ශ්‍රී ලංකාව අසරණ කල මොන්ගෝලියානු දඬුවම් පහර

537
Mongolian penalties down Sri Lanka
Photo: Lagardère Sports

ඥමොසෝර් නාරන්බෝල්ඩ් දෙවන අර්ධයේ වාර්තා කළ දඬුවම් පහරත් සමඟින් ගෝල 2-0ක් ලෙස ශ්‍රී ලංකාව අභිබවා ගිය මොන්ගෝලියානුවන්, මැලේසියාවේදී පැවැත්වෙන ආසියානු සහයෝගිතා කුසලානයේ අවසන් පුර්ව වටය තරණය කිරීමට පියවරක් ඉදිරියට තැඹීමට සමත් විය.

පසුගිය ලිපි: පන්දුව සියතේ තබා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකාව අසරණ වෙයි

මොන්ගෝලියානුවන්ට තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා, තරඟයේ 50 වැනි සහ 66 වැනි මිනිත්තුවලදී ගෝල වාර්තා කිරීමට සමත් වූ නාරන්බෝල්ඩ් සමඟින් මොන්ගෝලියානු කණ්ඩායම, ලබන බදාදා ලාඕසයට එරෙහිව පැවැත්වීමට නියමිත තීරණාත්මක තරඟය ජයගෙන අවසන් සිව්දෙනා අතරට යෑමේ සූදානමින් පසුවෙයි.

මෙම තරඟයේ ප්‍රතිඵලයත් සමඟ මැකාවු කණ්ඩායම “B” කාණ්ඩයේ පෙරමුණට පැමිනි අතර ශ්‍රී ලංකාව, මැකාවු කණ්ඩායමට එරෙහිව ලබන බදාදා ක්‍රීඩා කරන තරඟයේ ජය පරාජය, තරඟාවලියට කිසිදු වෙනසක් සිදුනොකරනු ඇත.

ප්‍රථම අර්ධයේ පාලනය සියතට ගත් මොන්ගෝලියානුවන් පන්දුව තමා සන්තකයේ තබාගෙන ක්‍රීඩා කළ නමුත් අනර්ඝ අවස්ථා කිහිපයක් නිර්මාණය කරගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එහෙත් දෙපිලම ප්‍රථම අර්ධයේදී ගෝල වාර්තා කිරීමට සමත් වුයේ නැත.

ප්‍රථම මිනිත්තු හතේදී නිපුන බණ්ඩාර විසින් ප්‍රතිවාදීන්ගේ අවදානම් කලාපය ආක්‍රමණය කළ අතර ඉන් ප්‍රතිවාදී ගෝල රකින්නා වූ බත්සයික්හාන් අරියුන්බෝල්ඩ් අභියෝගයට ලක්වූ අතර 18 වන මිනිත්තුවේදී සර්වාන් ජොහාර් ලබාගත් කෝණ අවස්ථාවේදී, මොහොමඩ් රිෆ්නාස් එල්ලකළ පහර දැලෙන් මඟහැරුණේ අනුනමයෙනි.

ප්‍රතිවාදීන් වෙනුවෙන් තරඟයේ 32වන මිනිත්තුවේදී භට්මුන්ඛ් එර්ඛේම්භ්යාර් ලබා දුන් හරස් පහර ඔයුන්භාට් බයර්ජර්ගාල්ගේ හිසින් සෙරොද්යාන් ගන්ඛුයාග්ගේ පාමුලටම ලැබුණත් ඔහු එල්ලකළ පහර දැලෙන් පිටතට විසිවී ගියේය.

ප්‍රථම අර්ධයේදී ආක්‍රමණකාරී තරඟ රටාවක යෙදුණත් ඩඩ්ලි ස්ටෙයින්වෝල්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් ලංකා කණ්ඩායමට ගෝල රහිතව එම අර්ධය අවසන් කරන්නට වීම පුදුමයකි.

කවිඳු ඉෂාන්, පිටියේ දකුණු පසින් වේගවත් පන්දු රැගෙන යාමක් දියත් කළත් ඒ පන්දුව ලබා ගත් නිපුන බණ්ඩාර විසින් එල්ල කල පහර ද දැල තුළට ගමන් කලේ නැත. ප්‍රථම අර්ධය නිමාවන්නට මිනිත්තු දෙකක් පමණ තිබියදී රිෆ්නාස් එල්ල කළ පහර ද, එම අර්ධයේ අවසන් තත්පර කිහිපයේදී සර්වාන් ගත් උත්සාහයද ව්‍යර්ථ විය.

ප්‍රථම අර්ධය: මොන්ගෝලියාව 0-0 ශ්‍රී ලංකාව

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු පහක් ගතවන විට, ගිලිහුණු අවස්ථා ගැන පසුතැවීමට ලාංකිකයන්ට ඉඩ නිර්මාණය කරමින් මොන්ගොලියානුවන් තරඟයේ පෙරමුණ ගත්තේය.

අවදානම් කලාපය ක්‍රීඩකයන්ගෙන් පිරී පැවති මොහොතක නාරන්බෝල්ඩ් එල්ල කළ පහර, එඩිසන් ෆිගරාඩෝගේ අතෙහි වැදුණු අතර එය හසුකරගන්නට විනිසුරුට එතරම් අපහසු වුයේ නැත. ඉන් ලද දඬුවම් පහර, නාරන්බෝල්ඩ්ගේ පාදයෙන් සුජාන් පෙරේරාට අයත් ශ්‍රී ලංකා දැලේ ඉහල කොනකින් දැල වෙතට ගියේය.

ඉන් මිනිත්තු 16කට පසු නැවතත් අවදානම් කලාපයේදී බට්ටුර් ඩවාජව් මත ඇදවැටීමේ වරදට හසුවූ සුජාන් පෙරේරා නිසා නාරන්බෝල්ඩ්ට තවත් දඬුවම් පහරකින් ජය තහවුරු කරගැනීමට අවස්ථාව උදාවිය.

එළඹෙන බදාදා දිනයේදී මොන්ගෝලියාව, ලාඕසයට එරෙහිව තරඟ වදින අතර එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළද, ටොෂියාකි ඉමායිගේ පුහුණුකාරීත්වයෙන් යුත් මොන්ගෝලියානු කණ්ඩායමට අවසන් සිව්දෙනා අතර ස්ථානයක් වෙන්කර ගැනීමට හැකිවනු ඇත.

සම්පුර්ණ කාලය: මොන්ගෝලියාව 2 – 0 ශ්‍රී ලංකාව.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට