වරාය ක්‍රීඩිකාවන් පරාජය කරමින් යුද සෙබළියන් අවසන් මහා සටනට

417

2017 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී, ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩිකාවන් පරාජය කරමින් අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් සමත් විය. තරගය අද (10) මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

MAS අභියෝග නොතකා ගුවන් සෙබළියන් අවසන් මහා තරගයට

ආරම්භයේ දී තරමක් අසාර්ථක වූ නමුත් ගුවන් හමුදා සෙබළියන් තරග වට 3/1ක් ලෙස MAS කැෂුවල්ලයින්…

අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී වරාය අධිකාරි කණ්ඩායම, ගුවන් හමුදාව හමුවේ 3/2ක් ලෙස පරාජය වෙමින් සහ නාවික හමුදාව හමුවේ 3/2ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. යුධ හමුදා ක්‍රීඩිකාවන් 3/0ක් ලෙස MAS කැෂුවල්ලයින් සහ ජාතික තරුණසේවා සභා ක්‍රීඩිකාවන් අර්ධ අවසන් පූර්ව තරගවල දී පරාජය කරන ලදි.

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඔවුන් 1999 වසරේ දී ජාතික ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර අඛණ්ඩව වසර 6/7ක් එම ශූරතාවය ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් විය. කෙසේ නමුත් අතර මැද දී එම වාර්තාව බිඳී ගොස් ඇති නමුත් ඉන්පසුවත් අඛණ්ඩව තවත් වසර 3ක් ශූරතාවය ජයග්‍රහණය කිරීමට වරාය ක්‍රීඩිකාවන් සමත් වී ඇත. එමෙන්ම ඔවුන්ගේ පුහුණුකරු වන රවින්ද්‍ර විජේරත්න වසර 20ක් පුරාවට වරාය අධිකාරි සමාජයට ගුරුහරුකම් දී ඇති ජ්‍යේෂ්ඨ පුහුණුකරුවෙකි.

ඒ අනුව වයසින් පමණක් නොව අත්දැකීම් අතින් ද ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් පිරිවරා ගත් වරාය අධිකාරි ක්‍රීඩිකාවන් හමුවේ ප්‍රථමයෙන්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ යුද සෙබළියන් විසිනුයි. යොවුන් යුද ක්‍රීඩිකාවන් හමුවේ නොසැලී ඉදිරියට ඇදෙමින් වරාය ක්‍රීඩිකාවන් එකට එක කරමින් ඉදිරියට ඇදී ගියේය. කෙසේ නමුත් ලකුණු එකක හෝ දෙකක ඉදිරියක් පමණක් තබා ගනිමින් යුද සෙබළියන්ව පාලනය කරන්නට වරාය ක්‍රීඩිකාවෝ සමත් වූහ. නමුත් පළමු වටයේ අවසානයට ලංවත්ම 22-22ක් ලෙස ලකුණු පුවරුව සමකරන්නට වරාය ක්‍රීඩිකාවෝ සමත් වූහ. කෙසේ නමුත් වඩාත් තීක්ෂණව සහ උපායශීලීව ක්‍රීඩා කරමින් යුද හමුදා ක්‍රීඩිකාවන් තරගය අවසන් කළේ 25-23ක් ලෙසයි.

වරාය, ගුවන් හමුදාව, කැෂුවල්ලයින් හා යුද හමුදාව අර්ධ අවසන් වටයට

MAS කැෂුවල්ලයින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා යුද හමුදා ක්‍රීඩා…

දෙවැනි වටයේ දී ද ප්‍රථම වටයේ මෙන් කණ්ඩායම් දෙකම කරට කර ක්‍රීඩා කළ අතර දෙවැනි වටයේ ද ආරම්භය ලබා ගත් යුද හමුදා ක්‍රීඩිකාවන් මෙම වටයේ දීත් ආරම්භය ලබා ගත්තේය. කෙසේ නමුත් මෙම තරග වටය ද නිමා වන්නේ 21-25ක් ලෙස ලකුණු 4කින් යුද සෙබළියන් පෙරමුණ ගනිමිනි.

යුද හමුදා ප්‍රේක්ෂකාගාරයේ උණුසුම් සහයෝගයත් සමඟින් තීරණාත්මක තෙවැනි වටය සඳහා කණ්ඩායම් අවතීර්ණ වූ අතර මෙම වටයේ ද ප්‍රථම ලකුණ වාර්තා කරන්නේ යුද හමුදා ක්‍රීඩිකාවන් විසිනුයි. වරාය කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩිකාවක් වන වාසනා මධුමාලි පාලනය කරමින් යුද සෙබළියන් ඉදිරියට ඇදෙන්නට වූ අතර මෙම වටයේ ආරම්භයේ දී වරාය ක්‍රීඩිකාවන් හොඳ තරගයක් ලබා දුන් නමුත් ක්‍රම ක්‍රමයෙන් යුද සෙබළියන් තරගයේ පාලනය සියතට ගැනීම හේතුවෙන් වරාය ක්‍රීඩිකාවන් සිය අපේක්ෂා අතහැරී බවක් පෙනුනි.

තරගයේ 9-10ක් ලෙස පැවති ලකුණු පුවරුව අවසානයේ 16-25ක් ලෙස ලකුණු 9ක පරතරයක් සහිතව ජය ගන්නට යුද සෙබළියන් සමත් විය. ඒ අනුව මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් වටයේ අවසන් මහා තරගය සඳහා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමඟින් තරග කරන්නට යුද හමුදා ක්‍රීඩිකාවන් අවස්ථාව වෙන්කරගන්නා ලදි.

ලකුණු තත්වය:

යුද හමුදාව (25-23, 25-21, 25-16) ශ්‍රී ලංකා වරාය අධිකාරිය

මීළඟට, තරගාවලියේ පිරිමි අවසන් පූර්ව තරග ආරම්භ වීමට නියමිත අතර තරගයේ සජීව විකාශය සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<