යුද හමුදා සංඥා බලකා සහ කපිල ක්‍රීඩා සමාජයන් පෙරමුණේ

322
Munchee National Volleyball Championship 2016

ශ්‍රී ලංකා වොලිබෝල්  සම්මේලනයේ සංවිධානයෙන් සහ මන්චි ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ ආධුනික අංශයේ දිස්ත්‍රික් තරග ඔක්තෝම්බර් මස 16 වැනි දා ආරම්භ විය.

පසුගිය ලිපි: වොලිබෝල් ශූරතාවය බස්නාහිරටක

එහිදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැවති පිරිමි ආධුනික අංශයේ අවසන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකා ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් සමත් වූ අතර කාන්තා අවසන් තරගය ජය ගනු ලැබුවේ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් විසිනි.

එහිදි කපිල ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ක්‍රීඩිකාවන් අතර පැවති අවසන් තරගයෙන් ප්‍රථම වටය නිමාවට පත්වූයේ 25/15ක් ලෙස ලකුණු 10ක පරතරයක් සමඟින් කපිල ක්‍රීඩිකාවන් හට වැඩි ගෞරවය හිමිකර දෙමිනි.

ඉන්පසුව පැවති දෙවැනි වටයේදී ධර්මපාල ක්‍රීඩිකාවන් තෙවැනි වටයක් දක්වා ගමන් කර තරගය ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් පසුවුවත් එම වටයෙන් ද ලකුණු 5ක වෙනසක් සමඟින් තරග වට 2:0ක් ලෙස ජයග්‍රහණය කිරීමට කපිල ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ආධුනික පිරිමි අංශයේ අවසන් තරගය පැවතියේ ඔක්තෝම්බර් මස 19 වැනි බඳාදා කිරිබත්ගොඩ හෙයියන්තුඩුව තරුණ සේවා සභා පුහුණු පිටියේදීයි. ප්‍රථම දිනයේදී (16)  කණ්ඩායම් 15ක් අතුරින් අවසන් තරගය දක්වා පැමිනීමට ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකා ක්‍රීඩා සමාජය සහ ඕෂන් ලංකා පුද්ගලික ආයතන ක්‍රීඩා සමාජය සමත් විය.

සවස දෙකට පමණ ආරම්භ වුනු මෙම තරගය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් තරගයක් වූ අතර කරට කර පැවති තරගයකින් අනතුරුව ප්‍රථම අර්ධය නිමාවට පත් වූයේ 25/15 ලෙස සංඥා බලකා ක්‍රීඩකයින්ට වැඩි ගෞරවය හිමිවෙමිනි.

තරගයේ දෙවැනි අර්ධයේදී වඩාත් ශක්තිමත්ව සහ ජව සම්පන්නව ක්‍රීඩා කල ඕෂන් ආයතන ක්‍රීඩකයෝ 25/22ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

තරග වට 3කින් සමන්විත මෙම තරගයේදී අවසන් වටයට කණ්ඩායම් දෙකම සම ලකුණු තත්වයකින් පිවිසි අතර තෙවැනි වටයේදී 25/23ක් ලෙස ඕෂන් ක්‍රීඩා සමාජය පරාජය කරමින් සංඥා බලකා ක්‍රීඩකයෝ තරග වට 3:1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

කොළඹ දිස්ත්‍රික්කයේ ආධුනික අංශය යටතේ පිරිමි කණ්ඩායම් 15ක් සහභාගී වු අතර කාන්තා කණ්ඩායම් සහභාගී වූයේ තුනක් පමණි.

වසරක නිහැඬියාවකින් අනතුරුව පවත්වනු ලබන මෙම ජාතික තරගාවලිය ආධුනික සහ සුපර් ලීග් යන ඉසව් දෙකකින් පැවැත්වෙන අතර ආධුනික අංශයේ අවසන් මහා තරගය නොවැම්බර් මස 25 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.

අවසන් ලකුණු

පිරිමි: යුද හමුදා සංඥා බලකා ක්‍රීඩා සමාජය : 1 ඕෂන් ලංකා පුද්ගලික ආයතන ක්‍රීඩා සමාජය 3:2 (25/15, 22/25, 25/23)

කාන්තා: සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය : පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ක්‍රීඩා සමාජය 2:0 (25/15, 25/20)

සහභාගී වුනු පිරිමි කණ්ඩායම් | යුද හමුදා සංඥා බලකා ක්‍රීඩා සමාජය, ඕෂන් ලංකා පුද්ගලික ආයතන ක්‍රීඩා සමාජය, එක්ස්පෝර්ට් ලංකා පුද්ගලික ආයතන ක්‍රීඩා සමාජය, ලකී සෙවන්ස් ක්‍රීඩා සමාජය, හඹරකඩ ක්‍රීඩා සමාජය, සුනේත්‍රාදේවී විද්‍යාල ක්‍රීඩා සමාජය පැපිලියාන, හිරිපිටිය ක්‍රීඩා සමාජය, මකුළුදූව ක්‍රීඩා සමාජය, හැඬිගම සිංහ ක්‍රීඩා සමාජය, හෝමාගම යුනයිටඩ් ක්‍රීඩා සමාජය, දෙල්සර ක්‍රීඩා සමාජය, අත්තිඩිය එකමුතු ක්‍රීඩා සමාජය, මැලිබන් ආයතන ක්‍රීඩා සමාජය, ජනතා ක්‍රීඩා සමාජය, සමගී ක්‍රීඩා සමාජය.

සහභාගී වුනු කාන්තා කණ්ඩායම් | සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ක්‍රීඩා සමාජය, සුනේත්‍රාදේවී බාලිකා විද්‍යාලීය ක්‍රීඩා සමාජය

තවත් වොලිබෝල් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න