නුවරින් ආ අමුත්තන් කොළඹ දී පරාජය වේ!

275

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවැනි අවසන් පූර්ව තරගය වෙස්ලි විදුහල හා විද්‍යාර්ථ විදුහල අතර අද (12) කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. එහි දී ලකුණු 36-25ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට වෙස්ලි ක්‍රීඩකයින් සමත් විය.

වැරදුනේ කොතනද?

කොළඹ ඉසිපතන විද්‍යාලය යනු ‘ශ්‍රී ලංකාවට වැඩියෙන්ම රග්බි ක්‍රීඩකයින් නිපදවූ පාසල’ යයි …

වසර 7කින් පසු A කාණ්ඩයට සුදුසුකම් ලැබූ විද්‍යාර්ථ විදුහල මේ තරගයට ඉතා හොඳ ජයග්‍රාහී මානසිකත්වයකින් පැමිණෙන්නේ A කාණ්ඩයට ප්‍රවේශ වීම සඳහා වූ ලීග් තරගාවලියේ D. S. සේනානායක විදුහලට එරෙහි තරගය ජය ගැනීමත් සමඟිනි. 

නමුත් තරගයේ පළමුවැනි විනාඩියේ දී ම ක්‍රියාත්මක වූ වෙස්ලි ක්‍රීඩකයින් අලංකාර ලෙස පන්දුව අතින් අත යවමින් පළ උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත්විය. තීක්ෂණ විතානගේ වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක විය. (වෙස්ලි 05-00 විද්‍යාර්ථ)

නැවතත් තරගයේ 8 වැනි විනාඩියේ දී විද්‍යාර්ථ පසුපෙළ විනිවිද ගිය වෙස්ලි විදුහල් නායක මුර්ෂිඩ් සුබෙයිර් පන්දුව මනා ලෙස කවින්දන පෙරේරා අතට පත්කළ අතර එතැන් සිට වේගවත් ධාවනයක යෙදුණු කවින්දන වෙස්ලි විදුහලේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තරිඳු වල්පිටගේ සමත්විය. (වෙස්ලි 12-00 විද්‍යාර්ථ)

තරගයේ 18 වැනි විනාඩියේ දී විද්‍යාර්ථ ඉදිරිපෙළ නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණෙන බවක් පෙන්වමින් ඉදිරියට ඇදුණු අතර විද්‍යාර්ථ ක්‍රීඩක තරිඳු රිද්මක විද්‍යාර්ථයින්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට කවීෂ කළුආරච්චි සමත්විය. (වෙස්ලි 12-07 විද්‍යාර්ථ)

එයට පිළිතුරු වශයෙන් වෙස්ලි විදුහල පිටිය ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදුණ අතර විද්‍යාර්ථයින්ගේ ආරක්ෂාවේ හිඩැසක් පෙන්වමින් නායක මුර්ෂිඩ් සුබෙයිර් පන්දුව ගෝල කණු යටින්ම වෙස්ලි විදුහලේ තෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරිඳු වල්පිටගේ සමත්විය. (වෙස්ලි 19-07 විද්‍යාර්ථ)

විරාමයකට පසු දිමිත්‍රි නව කණ්ඩායමක් සමඟින් රග්බි පිටියට

නිමා වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත් මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන්…

තරගයේ 24 වැනි විනාඩියේ දී ක්‍රීඩකයෙකු අනාරක්ෂිත ලෙස මෙල්ල කිරීමේ වරදට හසු වූ වෙස්ලි විදුහලේ කවින්දන පෙරේරාට විනිසුරු ගිහාන් යටවර කහ කාඩ්පතක් නිකුත් කරන්නේ විද්‍යාර්ථයින්ට දඬුවම් පහරක් ලබා දෙමිනි. එම දඬුවම් පහර සාර්ථක කර ගත් කවීෂ කළුආරච්චි විද්‍යාර්ථයින්ගේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 10ක් ලෙස වැඩි කරගන්නා විට වෙස්ලි ක්‍රීඩකයින්ට ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සෑහීමකට පත්වීමට සිදු විය. (වෙස්ලි 19-10 විද්‍යාර්ථ)

කණ්ඩායම් දෙකෙන්ම අතපසුවීම් වැඩි වශයෙන් දක්නට ලැබුණු අතර එසේ සිදු වූ අතපසුවීමක දී විනිසුරු ගිහාන් විද්‍යාර්ථ විදුහල වෙත දඬුවම් පහරක් ලබා දුන්නේය. කවීෂ කළුආරච්චි එය සාර්ථක කරගැනීමට සමත් විය. (වෙස්ලි 19-13 විද්‍යාර්ථ)

ප්‍රථම අර්ධය: වෙස්ලි විදුහල 19 – 13 විද්‍යාර්ථ විදුහල 

දෙවැනි අර්ධය ආරම්භ වූ මොහොතේ පටන්ම වෙස්ලි විදුහලේ ක්‍රීඩා විලාසය වේගවත් වූ බවක් දක්නට ලැබුණි. එම වේගයෙන් මනා ලෙස ප්‍රයෝජන ගත් වෙස්ලි පසුපෙළ විද්‍යාර්ථ පසුපෙළ විනිවිද  අතර ඔවුන්ගේ ආරක්ෂණය ද බිඳ හෙළමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තරිඳු සමරකෝන් සමත්විය. එහි ප්‍රවර්තනය අපහසු කෝණයක සිට සාර්ථක කර ගැනීමට තරිඳු වල්පිටගේ සමත්විය. (වෙස්ලි 26-13 විද්‍යාර්ථ)

තරගය මද වෙලාවක් මන්දගාමී වූ අතර තරගයේ 42 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ වෙස්ලි විදුහලේ සැමුවෙල් ඔග්බෙබෝ විද්‍යාර්ථ ආරක්ෂාව හරහා යමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරිඳු වල්පිටගේට නොහැකි විය. (වෙස්ලි 31-13 විද්‍යාර්ථ)

Video – දකුණු රටේ රග්බි සංග්‍රාමයේ පැටිකිරිය මෙහෙමයි

දකුණු පළාතේ සුප්‍රසිද්ධ පාසල් දෙකක් අතර පැවැත්වෙන දැවැන්ත රග්බි සංග්‍රාමයක් තමයි…

තරගයේ 51 වැනි විනාඩිය වන විට වෙස්ලි විදුහල ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ක්‍රීඩාංගණය ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදුණු අතර එහි දී වේගවත් ධාවනයක නිරත වුණු කවින්දන පෙරේරා තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (වෙස්ලි 36-13 විද්‍යාර්ථ)

තරගයේ 61 වැනි විනාඩියේ දී තම වේගයෙන් මනා ප්‍රයෝජන ගත් විද්‍යාර්ථ විදුහලේ Wing ක්‍රීඩක පැතුම් ජයකොඩි තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට කවීෂ කළුආරච්චිට නොහැකි විය. (වෙස්ලි 36-18 විද්‍යාර්ථ)

නැවතත් තරගයේ 68 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ විද්‍යාර්ථ විදුහල් නායක කවිෂ්ක බණ්ඩාර තම විශාල ශක්තිමත් දේහය යොදා ගනිමින් වෙස්ලි ආරක්ෂාව බිඳ හෙළමින් ධවල රේඛාව පසු කර යාමට සමත්විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට කවීෂ කළුආරච්චි සමත්විය. (වෙස්ලි 36-25 විද්‍යාර්ථ)

ඒ අනුව වෙස්ලි විදුහල ලකුණු 36-25ක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර හෙට (13) සාන්ත පීතර විදුහල හා ඉසිපතන විදුහල අතර තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායම සමඟ ඔවුන් ලබන 21 වැනිදා අවසන් මහා තරගයේ දී තරග කරනු ඇත.

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විදුහල (6T, 3C) 36 – 25 (3T,2C,2P) විද්‍යාර්ථ විදුහල

ThePapare.com තරගයේ වීරයා – ඩෙක්සටර් ගුණතිලක (වෙස්ලි විදුහල)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින් – 

  • වෙස්ලි විදුහල – තීක්ෂණ විතානගේ 1T, කවින්දන පෙරේරා 2T, ස්‍රිතේශ් තවරාජා 1T, තරිඳු සමරකෝන් 1T, සැමුවෙල් ඔග්බෙබෝ 1T, තරිඳු වල්පිටගේ 3C
  • විද්‍යාර්ථ විදුහල – තරිඳු රිද්මක 1T, පැතුම් ජයකොඩි 1T, කවිෂ්ක බණ්ඩාර 1T, කවීෂ කළුආරච්චි 2C, 2P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<