විදුලි බලයට අභියෝග කරන්නට වරාය ක්‍රීඩකයන් සූදානම්

914

“මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සිව්වන දිනය නිමාවට පත්වන විට, පිරිමි අංශයෙන් විදුලි බල මණ්ඩල කණ්ඩායමත්, වරාය අධිකාරී කණ්ඩායමත් සහ කාන්තා අංශයෙන් ගුවන් හමුදා සහ කැෂුවල් ලයින් කණ්ඩායමත් තරඟාවලි ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් මහා තරගයට අසුන් වෙන්කරගන්නට සමත් විය. තරඟාවලිය පැවැත්වෙන්නේ මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේ දීයි.

ඊයේ දිනයේ ලිපිය: විදුලි බලය තුරුණු ජවය හමුවේ පරාජය වේ

 පිරිමි අංශය 

විදුලි බල මණ්ඩල කණ්ඩායමට එරෙහිව ගුවන් හමුදා කණ්ඩායම

ඊයේ (14) දිනය අවසානයේදී අලස ක්‍රීඩා ශෛලියකින් තරඟ කළ විදුලි බල මණ්ඩල කණ්ඩායමේ දැවැන්ත ක්‍රීඩකයින්, අද (15) දිනයේ ප්‍රථම තරඟය තුළදී ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියේ සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත්විය.

ප්‍රථම වටයේදීම වේගවත් ප්‍රහාරයන් දියත් කළ දීප්ති රුමේෂ්, වත්මන් ශ්‍රී ලංකා වොලිබෝල් පිටියේ ප්‍රබලතම ප්‍රහාරකයා තමන් බව යළිත් සනාථ කළේය. ගුවන් හමුදා ක්‍රීඩකයන්ද ප්‍රමේෂ් සුදසිංහ, මිලාන් ජයවර්ධන වැනි ක්‍රීඩකයන් සමඟින් විදුලි බල මණ්ඩලයට අභියෝග කළත් 25-22ක් ලෙස විදුලි බල මණ්ඩල ක්‍රීඩකයන් ප්‍රථම වටය ජයගත්තේය.

දෙවන වටය උණුසුම් කරමින් 25-22ක් ලෙස එහි ජය අත්පත් කරගත්තේ ජගත් සංජය ප්‍රමුඛ ගුවන් හමුදා ක්‍රීඩකයන් ය.

තෙවන වටය තුළදී විදුලි බල මණ්ඩල නායක එම්. ප්‍රේමරත්න, විශිෂ්ට ආක්‍රමණයක නියැලෙමින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයකුගේ දස්කම් තරඟයට එක් කළේය. ඒ අනුව එහි ජය හිමි වූයේ 25-21ක් ලෙස විදුලි බල මණ්ඩලයටයි. ක්‍රීඩකයන් උස් හඬින් ප්‍රතිවාදීන්ට අභියෝග කරන තරමට උද්‍යෝගය දැඩිව තිබිණි. කෙසේ වෙතත් තත්වය තම පාලනය තුළ පවත්වාගෙන යාමට විනිසුරුවරුන් සමත්වූයේ අවවාද කිහිපයක්ම ක්‍රීඩකයන් වෙත ලබාදෙමිනි.

සිව්වන වටයේදී ද දැවැන්ත ප්‍රහාරයන් එල්ල කරමින් එය 25-22ක් ලෙස ජය ගෙන සමස්ත තරඟය ජයගන්නට ප්‍රබල විදුලි බලමණ්ඩල කණ්ඩායම සමත්විය.

ලකුණු තත්වය: 25-22 , 22-25 , 25-21 , 25-22. (විදුලි බල මණ්ඩලය) 3:1


යුධ හමුදා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම

ප්‍රථම වටය, සමීර දිසානායකගේ ‘උඩපැන පන්දු පිරිනැමීම්’ වලින් වර්ණවත් විය. යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් ෂමිල් විසින් කෙරෙන ලද උස් අවහිර කිරීම් මධ්‍යයේ වරාය ක්‍රීඩකයන් වෙනුවෙන් ජනිත සරත්, රුමේෂ් දිසානායක වැනි ක්‍රීඩකයන් ලකුණු රැස් කළ අතර ප්‍රථම වටය 25-20ක් ලෙස නිමා වූයේ වරාය ක්‍රීඩකයන් ඉදිරියේ තබමිනි.

දෙවන වටයේදී ජනිත සහ රුමේෂ් එක්ව අවහිරයන් කිහිපයක්ම සාර්ථක කරගත් අතර ප්‍රහාරයන් එල්ල කිරීමේ වගකීම තමා වෙත පවරාගෙන තිබුණේ සමීර සහ ලසිඳු මෙත්මාල් ය. පහර පිට පහර දෙපසින්ම එල්ල වූ නමුත් යුධ හමුදාවේ දිලින සුධාරත්, චාමර මිහිරත් සාර්ථකව පාලනය කරගත් වරාය ක්‍රීඩකයින් දෙවන වටය ජයගත්තේ 25-23ක් ලෙසයි. දෙවන වටය උණුසුම්කාරී වූ අතර විනිසුරු තීරණ කිහිපයක්ම වරාය ක්‍රීඩකයන්ගේ අභියෝගයට ලක්විය.

තෙවන වටයටත් මැනවින් අවතීර්ණ වූ වරාය අධිකාරී කණ්ඩායම වෙනුවෙන් පන්දු සකසන්නාගේ කාර්ය ඉටුකළ නිලංග සංජය එහිදී කැපී පෙනිණි. තෙවන වටය අවසාන කරමින් වරාය ක්‍රීඩකයන් 25-22ක් ලෙස එහි ජයද සමස්ත තරඟයේ ජයද වාර්තා කළේ අවසන් තරඟ කිහිපය කෙතරම් උණුසුම් වනු ඇත්දැයි ඉඟි පලකරමිනි.

ලකුණු තත්වය: 25-20 , 25-23 , 25-22. (වරාය අධිකාරී) 3:0

 කාන්තා අංශය 

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ මේ දක්වා පැවති කාන්තා තරඟ තුළදී පෙරළිකාර ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා විය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ (14) ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පරයා ගිය නාවික ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණය ඉන් එකකි. අද දිනයේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් ප්‍රබල යුධ හමුදා ක්‍රීඩිකාවන්ගේ ගෞරවය උදුරාගන්නට සමත් වීම තවත් එකකි.

ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව යුධ හමුදා කණ්ඩායම

දිනයේ කාන්තා වොලිබෝල් තරඟ ආරම්භ කරමින් ගුවන් හමුදා කාන්තා කණ්ඩායමත්, යුධ හමුදා කාන්තා කණ්ඩායමත් පිටියට පිවිසුණේය. ප්‍රථම වටයට වේගවත් ආරම්භයක් එක්කරමින් රිද්මි සකුන්තලා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම වේගයෙන් ඉදිරියට ගෙන ගියාය. ඊට සහය වෙමින් නායිකා දිනේෂා ප්‍රසාදිනී ද සාර්ථක ප්‍රහාර කිහිපයකට එක්විය .ඒ සමඟින් 25-16ක් ලෙස ප්‍රථම වටයේදී පහසු ජයක් ඔවුනට හිමිවිය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් බොහොමයකගෙන් සැදුම් ලත් යුධ හමුදා කාන්තාවන්, දෙවන වටයේදී වේගවත් ක්‍රීඩා රටාවක් දියත් කළ අතර වරෙක 20-15ක් ලෙස පරතරයක් තබාගෙන ක්‍රීඩා කළේය. නමුත් රිද්මිගේ තාක්ෂණික ප්‍රහාරයන්ගෙනුත් දිනේෂාගේ උපක්‍රමයන්ගෙනුත් ලකුණු 6ක පරතරය හඹා ආ ගුවන් ක්‍රීඩිකාවන් 25-23ක් ලෙස එම වටය ජයග්‍රහණය කළේ ‘නොහැක්කක් නොමැත’ යන කියමන සනාථ කරමිනි.

තෙවන වටයේදී හෂිනි, අයේෂා යුධ හමුදා ප්‍රහාරිකාවන් අසරණ කරමින් 25-17ක් ලෙස විචිත්‍ර තරඟයකට ජයග්‍රාහී නිමාවක් ගෙන එන්නට ගුවන් හමුදා කාන්තා බල ඇණිය සමත් විය.

ලකුණු තත්වය: 25-16, 25-23, 25-17 (ගුවන් හමුදා)  3:0


නාවික හමුදා කණ්ඩායමට එරෙහිව කැෂුවල් ලයින් කණ්ඩායම

තරඟකාරී දීර්ඝ රැලි, මේ තරඟයේ සුලභ අංගයක් වූයේ ය. කෙසේ වෙතත් නාවික හමුදා කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක් වූ ඩී. ඩී. පෙරේරා ප්‍රථම වටයේදීම අවාසනාවන්ත අනතුරකට භාජනය වූ අතර එහිදී ඇගේ දණහිස අස්ථිය විසන්ධි විය.

ඉන් නොසැලුණු නාවික හමුදා කණ්ඩායමේ එන්. සංජීවනී, දිනුෂි මධුෂිකා එක්ව ජයග්‍රාහී සීමාවට නාවික ක්‍රීඩිකාවන් රැගෙන යන ලදී. ලකුණු තත්වය 25-21කි.

දෙවන වටයේදී සාර්ථකව තරඟයට පිවිසුණු කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන්, තක්ෂිලා මධුරංගි සහ සචිනි නිමන්තිකාගේ දක්ෂතාවයන් හේතුවෙන් 25-15ක් ලෙස එහි ජය ලබා ගත්තේය.

තෙවන වටය ඊට වඩා උණුසුම් වූයේ දෙපිලෙන්ම හොඳ ප්‍රහාර එල්ල වූ බැවිනි. නමුත් දෙදෙනෙකුගේ වගකීම් එකවර දැරීමට සිදුවීම නිසා නාවික හමුදාවේ සංජීවනී වෙහෙසට පත්ව සිටි බවක් පෙන්නුම් කළ අතර කැෂුවල් ලයින් වෙනුවෙන් ලක්ෂි ප්‍රසාදිනී සහ චායා සංජීවනී මාරුවෙන් මාරුවට ලකුණු රැස් කළේය.

තෙවන වටය නිමාව දුටුවේ 25-20ක් ලෙස කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් ඉදිරියෙන් තබමිනි.

සිව්වන වටයේදී කරට කර තරඟයක් දිස්වූවත් මානසික මට්ටමින් ශක්තිමත්ව සිටි කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් එය 25-22ක් ලෙසින් ජයගෙන නාවික හමුදා ක්‍රීඩිකාවන් තරඟයෙන් පරාජය කළේය.

ලකුණු තත්වය: 25-21, 25-15, 25-20 (කැෂුවල් ලයින්) 3:0

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරග හෙට මහරගමදී පැවැත්වෙනු ඇත.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට