ජනාධිපති කුසලානය නැවත වතාවක් පීතරයින් ඩැහැගනී

684

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මෙන්ම මෙවර පාසල් රග්බි තරගවාරය ද නිමාවට පත්කරමින් කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති අවසන් මහා තරගයෙන් ජය ලැබීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අද (20) දිනයේ දී සමත් විය. ඒ ඉතා උණුසුම් තරගයකින් අනතුරුව කොළඹ වෙස්ලි විද්‍යාලය ලකුණු 18-15ක් ලෙස පරාජයට පත්කරමිනි.

ඉසිපතනය නිරුත්තර කරමින් පීතරයින් අවසන් සටනට

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තීරණාත්මක දෙවන අවසන් පූර්ව…

ගියවර තරගාවලියේ ශූරයින් ලෙස අභිසෙස් ලැබූ ප්‍රබල සාන්ත පීතර කණ්ඩායම මෙවර තරගවාරයේදීත් තම සුපුරුදු දක්ෂතාවන් අතරට පැමිණෙමින් සුවිශේෂී ජයග්‍රහණයන් රැසක් ළඟා කරගැනීමට සමත් වූ අතර ඔවුන් අවසන් පූර්ව තරගයේ දී ඉසිපතන විද්‍යාලය ඉතා පහසුවෙන් පරාජයට පත්කරමින් අඛණ්ඩව දෙවන වරටත් අවසන් මහා තරගය වෙත පිවිසීමේ භාග්‍ය උදාකර ගත්තේය.

ප්‍රතිවාදී වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම ද සෙසු කණ්ඩායම් හට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට ප්‍රවිෂ්ට වීමට මඟපාදා ගැනීමට සමත් වූයේ අවසන් පූර්ව තරගයේ දී මහනුවර විද්‍යාර්ථ කණ්ඩායමට ලකුණු 36-25ක් වේදනාබර පරාජයක් අත්කර දෙමිනි.

තම විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් ජයඝෝෂා නංවමින් ක්‍රීඩකයින් දිරිමත් කිරීම සඳහා දෙපිලේම ආධාරකරුවන් විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා පිටිය වෙත එක්රොක් වී සිටිනු දැකගන්නට ලැබුණු අතර සාන්ත පීතර කණ්ඩායමේ ඩිල්ෂාන් මධුෂංඛගේ පා පහරින් පන්දුව ගුවනට මුසුවනවාත් සමඟම අවසන් මහා තරගයේ ආරම්භය සනිටුහන් විය.

කණ්ඩායම් දෙකටම මෙම තරගය අතිශය තීරණාත්මක වූ බැවින් පළමු තත්පරයේ සිටම ඉතාමත් ප්‍රවේගකාරී මෙන්ම ආක්‍රමණශීලී තරග රටාවක් දෙපිලෙන්ම දිස් වූ අතර වෙස්ලි කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් සිදු කළ අනවශ්‍ය බාධා කිරීමක් නිසාවෙන් තරගයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුව සක්‍රිය කිරීමේ අවස්ථාව උදාකර ගැනීමට සාන්ත පීතර කණ්ඩායමේ තෙනුක නානායක්කාර සමත් විය. ලැබුණු දඬුවම් පහර අවස්ථාවෙන් ඵල නෙලා ගත් ඔහු පන්දුව සාර්ථකව නිසි ඉලක්කය වෙත යොමු කරමින් ලකුණු ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. (සාන්ත පීතර 03 – 00 වෙස්ලි)

තරග ආරම්භයේ දී ම ලකුණු පුවරුවෙන් එල්ල වූ පීඩනය මැනවින් මැඬපවත්වාලීමට වෙස්ලි ක්‍රීඩකයින් හට හැකි වූයේ ප්‍රතිවාදීන් විසින් තිළිණ කළ දඬුවම් පහර අවස්ථාවක් තම කණ්ඩායමේ වාසියට හරවා ගැනීමට සමත් වූ නිසාවෙනි. වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරිඳු වල්පිටගේ පන්දුව ගෝල කණු අතරින් යොමු කිරීමේ කාර්‍යභරය නිසියාකාරව ඉටු කරන ලදි. (සාන්ත පීතර 03 – 03 වෙස්ලි)

නුවරින් ආ අමුත්තන් කොළඹ දී පරාජය වේ!

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවැනි අවසන් පූර්ව තරගය වෙස්ලි…

ඉන්පසුව එළඹුණු කාලසීමාව තුල දී වෙස්ලි ක්‍රීඩකයින් පන්දුව තම ග්‍රහණයේ රඳවා තබා ගනිමින් ප්‍රතිවාදීන් විඩාවට පත්කිරීමේ දැඩි වෑයමක නිරත වූ අතර එම උපායශීලී ක්‍රියාමාර්ගය මල්ඵල ගන්වමින් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමේ ගෞරවය තමන් සතුකර ගැනීමට ඔවුන්ට හැකි විය.

ගොඩනැගීමේ වාරයන් කිහිපයක් උපයෝගී කරගනිමින් ඉතාමත් සූක්ෂ්මව තම අරමුණ කරා ළඟා වූ වෙස්ලි කණ්ඩායමට තරගයේ වැඩි වාසි අත්පත්කර දීමට සැමුවෙල් ඔක්බෙබෝගේ වික්‍රමයන්ට හැකි විය. එහි අමතර ලකුණු ද්විත්වයේ වාසිය ද ගෙන දෙමින් වෙස්ලි කණ්ඩායම තරගයේ පෙරමුණ කරා රැගෙන ඒමට තරිඳු වල්පිටගේ ප්‍රවර්තනය හේතුපාදක විය. (සාන්ත පීතර 03 – 10 වෙස්ලි)

තරගයේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් තරගය නරඹන්නන් හට ද උපරිම විනෝදාස්වාදයක් ලබා දීමට පීතරයින් සමත් වූයේ වෙස්ලි උත්සාහක දිනුම ලබාගැනීමෙන් අනතුරුව විනාඩියක් වැනි කෙටි කාලසීමාවක් තුල දී උත්සාහක දිනුමකින් වෙස්ලි කණ්ඩායමට නිසිපරිදි ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සමත් වීමත් සමඟිනි.

වෙස්ලි ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් තමන්ගේ අවධානය නිසි අයුරින් පන්දුවේ ගමන්මඟ දෙසට යොමු කිරීමට අපොහොසත් වීම නිසාවෙන් ඉතාමත් පහසුවෙන් ෂෙනෝල් සිල්වා ඇතුළු පීතරයින් එම අවස්ථාව උදාකරගත්හ. (සාන්ත පීතර 08 – 10 වෙස්ලි)

කෙසේ නමුත් වෙස්ලි කණ්ඩායමේ සැමුවෙල් ඔක්බෙබෝ පන්දුව තම ග්‍රහණයට නතු වූ සෑම අවස්ථාවක දී ම එය නිසි අයුරින් ලකුණු රැස්කීරීමේ ක්‍රමෝපායක් බවට පරිවර්තනය කරගැනීමට යුහුසුලු වූ අතර ඒ බව මනාවට කියාපාමින් ප්‍රථම අර්ධය නිමා වීමට මත්තෙන් වෙස්ලි කණ්ඩායමේ ලකුණු පරතරය තවදුරටත් ඉහළ නංවාලීමට ඔක්බෙබෝගේ අලංකාර උත්සාහක දිනුමට හැකි විය. කෙසේ නමුත් අවාසනාවන්ත අයුරින් වල්පිටගේ අතින් ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය ගිලිහී ගියේය. (සාන්ත පීතර 08 – 15 වෙස්ලි)

පළමු අර්ධය – සාන්ත පීතර විද්‍යාලය 08 (1T,1P) – 15 (2T,1C,1P) වෙස්ලි විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ දී සාන්ත පීතර කණ්ඩායමට ඔවුන්ගේ නිත්‍ය නායකයා ද ඇතුළුව ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු සේවය අහිමි වී ගියේ තරගය අතරතුර දී ඇති වූ ආබාධ තත්වයන් නිසාවෙනි.

ඒත් සමඟම තරමක් මානසිකව ඇඳ වැටුණු සාන්ත පීතර කණ්ඩායමේ ස්ථාවරත්වය යලිත් ගොඩනඟාලීමට තෙනුක නානායක්කාර සමත් වූයේ දර්ශනීය ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් ලකුණු පුවරුවේ සාන්ත පීතර අන්තය වර්ණවත් කරමිනි. (සාන්ත පීතර 15 – 15 වෙස්ලි)

එම උත්සාහක දිනුමත් සමඟම තරගය නැවතත් දෙපිලටම විවෘත වූ අතර කණ්ඩායම් දෙකම තම උපරිම ජවය යොදවමින් ලකුණු රැස්කිරීමේ අවස්ථාවන් පසුපස හඹා යාමට වඩාත් යුහුසුලු විය.

සාන්ත පීතර කණ්ඩායම කිහිප අවස්ථාවක දී ම වෙස්ලි උත්සාහක දිනුම් රේඛාව ආසන්නයටම පන්දුව රැගෙන ආ නමුත් එම සෑම අවස්ථාවක දී ම ඔවුන්ගේ නොසැලකිලිමත්කම සහ සිදු වූ සුළු අත්වැරදීම් නිසාවෙන් වෙස්ලි ක්‍රීඩකයින් හට නැවත වතාවක් තරගය වෙත අවතීර්ණ වීමේ ඉඩප්‍රස්තාවන් කිහිපයක්ම උදා විය.

වෙස්ලි ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් ස්ථානෝචිතව තම තමන්ට වෙන්වූ කාර්‍යභරයන් පිළිබඳ  හොඳින් අවබෝධ කර ගනිමින් පීතර ආක්‍රමණයන් සාර්ථකව බිඳ හෙළීමට සමත් විය.

නාලන්දාවට සාන්ත ජෝන් විදුහලෙන් දැවැන්ත ප්‍රහාරයක්

2019 මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අද (19)…

නමුත් වෙස්ලි ක්‍රීඩකයින් විසින් 65 වැනි මිනිත්තුවේ දී පීතරයින් හට පූජා කළ දඬුවම් පහර අවස්ථාව තරගයේ තීරණයට සෘජුවම බලපෑ අතර කිසිදු කලබලයකින් තොරව උදා වූ මහඟු අවස්ථාව මැනවින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් යොදාගැනීමට තෙනුක නානායක්කාරගේ පාදයට හැකි විය. (සාන්ත පීතර 18 – 15 වෙස්ලි)

දෙවන අර්ධය අවසානයේ දී තරගයේ ලකුණු තත්වය සම කරමින් අතිරේක කාලසීමාව දක්වා තරගය රැගෙන යාමට තිබූ අවසන් අවස්ථාවත් වෙස්ලි කණ්ඩායමේ තරිඳු වල්පිටගේ අතින් ගිලිහී ගියේ මීටර 40ක පමණ දුර සිට ලැබුණු අසීරු දඬුවම් පහර ගෝල කණු අතරින් පා කර හැරීමට ඔහු අපොහොසත් වීම නිසාවෙනි.

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 18 (2T,1C,2P) – 15 (2T,1C,1P) වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: සැමුවෙල් ඔක්බෙබෝ(වෙස්ලි)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්: 

සාන්ත පීතර විද්‍යාලය

  • උත්සාහක දිනුම් – ෂෙනෝල් සිල්වා 1, තෙනුක නානායක්කාර 1
  • ප්‍රවර්තන – තෙනුක නානායක්කාර 1
  • දඬුවම් පහර – තෙනුක නානායක්කාර 2

වෙස්ලි විද්‍යාලය

  • උත්සාහක දිනුම් – සැමුවෙල් ඔක්බෙබෝ 2 
  • ප්‍රවර්තන දිනුම් – තරිඳු වල්පිටගේ 1
  • දඬුවම් පහර – තරිඳු වල්පිටගේ 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<