පාසල් රග්බි පාපන්දු සංගමයෙත්, අධ්‍යාපන අමාත්‍යාංශයෙත් මෙහෙය වීම යටතේ සහ නෙස්ලේ ලංකා ආයතනයේ සාඩම්බර අනුග්‍රාහකත්වය යටතේ 13 වැනි වරටත් පවත්වනු ලබන “මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය” මෙවර පාසල් 7ක සහභාගීත්වයෙන් යුතුව ජුනි 09 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ජනාධිපති කුසලානය සඳහා සාධාරණ ක්‍රීඩාංගණ

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරතා තරගාවලිය ජූනි මස 9 වන දා ආරම්භ වීමට නියමිත අතර.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (6) කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ දී පැවති අතර නෙස්ලේ සමාගම 25 වැනි වසරටත් පාසල් රග්බි ක්‍රීඩාවට මේ වසරේ දී බල ජවය සපයනු ලැබීම සුවිශේෂී සංධිස්ථානයක් වේ.

1993 වර්ෂයේ දී ප්‍රේමදාස කුසලානය නමින් ජනාධිපති කුසලානය ආරම්භ කෙරුණු අතර, ප්‍රමුඛ පාසල් 20කට පමණක් සීමා වී තිබුණු රග්බි ක්‍රීඩාව රට පුරා විහිදී ඇති පාසල් සඳහා ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් ඇරඹි මෙම තරගාවලියට මේ වන විට ජනාධිපති කුසලානය, අගමැති කුසලාන සහ සභාපති කුසලානය හරහා සහභාගී වන කණ්ඩායම් ගණන අති විශාලයි.

මාධ්‍ය සාකච්ඡාව අමතමින් ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් කර්නල් මංජුල කාරියවසම් මහතා පවසා සිටියේ මෙවර පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියෙන් පසුව ජාතික කණ්ඩායමට අවශ්‍ය සංචිතයක් නිර්මාණය කරන්නට බලාපොරොත්තු වන බවත් මෙවර තරගාවලියෙන් ලැබෙන ආදායමක් ඇතොත් එය ලංකාවේ රග්බි ක්‍රීඩාව අනෙක් පාසල් කරා ව්‍යාප්ත කිරීමට එය සක්‍රීයව දායක කර ගැනීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

මාධ්‍ය සාකච්ඡාවේ ගෞරවනීය ආරාධිත අමුත්තා වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගී වූ අතර ඔහු සභාව අමතමින් මෙලෙස පැවසීය.

“මේ වන විට අපි විෂය සමගාමී කටයුතුවලට දරුවන් යොමු වීම වැඩි කරන්නට කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට ගිහිල්ලා දරුවන්ට ක්‍රීඩාවට යොමු වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් යනවා. මොකද ඉවසීම, දරා ගැනීම, එකමුතුකම ආදී දෑ වලින් අනූන දරු පිරිසක් නිර්මාණය කිරීමට ක්‍රීඩාව විශාල දායකත්වයක් ලබා දෙනවා.”

“ඉතිං ඒ සඳහා අවශ්‍ය පහසුකම් හැකි උපරිමයෙන් ලබා දීම අපේ අරමුණයි. ඒ අනුව පුහුණුකරුවන්ට ජාත්‍යන්තර පුහුණුවීම් ලබා දීම වගේ දෙවල් සහ සෑම ක්‍රීඩා පාසලකටම ශරීර සුවතා මධ්‍යස්ථානයක් (Gym) ලබා දෙන්න අපි කටයුතු කරගෙන යනවා.”

මෙවර ජනාධිපති කුසලානය එළඹෙන සිකුරාදා (ජුනි 09) සිට ආරම්භ වන්නේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලිනි. අවසන් මහා තරගය ජුනි 24 වැනි දා පැවැත්වේ.

තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කලකට පසුව නැවතත් රග්බි ක්‍රීඩාව සුගතදාස ක්‍රීඩා පිටියට රැගෙන යෑමට සංවිධායකවරුන් තීරණය කර ඇති අතර එහි දී අර්ධ අවසන් තරග සහ අර්ධ අවසන් පූර්ව තරග සියල්ල සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ 7 තුරඟ තරග පිටියේ විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙනු ඇත.

පාසල් රග්බි ලීග් තරගාවලියේ ප්‍රමුඛයින්ගෙන් ජනාධිපති කුසලානය පැවැත්වෙන අතර ඒ අනුව මේ වසරේ දී සහභාගී වන කණ්ඩායම් ගණන 7ක්.

ඒ අනුව ඉසිපතන විදුහල, ත්‍රිත්ව විදුහල, වෙස්ලි විදුහල, සාන්ත ජෝසප් විදුහල, සාන්ත පීතර විදුහල, සාන්ත අන්තෝනී විදුහල සහ ධර්මරාජ විදුහල කුසලානය වෙනුවෙන් සටන් වදිනු ඇත.

මෙවර පාසල් රග්බි ශූරතාවය දිනා ගත් කොළඹ රාජකීය විදුහල ජනාධිපති කුසලානය සඳහා සහභාගී නොවීම විශේෂ කරුණකි. මේ පිළිබඳව අදහස් දක්වමින් පාසල් රග්බි සම්මේලනයේ සභාපති බී. ඒ. අබේරත්න මහතා පවසා සිටියේ රාජකීය විදුහල් කණ්ඩායමේ ක්‍රීඩකයින් 8 දෙනෙකු පමණ ලීග් ශූරතාවය, බ්‍රැඩ්බි පලිහ අවසානයේ ආබාධවලට ලක්වීම නිසාවෙන් ඔවුන් මෙවර තරගාවලියට සහභාගී නොවන බවයි.

ඒ නිසාවෙන් රාජකීය විදුහල සහ ධර්මරාජ විදුහල අතර පැවැත්වීම නියමිත අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ධර්මරාජයට නිතර ජයක් හිමි වන අතර ඔවුන් සෘජුවම අර්ධ අවසන් තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.

මාධ්‍ය සාකච්ඡාව අවසන් කරමින් අනුග්‍රාහක චෙක්පත නෙස්ලේ සමාගමේ උපසභාපති නොර්මන් කන්නන්ගර මහතා විසින් අධ්‍යාපන ඇමතිතුමන් හට පිළිගැන්වීම සිදුකෙරුණි.

Milo will continue their sponsorship for the Milo President's Trophy. Seen here is Hon. Akila Viraj Kariyawasa (middle) receiving the cheque.

නෙස්ලේ ලංකා සමාගම වෙනුවෙන් සභාව මෙහෙය වූ බණ්ඩාර එගොඩගේ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ.

“සැබැවින්ම වසර 20කට පෙරාතුව පාසල් 20ක විතරක් ජනප්‍රිය වෙලා තිබුණු මෙම රග්බි ක්‍රීඩාවට අනුග්‍රාහකත්ව දැක්වීම, ආයතනයක් ලෙස අපටත්, පාසල් රග්බි සංගමය හරහා රග්බි ක්‍රීඩාව තවත් ප්‍රචලිත කිරීමත් වගේම අපගේ සන්නායම තවදුරටත් ප්‍රචලිත කිරිමත් අපට අභියෝගයක් වුනා. නමුත් මේ වන විට අප ඒ සියල්ල සාර්ථක කර ගනිමින් පාසල් 200කට අධික ප්‍රමාණයකට රග්බි ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න සමත් වෙලා තියෙනවා. පරම්පරා 3ක් පුරාවට රග්බි ක්‍රීඩාවට සක්‍රීයව අනුග්‍රාහකත්ව දක්වන්නට ලැබීම සතුටට කරුණක්.” බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තවත් වසර 25ක් පුරාවට අනුග්‍රාහකත්වය සැපයීමට සිය ආයතනය සැඳි පැහැදි සිටින බවයි.

තරග කාල සටහන

දිනය තරගය කණ්ඩායම 1 කණ්ඩායම 2 ක්‍රීඩාංගණය
ජුනි 9 QF 4 වෙස්ලි විදුහල සාන්ත ජෝසප් විදුහල සුගතදාස
ජුනි 10 QF 3 ඉසිපතන විදුහල සාන්ත අන්තෝනි විදුහල සුගතදාස
ජුනි 11 QF 2 ත්‍රිත්ව විදුහල සාන්ත පීතර විදුහල සුගතදාස
ජුනි 17 SF1 ධර්මරාජ විදුහල Winner QF 4 සුගතදාස
ජුනි 18 SF2 Winner QF 2 Winner QF 3 සුගතදාස
ජුනි 24 Final Winner SF 1 Winner SF 2 තුරග තරග

9 වැනිදා පැවැත්වෙන තරගය www.ThePapare.com අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම Dialog නාලිකා අංක 1 සහ MyTv හරහා ද ඔබට නැරඹිය හැකිය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට <<