්ස්ටාර් සමාජ අවසන් වටයට

පුරා දින 3ක් මහරගම ජාතික තරුණ සේවා සභා එලිමහන් ක්‍රීඩා පිටියේදී පැවති “මන්චී ජාතික වොලිබෝල් තරගාවලියේ ”ආධුනක අංශයේ ජාතික තරග අතුරින් සරත් මැණික් සහ නිව්ස්ටාර් ක්‍රීඩා සමාජ පිරිමි අංශයේ අවසන් මහා තරගයට…

අවසන් පූර්ව තරගයන් ජයග්‍රහණය කරමින් පිරිමි අංශයෙන් සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය සහ නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය ද, කාන්තා අංශයෙන් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සහ බෝයගම සිරිපැරකුම් ක්‍රීඩිකාවන්ද අවසන් මහා සටනේදී මුහුණට මුහුණ ගැටෙනු ඇත.


පිරිමි අංශය

නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය.

යුධ හමුදා ගජබා රෙජිමේන්තු කණ්ඩායම මෙවර මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය සඳහා තරග වදින්නේ නිව්ස්ටාර් යන නාමය යටතේය. වසර 20කට අධික ඉතිහාසයකට හිමිකම් කියනා ගජබා රෙජිමේන්තු ක්‍රීඩා සමාජය මෑත කාලීනව නම් එතරම් දක්ෂතා ප්‍රකඨ නොකල ක්‍රීඩා සමාජයකි.

ප්‍රථම වතාවට මන්චී ජාතික ශූරතාවයක අවසන් මහා තරගයට පිවිස සිටින මෙම ක්‍රීඩා සමාජය, මෙම තරගාවලියේ ක්‍රීඩා කල හොඳම තරග ලෙසට සිංහ රෙජීමේන්තු කණ්ඩායම සමඟ පැවති තරගයත්, CFC පනාගොඩ කණ්ඩායමත් සමඟ පැවති තරග ද්විත්ව හැඳින්විය හැකිය.

කණ්ඩායමේ දක්ෂතම පන්දු ඔසවන්නන් දෙදෙනා සහ Quick attacker/ ක්ෂණික පහරදෙන්නා යන තිදෙනාම, මෙවර යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරනා බැවින් ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ දක්ෂ ක්‍රීඩකයින් තිදෙදෙනෙකුගේ අඩුපාඩුවක්ද සමඟයි.

Munchee National Volleyball Tournamnet Novices final teams previewකෙසේනමුත් ප්‍රතීවාදීන් හට තියුනු අභියෝගයක් එල්ල කල හැකි ක්‍රීඩකයින් ලෙස පතිරණ, දිනූෂ් සහ ධම්මික යන ක්‍රීඩකයින් හැඳින්විය හැකි අතර මෙම ක්‍රීඩකයින් සියළු දෙනා තරුණ සේවා ක්‍රීඩා සමාජය නියෝජනය කල ක්‍රීඩකයින් වීමද විශේෂත්වයක්.

ජේෂ්ඨත්වය අනුව කණ්ඩායමේ නායකත්වයේ වගකීම් සියල්ල චින්තක මහිල් හට හිමී වී ඇති අතර අවසන් තරගයට පෙර ThePapare.com වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

“අපේ තිබුනු වැරදි, අඩුපාඩුකම් මඟ හරවා ගැනීමට අපි මේ වන විට සමත් ව සිටිනවා, පුහුණු තරග කිහිපයක් අප ඉතාමත් හොඳින් මේ වන විට සෙල්ලම් කරලා තියෙනවා. කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් සමඟ එකතුවෙමින් ප්‍රතිවාදීන්ට හට හොඳ අභියෝගයක් ලබා දෙන්නට අප සූදානමින් පසුවෙනවා .”

කණ්ඩායමේ පුහුණුකරු ලෙස වසර 10ක් ජාතික කණ්ඩායම නියෝජනය කල, දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් තෙවරක් සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයෙකු වන සමන්සිරි සෙනවිරත්න මහතා කටයුතු කරන අතර DSI සුපර් ස්පෝට්ස් තරගාවලියේදී ශූරතාවය දිනා ගත් සාන්ත සර්වේසස් කණ්ඩායමේද පුහුණු කරු ලෙස ද ඔහු කටයුතු කරයි. එමෙන්ම 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසත්, ජේෂ්ඨ ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසත් සමන්සිරි මහතා කටයුතු කරයි.

අවසන් මහා තරගයට පෙර Thepapare.com සමඟින් එකතු වූ සමන්සිරි මහතා,

“අවසන් මහා තරගයට ඇවිත් ඉන්න කණ්ඩායම් දෙකම දක්ෂ කණ්ඩායම් දෙකක්.  ප්‍රතීවාදීන් පන්දුවට පහර දීම අතින් ඉදිරියෙන් පසුවෙනවා. අපි ඔවුන්ගේ පන්දු සාර්ථකව අවහිර කරගනිමින් ක්‍රීඩා කලොත් අපිට තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගන්නා පුළුවන්. නමුත් නිවැරදි ආකාරයෙන් ඔවුන්ගේ පන්දු අවහිර කර ගන්නට නොහැකි වුනොත් අපිට ඒකෙන් අවාසියක් සිදුවේවි.” යැයි පැවසීය.

සංචිතය: චින්තක මහිල්, සජීව මැදවත්ත, ධම්මික ප්‍රසංග, ඉන්දික ප්‍රභාත්, දිනුෂ් ලෂාන්, අනුෂ්ක තරිඳු ශානක, අමිල රුවන්කුමාර, ජනක හසිත්, භාග්‍යාත් පතිරණ, චන්දිම ප්‍රසාද් වික්‍රමසිංහ, ඉෂාර උදය, මාලක හෂාන්

පුහුණුකරු: සමන්සිරි සෙනවිරත්න

යුද හමුදා සංඥා බලකා සහ කපිල ක්රීඩා සමාජයන් පෙරමුණේ

ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් සහ මන්චි ආයතනයේ පූර්ණ අනුග්රාහකත්වයෙන් පැවැත්වෙන මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ…


සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය

ගනර්ස් ක්‍රීඩා සමාජය ලෙසින් පැවති මෙම ක්‍රීඩා සමාජය මේ වසරේදී සරත් ජෙම්ස් නමින් මන්චි වොලිබෝල් තරගාවලියට පිවිසි අතර වොලිබෝල් පිටියේ පෙරලිකාර කණ්ඩායමක් ලෙසින් නම් දරා ඇත.

අවසන් පූර්ව වටය ඔවුන්ට ඉතාමත් අසීරු එකක් වූයේ, වාසනා බේකර්ස් කණ්ඩායම දෙසින් එල්ල වූ ප්‍රභල අභියෝගය නිසාවෙනි. තරග වට 5ක් දක්වා ඇදිගිය එම තරගයේ නිවැරදි මාර්ගයට පිවිසෙන්නට සරත් ජෙම්ස් ක්‍රීඩකයෝ සමත් වූයේ දෙවැනි වටයේ නිමාවත් සමඟිනි. කෙසේ නමුත් වාසනා ක්‍රීඩකයෝ අසරණ කරමින් ඔවුන් 3:2ක් ලෙසින් අවසන් පූර්ව වටය නිමාවට පත් කලෝය.

Munchee National Volleyball Tournamnet Novices final teams previewකණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයින් දෙස අවධානය යොමු කිරීමේදී කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුම එකිනෙකාට නොදෙවෙනි වන අතර නායකත්වය හොඹවන චමින්ද පුෂ්පකුමාර පවා ජාතික තලයේ ක්‍රීඩකයෙකු වීම කණ්ඩායමට ඉතාමත් වාසි සහගත වනු ඇත. ඔහු 2012 වර්ෂයේ මන්චී තරගාවලියේ හොඳම ඔසවන්නා ලෙස ඇගයීමට ලක් වූ අතර 2010 වර්ෂයේදී ජාතික කණ්ඩායම පවා නියෝජනය කල ක්‍රීඩකයෙකුද වේ.

“අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ 12ම එකම කණ්ඩායමක හිටියේ නැහැ. පසුගිය දවස් වලදී මොකද කියනවා නම් ක්‍රීඩකයෝ කිහිප දෙදෙනෙක් යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැඳුනු නිසා. කෙසේ නමුත් මේ වන විට ඔවුන් නැවතත් කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. ඉතිං අපි දොලොස් දෙනාම ශූරතාවය අපේ කණ්ඩායමට ගේන්න දැඩි උත්සාහයක් ගන්නවා.” යැයි කණ්ඩායම් නායක චින්තක ThePapare.com සමඟින් පැවසීය.

කණ්ඩායම් පුහුණුකරු ලෙස කටයුතු කරනා ඉන්දික ගල්කන්දගේ මහතා පවා සිය කණ්ඩායම පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවේ.

“අවසන් මහා තරගයේදී කෙසේ හෝ ශූරතාවය දිනා ගන්න තමයි අපේ බලාපොරොත්තුව. ප්‍රතිවාදීන් පවා අපට හොඳ තරගයක් ලබා දෙයි. කොහොම හරි තරග වට පහ දක්වා ගොස් තරගය ජයග්‍රහණය කරනවා. කණ්ඩායමේ ක්‍රීඩකයින් පවා හොඳ විශ්වාසයකින් පසුවෙනවා ඔවුන්ගේ දක්ෂතාවයන් ගැන.”

සංචිතය: චමින්ද පුෂ්පකුමාර (නායක), අමිල ජයවර්ධන, අනුර කුමාරසිරි, අමිල ප්‍රසාද්, කෝසල රවිජිත් සේනාරත්න, ප්‍රියන්ත සමන්කුමාර, සිසිල් ජීවන්, ගයාෂාන් දසනායක, ධනංජය දේශප්‍රිය, නලීන් කරුණාරත්න, සුදර්ශණ ලක්මාල්, අනුජ් විජේසිංහ

පුහුණුකරු: ඉන්දික ගල්කන්දගේ


කාන්තා අංශය

බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය.

60 දශකයේදී සිය පෞද්ගලික ධනය යොදවමින් සිරි පැරකුම් ප්‍රජා මණ්ඩලය ආරම්භයට මහෝපකාරී වූ පුද්ගලයෙකු වන්නේ ජී. සෝමපාල සාම විනිසුරු තුමාය. අද වන විට බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය දක්වා පරිනාමය වූ මෙම සමාජය ජාතික මට්ටම දක්වා පිය නැගූ නමුත් මෑත වකවානුවේදී ඔවුන් ජාතික තලය ජයග්‍රහණය කරමින් විශිෂ්ට පෙලහර පෑමක නිරතවෙයි. අධ්‍යාපනයත්, ක්‍රීඩාවත් සමබරව පවත්වාගෙන යන ක්‍රීඩිකාවන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වන අතර, 2016 අ.පො.ස සාමාන්‍ය පෙල කඩඉමට මුහුණ දෙන ක්‍රීඩිකාවන්ගෙන්ද යුක්තවේ.

මෑත කාලීන දක්ෂතාවයන් දෙස අවධානය යොමු කරන කල, රූපවාහිනි වොලිබෝල් සමස්ත ලංකා ශූරතාවය, යෞවන සමාජ 29න් පහළ සමස්ත ලංකා ශූරතාවය, DSI සුපර් ස්පෝට්ස් 18න් පහළ සමස්ත ලංකා ශූරතාවය, ජාතික පාසල් සමස්ත ලංකා 19න් පහළ ශූරතාවය ආදී ගූරතාවයන් රැසක් දිනා ඇති අතර, DSI සුපර් ස්පෝට්ස් 16න් පහළ සමස්ත ලංකා අනුශූරතාවත්, ජාතික පාසල් සමස්ත ලංකා 17න් පහළ තෙවැනි ස්ථානයත්, ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් අංශයෙන් තෙවැනි ස්ථානයත් සහ ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ තෙවැනි ස්ථානයත් දිනා ගන්නට ඔවුන් සමත් විය.

Munchee National Volleyball Tournamnet Novices final teams previewලාබාල ක්‍රීඩිකාවන් පිරිසකගෙන් සැදුම් ලත් මෙම කණ්ඩායම, මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ දී ප්‍රභල, අත්දැකීම් බහුල, වයසින් මුහුකුරු ගිය ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් යුධ හමුදා කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් ලබා දෙමින් තරග වට 3:1ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගත් අතර, ආධුනික තරගාවලිය පුරාවටම විශිෂ්ඨ ලෙස දස්කම් දක්වමින් අවසන් මහා තරගයේ අසුන් වෙන් කර ගත්තාය.

කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩිකාවන් ලෙස පිට පිටම දක්ෂතම ක්‍රීඩිකාව, පන්දු ඔසවන්නිය සහ ප්‍රහාරිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ නිමේෂිකා සෙව්වන්දී, සුනේත්‍රා ප්‍රියදර්ශණී සහ චතුනි මධුවන්තිකා යන ක්‍රීඩිකාවන්, ගුවන් හමුදාවට අභියෝග කරනා ප්‍රමුඛතම ක්‍රීඩිකාවන් වන්නේය. මෙවර පැවති රූපවාහිනි වොලිබෝල් තරගාවලියේදී විශේෂ දක්ෂතා සම්මාන 7ම ලබා ගත් ක්‍රීඩිකාවන් 7 දෙනෙකුම අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම අභියෝගය කොතරම්දැයි මනාවට පසක් කරදෙයි.

“අවසන් මහා තරගයට අපි පිවිසෙන්නේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමඟයි. ඔවුන් සමඟින් තරග කරන්නට අපි ඉතාමත් හොඳ සූදානමකින් පසුවෙනවා. කණ්ඩායම් පුහුණුකරු අමිල සර් ඉතාමත් හොඳින් අපේ කණ්ඩායම පුහුණු කරවනවා වගේම ගුවන් හමුදා ක්‍රීඩිකාවන් හට හොඳ අභියෝගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.” යැයි කණ්ඩායම් නායිකා සුනේත්‍රා ප්‍රියදර්ශණි ThePapare.com හා පැවසීය.

සිරි පැරකුම් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු අමිල විජේපාල මහතා අවසන් මහා තරගය පිළිබඳව ThePapare.com සමඟින් පවසා සිටියේ,

“ගුවන් හමුදා කණ්ඩායම කියන්නේ කාන්තා වොලිබෝල් ක්ෂේත්‍රයේ ආධිපත්‍ය පතුරුවාගෙන සිටින ප්‍රභල කණ්ඩායමක්. ඔවුන් අත්දැකීම් අතින් ද ඉදිරියෙන් සිටින කණ්ඩායමක්. නමුත් ඔවුන්ට හොඳ තරගයක් දෙමින් අවසන් මහා තරගය ජයග්‍රහණය කරන්න දැඩි අධිෂ්ඨානයෙන් අපි පසුවෙනවා. ඒ වගේම අපේ කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් සිටිනවා, ඔවුන්ගේ දක්ෂතාවයන් උපරිමයෙන් අවසන් සටනේදී දක්වාවී.”

සංචිතය: සුනේත්‍රා ප්‍රියදර්ශණි (නායිකා), නිමේෂිකා සෙව්වන්දි, චතුමි මධුවන්තිකා, කාවින්දි අසන්තිකා, නෙරංජලා සරෝජිනි, දිලුක්ෂි හර්ෂිනි, පියුමි ලක්මාලි, නදීකා මධුෂානි, සචිනි රුවන්තිකා, රෂ්මි දිව්‍යාංජලී, රෂිනි ප්‍රමෝදි, අහිංසා දිල්ෂානි.

පුහුණුකරු: අමිල විජේපාල

ආධුනික අංශයේ දිස්ත්රික් වොලිබෝල් ශූරයෝ ජාතික වටයට

ශ්රී ලංකා ජාතික ක්රීඩාවේ තවත් දැවැන්ත තරගාවලියක් වන මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ ආධුනික අංශයේ දිස්ත්රික් මට්ටමේ තරග…


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය.

ගුවන් හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ක්‍රීඩා සමාජය, මෙවර ආධුනික අංශයට තරග කරන්නේ සුපර් ලීග් වටය සඳහා ද කණ්ඩායමක් සහභාගී කරවමිනි. එම වටයට තෝරා නොගත් ක්‍රීඩිකාවන්ගෙන් මෙම කණ්ඩායම නිර්මාණය කර ඇති අතර කණ්ඩායමේ ඉතිහාසය 90 දශකයෙනුත් ඈතට විහිදී ගොස් ඇත.

කණ්ඩායමේ මෑත කාලයේ ලද ජයග්‍රහණ දෙස අවධානය යොමු කිරීමේදී 2011 වර්ෂයේදී පැවති මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේදී ජාතික ශූරියන් බවට පත් විය. 2015 වර්ෂය වන තෙක් පිට පිටම රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ දී කාන්තා ශූරතාවය ලබා ගත් අතරම 2016 වර්ෂයේදී පැවති ආරක්ෂක සේවා වොලිබෝල් තරගාවලියේද ශූරතාවය ලබා ගැනීමට ඉවහල් වූ ක්‍රීඩකාවන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වී ඇත.

Munchee National Volleyball Tournamnet Novices final teams previewමෙවර තරගාවලියේදී කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් හමුවේ වඩාත් අභියෝගාත්මක තරගයකට ඔවුන් මුහුණ දුන් අතර එහිදී තරග වට 3:1ක් ලෙසින් ජයග්‍රහණය කරන්නට ගුවන් සෙබලියෝ සමත් වූහ.

කණ්ඩායම් නායිකාව ලෙස නිරෝෂා ලක්මිනි ගුණසිංහ කටයුතු කරන අතර ඇය වොලිබෝල් ක්‍රීඩාව පිලිබඳව හසල දැනුමක් ඇති ක්‍රීඩිකාවක් ද වේ.

ThePapare.com සමඟින් අදහස් දැක්වූ නිරෝෂා පැවසූවේ, “කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සියලු දෙනා යහපත් ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් පසුවෙනවා. වෙරල වොලිබෝල් ක්‍රීඩා කල ක්‍රීඩිකාවක් සහ කනිශ්ඨ සංචිතය නියෝජන ක්‍රීඩිකාවන් සිටින අතර අනෙක් ක්‍රීඩිකාවන් ආධුනික අය. ඉතිං සියළු දෙනාම එකට එකතු කරගෙන එකාමෙන් ක්‍රීඩා කරලා අවසන් තරගය ජයග්‍රහණය කරන එක තමයි අපේ බලාපොරොත්තුව.”

කෙටි කලක් ඇතුලත පුහුණු වීම් කටයුතු සිදුකරමින් මේසා දස්කම් ප්‍රමාණයක් දැක්වීමට ගුරුහරුකම් දුන් පුහුණුකරු වන්නේ උපුල් නිශාන්ත යි. ගුවන් හමුදාවේ වොලිබෝල් පුහුණුකරුවෙකු ලෙස සේවය කරනා උපුල් මහතා අවසන් මහා තරගයට ප්‍රථම ThePapare.com හා අදහස් දක්මවින් පැවසූවේ,

“ප්‍රතීවාදීන්ගේ ක්‍රීඩා විලාසයන් නිවැරදිව හඳුනා ගනිමින් අප ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා. වොලිබෝල් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කල ක්‍රීඩිකාවන් එකතු කරගනිමින් කෙටි කලක් ඇතුලත පුහුණුවීම් කටයුතු කරමින් තමයි මේ දක්වා පැමිනියේ. අවසන් මහා තරගයේදී ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් දීමට අපි බලාපොරොත්තුවෙනවා.”

තවද ඔහු ගුවන් හමුදාපති තුමන් ඇතුලුව ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ වොලිබොල් අංශයේ ලේකම් සහ සභාපති ඇතුලුව සමස්ත ක්‍රීඩා අංශයේම ලේකම් සහ සභාපතිට සිය ස්තූතිය ප්‍රකාශ කිරීමට අමතක නොකලේය.

සංචිතය: නිරෝෂා ලක්මිනි (නායිකා), ආශා නිල්මිණි, නදීෂා දිව්නුවනි, ශානිකා ප්‍රියදර්ශණි, සචිනි චාරුකා, අමානි කෞෂල්‍යා, මල්ෂා ප්‍රියමාලී, නදීකා සඳමාලී, විනෝදී කෞෂල්‍යා, ෂාලිකා ලක්ෂානි, තිලිණි සෙව්වන්දි, ගයාරා නදීෂානි

පුහුණුකරු: උපුල් නිශාන්ත

කණ්ඩායම් පිළිබඳව ඔබේ මතය සහ සුභ පැතුම් පහතින් ප්‍රකාශ කරන්න.