ඇමති නොදැන ඉන්දියා යන්න ගිය එක්දින කණ්ඩායම නැවත කැඳවයි

ප්‍රංශ පුවත් සේවයේ (AFP) වාර්තාවකි.

571
Minister stops Sri Lanka cricket team

ඉන්දීය තරග සංචාරයේ එක්දින තරග සඳහා තෝරා ගත් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ නොසතුට පල කරමින්, ඉන්දියාව බලා පිටත්ව යාමට සැරසුණු අදාළ කණ්ඩායම නැවත කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අසේල, ධනුෂ්ක ඇතුළු එක්දින විශේෂඥයින් 9ක් සංචිතයට

ලබන 10 වැනිදා ධර්මසාලා හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා..

එම කණ්ඩායමේ ක්‍රීඩකයන් 9 දෙනෙක් අඟහරුවාදා අලුයම පිටත් වීමට නියමිතව තිබූ ගුවන් යානයකින් ඉන්දියාව බලා පිටත් වීමේ අරමුණ ඇතිව සඳුදා (04) රාත්‍රියේ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ගමන් ගනිමින් සිටිය දී ආපසු පැමිණෙන ලෙසට දැනුම් දීමක් ලැබුණු බවයි එම කණ්ඩායමේ නම සඳහන් කිරීමට අකමැති වූ ක්‍රීඩකයෙක් ප්‍රංශ පුවත් සේවය වෙත සඳහන් කළේ.

අදාළ සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයන් මේ වන විටත් ඉන්දියාවේ රැඳී සිටින්නේ දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වෙමිනුයි. මේ වන විට අවුල් ජාලාවක් බවට පත්ව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දී එක්දින තරග 21ක් පරාජය වී ඇති අතර ජය ගෙන තිබෙන්නේ තරග 4ක් පමණි.

ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ තම නීත්‍යානුකූල අවසරය ලබා ගැනීමකින් තොරව ක්‍රීඩකයන්ට ඉන්දියාව බලා පිටත්ව යාමට කටයුතු සූදානම් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතිශයින් කෝපයට පත්වී සිටින බවයි.

1973 ක්‍රීඩා පනතට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයාට ජාතික කණ්ඩායම් පිළිබඳ අවසන් තීරණය ගැනීමේ නෛතික බලයක් පැවරී තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ, අමාත්‍යවරයා මෙම සංචිතයේ වෙනස්කම් දෙකක් පමණ සිදු කරන ලෙසට අණ කිරීමේ සූදානමක් පවතින බවයි.

ඉන්දියාව බලා පිටත්ව යාම නතර කෙරුණු ක්‍රීඩකයන් 9 දෙනා අතරට පසුගිය සතියේ එක්දින නායකත්වයට පත් කෙරුණු තිසර පෙරේරා ද ඇතුළත්.

අනෙකුත් ක්‍රීඩකයන් වන්නේ උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් වේ.

සංස්කාරක සටහන – සුරංග ලක්මාල් මෙම පිරිසට ඇතුලත් විය නොහැක්කේ, ඔහු මේ වන විටත් ඉන්දියාව සමග තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන බැවිනි.

© Agence France-Presse

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<