වරාය කණ්ඩායමට විදුලි සැරයක්

1785

2017 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අවසන් පූර්ව තරගයේ දී, ගියවර ශූරතාවය දිනූ වරාය අධිකාරි ක්‍රීඩා සමාජය සහ අනුශූරතාවය දිනූ විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය පිටියට පිවිසි අතර ගියවර ශූරයින්ට මෙවර කුසලාන සිහිනය අහිමි වෙමින් අවසන් මහා තරගයට අසුන් වෙන් කර ගැනීමට විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින් සමත් විය.

සෙබළුන් අතර ද්වන්ද සටනින් ජය යුද හමුදාවට

මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් නිමා වූ යුද හමුදාව සහ ගුවන් හමුදාව…

අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් දෙකක් වන වරාය අධිකාරිය සහ විදුලිබල කණ්ඩායම අතර මෙම තරගය, දිනයේ පැවති අනෙක් තරගවලට සාපේක්ෂව තරමක් මන්දගාමීව ආරම්භ වූ අතර ප්‍රථමයෙන්ම ලකුණු වාර්තා කරන්නේ වරාය අධිකාරි ක්‍රීඩා සමාජයයි. තරගය මන්දගාමීව සහ උද්යෝගයකින් තොරව ගලාගෙන ගිය නමුත් වරාය ක්‍රීඩකයින් පෙරමුණේ පසු විය. කෙසේ නමුත් තරගයේ ලකුණු පරතරය 6ක් දක්වා විටෙක වර්ධනය වී තිබුණු අතර තරග වටයේ අවසානයට වත්ම කණ්ඩායම් දෙකම සිය සුපුරුදු දක්ෂතා ප්‍රකට කරනු දක්නට ලැබුණි.

24-19ක් ලෙස වරාය ක්‍රීඩකයින් ඉදිරියේ සිටි මොහොතේ දී වරාය ක්‍රීඩකයින් අතින් පන්දුව ලබා ගැනීමේ දී සිදු කළ වැරදි කිහිපයක් නිසාවෙන් විදුලිබල ලකුණු පුවරුව 24-23ක් දක්වා වර්ධනය විය. එතැන් පටන් තරග වටයේ අවසානය වන තෙක් ලකුණු මට්ටම් සමවෙමින් ගමන් කළ අතර කෙසේ හෝ එම වටය අවසන් වූයේ කිසිවෙකු නොසිතූ ලෙස විදුලිබලය 27-29ක් ලෙස පෙරමුණ ගනිමිනි.

ජයග්‍රාහී රිද්මය හඳුනාගත් විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින් දෙවැනි වටයේ දී ද පෙරමුණ ගැනීමට සමත් විය. දෙවැනි වටයේ දී කණ්ඩායම් දෙක අතර ලකුණු 7ක පරතරයක් සහිතව විදුලිබල ක්‍රීඩකයින් පෙරමුණේ පසු විය. කෙසේ නමුත් තවමත් ජයග්‍රාහී රිද්මය සොයා ගත නොහැකිව සිටින වරාය ක්‍රීඩකයින් 20-25ක් ලෙස දෙවැනි වටයේ දී පරාජයට පත්විය.

තෙවැනි වටයේත් ආරම්භය වරාය ක්‍රීඩකයින් විසින් ලබා ගන්නා ලදි. කණ්ඩායම් ද්විත්වයටම මෙම තරග වටය ඉතාමත් තීරණාත්මක තරග වටයක් වන අතර එහි ඇති තීරණාත්මක බව මනාව වටහා ගත් වරාය ක්‍රීඩකයින් කලින් වට මෙන් නොව දැඩි වගකීමකින් යුතුව ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. තරග වටයේ අවසානය දක්වා වරාය ක්‍රීඩකයින් ජයග්‍රාහි ලීලාවෙන් තරග කරනු පෙනුනත් එය වෙනස් වූයේ විදුලිබල ක්‍රීඩකයින්ගේ නැවත පිබිදීමත් සමඟයි. එම පිබිදීම හමුවේ නැවතත් අසරණ වූ වරාය ක්‍රීඩකයින්ට මෙවර අවසන් මහා තරගය මඟ හැරී ගියේ විදුලිබල කණ්ඩායම 21-25ක් ලෙස එම තරග වටය ජයග්‍රහණය කිරීම නිසාවෙනි.

ඒ අනුව මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගයේ දී යුද හමුදා ක්‍රීඩා සමාජය සමඟින් තරග කරන්නට විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින්ට අවස්ථාව උදා විය.

ලකුණු තත්වය:

විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය (29-27, 25-20, 25-21) වරාය අධිකාරි ක්‍රීඩා සමාජය

තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 18 වැනි දා මහනුවර තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<