මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අද (18) පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් 22-20ක් ලෙස තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉසිපතන විද්‍යාලයට හැකි විය. සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ඉසිපතනය අතින් පරාජයට පත් වූයේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයයි.

ධර්මරාජය පරදා ජෝසප්වරුන් අවසන් සටනට

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (17) මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය..

ගියවර ශූරයින් වන ඉසිපතන විද්‍යාලය, අර්ධ අවසන් පූර්ව තරගයේ දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර, සාන්ත පීතර විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයේ තම අසුන වෙන්කර ගන්නා ලදි.

සවස 4.20ට පමණ ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ සී. ආර්. සිල්වා ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් තරගය ආරම්භ කරන ලදි. එතැන් පටන් තියුණු තරගයක් දෙපිල අතරම දැක ගන්නට ලැබුණු අතර, තරගයේ 7 වැනි මිනිත්තුවේ දී ඉසිපතන විද්‍යාලයේ ඉන්දුල පූර්ණ තම සගයන්ගේ ද සහය ඇතිව උත්සාහක දිනුමක් සාර්ථක කර ගත්තේය. එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගැනීමට එම්. එස්. රුබේරු සමත් විය. ( ඉසිපතන 07 – 00 පීතර)

තරගයේ 13 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඉසිපතන විද්‍යාලයේ අංක 13 යටතේ ක්‍රීඩා කළ සී. ආර්. සිල්වා උත්සාහක දිනුමක් සාර්ථක කර ගත්තේ සාන්ත පීතර විද්‍යාලයේ පසුපෙළ අභිබවා ධවල රේඛාව වෙත දිවයමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට රුබේරුට හැකි විය. (ඉසිපතන 14 – 00 පීතර)

තරගයේ 21 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සාන්ත පීතර විද්‍යාලයේ මැදපෙළ ක්‍රීඩක ඒ. පී. මෙන්ඩිස් සාන්ත පීතර ප්‍රේක්ෂකයින්ගේ අත්පොළසන් හඬ මැදින් ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම සාර්ථක කර ගන්නා ලදි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. (ඉසිපතන 14 – 05 පීතර)

ඒ අතරතුර සාන්ත පීතර විද්‍යාලයේ රුක්ෂාන් මදුසංක වෙත විනිසුරුතුමා විසින් කහ කාඩ්පතක් ලබා දෙන ලදි. එයට හේතුව වූයේ ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩකයෙක්ව ගෙල ප්‍රදේශයෙන් අල්ලා වැළැක්වීමට උත්සාහ කිරීමයි. ඉතා උණුසුම් තරගයක වටපිටාවක් නිර්මාණය වී තිබූ මොහොතේ තම ජවය පාද වෙතට යොමු කළ ඉසිපතන ක්‍රීඩක ආර්. එච්. ද සිල්වා උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (ඉසිපතන 19 – 05 පීතර)

තරගයේ පළමු අර්ධය නිමා වීමට තවත් මිනිත්තුවක පමණ කාලයක් තිබිය දී ආර්. පී ප්‍රනාන්දු විසින් වැදගත් උත්සාහක දිනුම් අවස්ථාවක් සාන්ත පීතර විද්‍යාලයට සාර්ථක කර දුන් අතර, එහි ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට තීක්ෂණ දසනායකට හැකි විය. (ඉසිපතන 19 – 12 පීතර)

පළමු අර්ධය:  ඉසිපතන විද්‍යාලය 19 – 12 සාන්ත පීතර විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය විසින් දෙවන වටය සඳහා ආරම්භ ලබා ගන්නා ලදි. තරගයේ 51 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතර විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් ලැබුණු අතර, එය ඩී. සී. ප්‍රනාන්දු විසින් සාර්ථක කර ගන්නා ලදි. (ඉසිපතන 19 – 15 පීතර)

තරගයේ උණුසුම් බව ක්‍රමයෙන් වැඩි වන මොහොතේ ක්‍රියාත්මක වූ සාන්ත පීතර විද්‍යාලයේ තීක්ෂණ දසනායක, ඉසිපතන විද්‍යාලයේ මැදපෙළ හා පසුපෙළ සමඟින් කරට කර සටනක නිරත වීමෙන් පසුව තම සඟයන්ගේ ද සහය ඇතිව තීරණාත්මක හා වැදගත් උත්සාහක දිනුම් අවස්ථාවක් සටහන් කර ගත්තේ පීතරයින්ගේ දැවැන්ත ඔල්වරසන් හඬ මැදිනි. 66 වන මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. (ඉසිපතන 19 – 20 පීතර)

තරගයේ අවසන් මිනිත්තු 10ක කාලය පවා තරගය දෙපිළටම විවෘතව පැවතුනි. තරගයේ 75 වැනි මිනිත්තුවේ දී ඉසිපතන ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින් ඉසිපතන විද්‍යාලය, සාන්ත පීතර මැදපෙළ හා ඉදිරිපෙළ මෙන්ම පසුපෙළට ද සුපිරි අභියෝගයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් ආසන්නයටම ලඟා විය.

නමුත් සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩකයෙක්ගේ වරදක් නිසා විනිසුරුතුමා විසින් ඉසිපතනයට දඩුවම් පහර අවස්ථාවක් ලබා දුන් අතර, එය සාර්ථක කර ගත් සී. ඒ. ප්‍රනාන්දු තම විද්‍යාලයේ ලකුණු පුවරුව පීතරයින් අභිබවා රැගෙන ගියේ ඉසිපතන විද්‍යාලයට අවසන් මහා තරගයට අවතීර්ණ කරමිනි. (ඉසිපතන 22 – 20 පීතර)

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 22 – 20 සාන්ත පීතර විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා – චමෝද් යශ්ගම්පිටිය (ඉසිපතන විද්‍යාලය)

ලකුණු ලබා ගැනීම

ඉසිපතන විද්‍යාලය – 22 (3 T, 2 C, 1 P)

  • උත්සාහක දිනුම් – ඉන්දුල පූර්ණ 1, සී. ආර්.සි ල්වා  1, ආර්. එච්. ද සිල්වා 1
  • ප්‍රවර්තන – එම්. එස්. රුබේරු 2
  • දඬුවම් පහර – සී. ඒ. ප්‍රනාන්දු 1

සාන්ත පීතර විද්‍යාලය –  20 ( 3 T, 1 C, 1 P)

  • උත්සාහක දිනුම් – ඒ. පී. මෙන්ඩිස් 1, තීක්ෂණ දසනායක 1, ආර්. පී. ප්‍රනාන්දු 1
  • ප්‍රවර්තන – තීක්ෂණ දසනායක 1
  • දඬුවම් පහර – ඩී.සී. ප්‍රනාන්දු 1

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර ලබන 24 වැනි සෙනසුරාදා කොළඹ තුරඟ තරග පිටියේ විදුලි ආලෝක මධ්‍යයේ දී පැවැත්වේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට <<