ප්‍රබල වරාය පරදා ගුවන තෙවැනි තැන දිනයි

752

අවසන් මහා තරගයක අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කළ තරගයක් වන අද (12) පැවති මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ තෙවැනි ස්ථානය සඳහා වන තරගයේ දී, ප්‍රබල වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පරාජය කරමින් ගුවන් හමුදා ක්‍රීඩකයින් වට 3/2ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

වරාය පරාජය කරමින් කැෂුවල්ලයින් තෙවැනි තැන දිනයි

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හමුවේ තරග වට 3/1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට MAS ක්‍රීඩිකාවන්…

ඊයේ (11) විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින් හමුවේ 3/0ක් ලෙස පරාජය වෙමින් වරාය අධිකාරි ක්‍රීඩකයින් තෙවැනි වටය සඳහා පිවිසි අතර ගුවන් හමුදාව මීට පිවිසියේ යුද හමුදාව හමුවේ පැවති තියුණු තරගයකින් තරග වට 3/1ක් ලෙස පරාජය වෙමිනි.

ඊයේ පැවති අවසන් පූර්ව වටයේ දී මෙන්ම මෙහි දී ද වරාය ක්‍රීඩකයින් සාර්ථකව තරගය ආරම්භ කිරීමට අසමත් විය. තරගයේ ප්‍රථම ලකුණු වරාය විසින් ලබා ගත් නමුත් තරග වටයේ මැදක් වත්ම පෙරමුණ ගන්නට ප්‍රතිවාදී ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය. කෙසේ නමුත් වරාය ක්‍රීඩකයින්ට මෙම තරග වටය ගිලිහී ගියේ නිවැරදි රිද්මය හඳුනා ගැනීමට නොහැකි වීම නිසාවෙනි. තරග වටය නිමා වූයේ 18-25ක් ලෙස ගුවන් හමුදාවට ජය හිමි වෙමිනි.

දෙවැනි වටයේ දී වරායෙන් ඉහළ ගිය පන්දුව බිම පතිත වූයේ ප්‍රතිවාදීන්ට ලකුණක් ලබා දෙමිනි. මෙම වටයේ 5-5ක් වන තෙක් කණ්ඩායම් ද්විත්වයම එකට එක කරමින් ක්‍රීඩා කළ නමුත් ඉන්පසුව වරාය ක්‍රීඩකයින් සම්පූර්ණ තරග වටයේ දී ම පෙරමුණ ගන්නට සමත් විය. පරතරය ඇතැම් අවස්ථාවන් හි 9ක් දක්වා වැඩි වූ අතර දෙවැනි වටය නිමා වූයේ 15-25ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජය වෙමිනි. ජාතික තලයේ ක්‍රීඩකයෙකු වන වරාය කණ්ඩායමේ ජනිත සුරත් සාර්ථක පිරිනැමීම් කිහිපයකින් ලකුණු රැස් කිරීම වරායට පෙරමුණ ගැනීමට විශාල සහයක් විය.

වරාය කණ්ඩායමට විදුලි සැරයක්

2017 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අවසන් පූර්ව තරගයේ…

දැඩි පීඩනයක් සහිතව තෙවැනි වටයට අවතීර්ණ වූ ගුවන් හමුදාව තරග වටයේ ආරම්භයේ දී ම සාර්ථක වන්නට නොහැකි විය. ජයග්‍රහණයේ සුපුරුදු රිද්මය නිවැරදිව ග්‍රහණය කර ගැනීමට හැකි වූ ආකාරයක් පෙන්නුම් කළ වරාය ක්‍රීඩකයින්, මෙම වටයේ දී ද පෙරමුණ ගැනීමට සමත් විය. ගුවන් ක්‍රීඩකයින් දැඩි පීඩනයකට හසු කරමින් තෙවැනි වටය නිමා වූයේ 25-18ක් ලෙස වරාය පෙරමුණ ගනිමිනි.

කෙසේ නමුත් තරගය වට හතරකින් නිමා වේ යැයි බලාපොරොත්තුවක් තිබුණත්, ආරම්භයේ සිටම ගුවන් හමුදා ක්‍රීඩකයින් ඔවුන්ගේ මානසිකත්වය නැවතත් සකසා ගනිමින් තරග කරනු දක්නට ලැබුණි. කරට කර ඇදී ගිය තරගයේ එක් අවස්ථාවක දී 24-21ක් ලෙස වරාය ක්‍රීඩකයින් ඉදිරියෙන් පසු වූවත්, තත්වය වෙනස් වී ගියේ ගුවන් සෙබළුන් ඉතාමත් දක්ෂ අයුරින් ක්‍රීඩා කරමින් තරගය 28-30ක් දක්වා ඇදී ගොස් ජයග්‍රහණය කිරීමෙනි.

තීරණාත්මක 5 වැනි වටය කවුරුන් ජයග්‍රහණය කරයි දැයි අනුමාන කිරීමට නොහැකි තරම් තියුණු එකක් විය. අවසන් මහා තරගයක සිරිය ගෙන ආ මෙම තෙවැනි ස්ථානය වන තරගයේ පස්වැනි වටයේ දී 5-6ක් ලෙස ලකුණු පුවරුව දිස්වන තෙක් කරට කර පැමිණි තරගය, එක්වරම වෙනස් වන්නේ 5-8ක් වන විට කණ්ඩායම් දෙක පිටියේ ස්ථාන මාරු කර ගැනීමත් සමඟයි. වරාය ක්‍රීඩකයින් ලකුණු පහේම පවත්වා ගනිමින් ඉදිරියට ඇඳී ගිය ගුවන් හමුදා ක්‍රීඩකයින් මෙම වටය නිමා කළේ 06-15ක් ලෙස තෙවැනි ස්ථානය ජයග්‍රහණය කරමිනි.

වරාය ක්‍රීඩකයින් ගියවර ශූරතාවය දිනා ගත් නමුත් මෙවර ඔවුන්ට තෙවැනි ස්ථානය හෝ දිනා ගැනීමට නොහැකි වීම පුදුමයකට කරුණකි. මෙම තරගාවලියේ දී ම ප්‍රථම වටයේ පැවති තරගයක දී වට 3/1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ද ගුවන් සෙබළුන් සමත් විය.

ලකුණු තත්වය:

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය (18-25, 25-15, 25-18, 28-38, 06-15) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<