මිතාලිට අමතක කළ නොහැකි වූ ආදරය

3631

ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා මිතාලි රාජ් මේ වන විට පුවත් මවන චරිතයක් බවට පත්ව තිබේ. මේ වනවිට ක්‍රියාත්මක වන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මූලික තරගයක් අතරතුරදී ඇය පිතිකරණයට පැමිණීමට පෙර සිදුකළ දුර්ලභ කටයුත්තක් මීට හේතු වී තිබේ.

ඉන්දියානු ක්‍රිකට් නායිකාව වශයෙන් ක්‍රියා කරන ඇය කාන්තා ක්‍රිකට් ලොවේ ප්‍රබල චරිතයක් වන අතර කාන්තාවක් වශයෙන් ඇයගේ හැසිරීම ගැන ලොව පුරාම කතාබහ කෙරේ. පසුගිය දිනෙක පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී “ඔබේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්දැ”යි මාධ්‍යවේදියෙකු ඇගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය ඔහුට ලබාදුන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ පිළිතුරකි.

“ඔබ පිරිමි ක්‍රීඩකයන්ගෙන් අහනවාද ඔහුගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩිකාව කවුද කියලා? හැමවෙලේම ඔය ප්‍රශ්නය මගෙන් අසා තිබෙනවා. නමුත් ඔබ ඔවුන්ගෙනුත් අහන්න ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩිකාව කවුරුන්ද කියලා”

theladiesfinger.com
theladiesfinger.com

මෙය, ඇය විසින් පිරිමින්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන පමණක් උනන්දුවන ප්‍රජාවගේ ඇස් ඇරවීමක් ලෙස සඳහන් කළ හැකිය. මෙම පිළිතුර සමාජ ජාලා අතර වේගයෙන් පැතිරුණු අතර මධ්‍යම ප්‍රතිපදාවේ මාධ්‍යකරුවන් බොහෝදෙනෙකු විසින් ගෞරවාන්විතව පිළිගනු ලැබිණි. ඇතැම් ක්‍රීඩකයින්ද මේ පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කොට තිබිණි.

එහෙත් මිතාලි සිදුකළ විශේෂ ක්‍රියාවක් නිසා ඇය නැවතත් මාධ්‍ය අතර කතාබහට පාත්‍ර වූයේ පසුගිය සෙනසුරාදා පැවති තරගයක් අතරතුරදී යි. ඒ ඇය ආදරය කරන “කියවීමේ පුරුද්ද” අත්නොහරිමින් තම පිතිකරණ වාරය එන තෙක් ඇය පොතක් කියවමින් සිටි ආකාරය කැමරා කාචයක සටහන් වීමත් සමඟයි. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇය ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියාතිබුණේ තමන්ගේ සිතෙහි පවතින කලබලකාරී ස්වභාවය පාලනය කරගැනීම උදෙසා එය ඉවහල් වූ බවයි.

theladiesfinger.com
theladiesfinger.com

එය ක්‍රියාවෙන්ම සනාථ කළ මිතාලි, අවසන් වරට සහභාගී වූ තරග 7 තුළදී අර්ධ ශතක 7ක් වාර්තාකරමින් එවැන්නක් සිදුකළ ලොව පළමු ක්‍රීඩිකාව බවට පත්විය. මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන ඈ එක්දින තරග 178ක් තුළදී ශතක 5ක් සහ අර්ධ ශතක 47ක් වාර්තා කොට ඇත්තේ 52.25ක සාමාන්‍යයක්ද සහිතවයි. ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන් පවසන්නේ “කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙන්ඩුල්කාර්” මිතාලි බවයි.

ඇය විසින් කියවන ලද පොත, 13 වන සියවසේ විසූ පර්සියානු කවියෙකු වූ රූමිගේ පොතක් බවද දැනගන්නට ලැබේ.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට