අවසන් නිමේශයේ වික්‍රමයෙන් ආනන්ද විද්‍යාලය අවසන් තරගයට

3656

මයිලෝ ආයතනය මගින් සංවිධානය කරනු ලබන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අගමැති කුසලානය සඳහා පැවැත්වෙන රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (17) කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර, කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් ලකුණු 30-27ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් විය.

ධර්මරාජය පරදා ජෝසප්වරුන් අවසන් සටනට

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (17) මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවතියේ කොළඹ සුගතදාස පිටියේ දී ය.

සවස 2.00ට ආරම්භ වූ මෙම තරගය ආරම්භයේ පටන්ම උණුසුම් මුහුණුවරක් ගැනීම ක්‍රීඩාලෝලීන්ගේ අමන්දානන්දයට හේතු විය. ආනන්ද විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය කරට කර සටනක නිරත වෙමින් මුල් මිනිත්තු කිහිපය තුළ ක්‍රීඩා කළ අතර, ආනන්ද විද්‍යාලයට  විනිසුරු විසින් දඬුවම් පහර අවස්ථාවක් ලබා දුන්නේ, තර්ස්ටන් පිලේ ක්‍රීඩකයෙක් විරුද්ධ පිලේ ක්‍රීඩා පෙදෙසේ ක්‍රීඩා කිරීම නිසාවෙනි. ආනන්ද විද්‍යාලයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් පී. ඒ. එස්. තිලකරත්න 8 වැනි මිනිත්තුවේ දී එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් විය. (ආනන්ද 03-00 තර්ස්ටන්)

කණ්ඩායම් දෙකම තම උපරිම දක්ෂතා පෙන්වමින් ක්‍රීඩා කළ අතර, විදුහල් දෙකේම කණ්ඩායම්වල පසුපෙළ ඉතාමත් සවිමත් බව දැක ගන්නට ලැබුණි. 23 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ආනන්ද විද්‍යාලයේ ඩබ්. කේ. මෙත්මිඳු වේගයෙන් දිව ගොස් ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. (ආනන්ද 08-00 තර්ස්ටන්)

තර්ස්ටන් ක්‍රීඩක කේ. ඩී. හපුතන්ත්‍රී 29 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කර ගනිමින් තර්ස්ටන් විද්‍යාලයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන ලදි. එහි ප්‍රවර්තනය තර්ස්ටන් ක්‍රීඩකයින් හට මඟ හැරෙන්නට විය. (ආනන්ද 08- 05 තර්ස්ටන්)

ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අතරින් පන්දුව සාර්ථක ලෙස හුවමාරු කර ගත් තර්ස්ටන් ක්‍රීඩකයින්, උත්සාහක දිනුමක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ සීමාව අසල තරමක් වේලා ක්‍රීඩා කළේය. එහි ප්‍රතිඵලය 37 වැනි මිනිත්තුවේ දී තම කණ්ඩායමට හිමි කර දීමට ආර්. ටී. රබෙල් සමත් විය. ඒත් සමඟින් ආනන්ද විද්‍යාලය අභිබවා ලකුණු 2කින් පෙරමුණ ගැනීමට තර්ස්ටන් විද්‍යාලයට හැකි විය. (ආනන්ද 08- 10 තර්ස්ටන්)

තර්ස්ටන් විද්‍යාලයේ මැදපෙළ ක්‍රීඩක පවුර මුලා කරමින් තම උත්සාහක දිනුම් කණුව වෙත ඇදී ගිය සී. කේ. පෙරේරා 39 වැනි මිනිත්තුවේ දී ආනන්ද විද්‍යාලයට තවත් උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කර දීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. (ආනන්ද 13-10 තර්ස්ටන්)

පළමු අර්ධය: ආනන්ද විද්‍යාලය 13-10 තර්ස්ටන් විද්‍යාලය

පළමු අර්ධයේ වැඩි වාසිය ආනන්ද විද්‍යාලය සතු වූ නිසා අවසන් තරගයේ තමාට හිමි ස්ථානය වෙන් කර ගැනීමට වහාම ක්‍රියාත්මක විය යුතු බව අවබෝධ කර ගත් තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයන්, දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 16ක් ගත වෙද්දී දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගැනීමට ටී. එන්. ධර්මදාස සමත් විය. ඒ අනුව තර්ස්ටන් විද්‍යාලය ලකුණු මට්ටම් සම කරමින් නැවතත් තරගයට අවතීර්ණ විය. (ආනන්ද 13-13 තර්ස්ටන්)

59 වැනි මිනිත්තුවේ දී ආනන්ද විද්‍යාලයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක විජේසිංහ සුපිරි උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 5කින් ඉහළ දැමූ අතර, එහි ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට තිලකරත්න සමත් විය. (ආනන්ද 20-13 තර්ස්ටන්)

තරගයේ වැඩි වාසිය ආනන්ද විද්‍යාලය දෙසට හිමි වෙද්දී, තර්ස්ටන් විද්‍යාලය ඊට අභියෝගයක් ලබා දීමට සමත් වූයේ 64 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ එච්. ඩබ්. මුණවීර උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කර ගනිමිනි. එම උත්සාහක දිනුම් අවස්ථාව සාර්ථක කර ගැනීමට තර්ස්ටන් ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගෙන් විශාල සහයක් හිමි විය. එහි ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක වූ අතර, ඒත් සමඟින් ලකුණු පුවරුව සම මට්ටමකට පත්වූයේ නරඹන්නට තියුණු තරගයක පෙර නිමිති පහළ කරමිනි. (ආනන්ද 20-20 තර්ස්ටන්)

71 වන මිනිත්තුවේ දී යළිත් තරගයට අවතීර්ණ වූ තර්ස්ටන් ක්‍රීඩක රණසිංහ, ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩකයින් විසින් එල්ල කරනු ලබන බාධා පසෙකලා තම සඟයින්ගේ ද සහයෝගය ඇතිව උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් විය. (ආනන්ද 20-27 තර්ස්ටන්)

තරගයේ වැඩි වාසිය යළිත් තර්ස්ටන් කණ්ඩායම වෙත හිමි වෙද්දී ආනන්ද විද්‍යාලයේ අංක 13 දරන ජර්සි අංකය යටතේ ක්‍රීඩා කරන රත්නවීර විශිෂ්ට ගණයේ උත්සාහක දිනුම් අවස්ථාවක් ලබා ගත්තේ තර්ස්ටන් පවුරු බිඳ දමමිනි. අවාසනාවන්ත ලෙසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ආනන්ද විද්‍යාලයට නොහැකි වීම නිසා ප්‍රේක්ෂකාගාරය සුලු මොහොතකට නිසොල්මන් විය. (ආනන්ද 25-27 තර්ස්ටන්)

තරගයේ අවසානයට තවත් මිනිත්තු 3ක් පමණ ඉතිරිව තිබිය දී ආනන්දයට ජය ගෙන ආ උත්සාහක දිනුම වාර්තා කිරීමට තිලකරත්න සමත් විය. ඒ සමඟින් ආනන්ද විද්‍යාලයට අගමැති කුසලානයේ අවසන් මහා තරගයට දොරගුළු විවර විය.

අවසන් ලකුණු තත්වය: ආනන්ද විද්‍යාලය 30 – 27 තර්ස්ටන් විද්‍යාලය

ලකුණු ලබා ගැනීම,

  • ආනන්ද විද්‍යාලය – උත්සාහක දිනුම් 5, ප්‍රවර්තන 1, දඬුවම් පහර 1
  • තර්ස්ටන් විද්‍යාලය – උත්සාහක දිනුම් 4, ප්‍රවර්තන 2, දඬුවම් පහර 1

අගමැති කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය හෙට (18) කුරුණෑගල මලියදේව විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර, කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ දී සවස 2.00ට පැවැත්වීමට නියමිතව ඇත.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට