10වැනි වරටත් මයිලෝ ජනාධිපති කුසලානය ඉසිපතනයට

863

Milo president trophy Isipathana v Royal College

2016 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියේ ජය ද තමන් සතු කර ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය ඊයේ දිනයේ (13) සමත් විය. ඒ අවසන් මහා තරඟයේ දී කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම ලකුණු 47 – 12 ලෙස පරාජය කරමිනි.

අවසන් මහා තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය පිළිබඳ ගැටලු හා සාකච්ඡා වට ගණනකට පසු තරඟය ඊයේ කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට යෙදිනි. විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් මධ්‍යයේ ක්‍රීඩාංගනය අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් ඇති බව පෙනෙන්නට තිබිණි.

පසුගිය ලිපි: අවසන් තරගයේ සැබෑ වාසිය කාහටද?

රාජකීය ක්‍රීඩක අශෝක් විජේකුමාර් පන්දුව ගුවනට යොමු කිරීමත් සමග 22වන මයිලෝ ජනාධිපති කුසලාන පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟය ආරම්භ විය. ප්‍රථම මිනිත්තු කිහිපයේ දී ම රාජකීය විදුහල තම සුපුරුදු ක්‍රීඩා විලාසය ට අවතීර්ණ විය. නමුත් ඔවුනගේ එම ප්‍රයත්නය සාර්තක කරගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ ඉඩ නොදුන් හ. ඉසිපතන මීටර 22 සීමව තුල දෙවතාවක් රජකීයයන් හට දඬුවම් පහර ලැබුණ ද ඒවා ලකුණු බවට පරිවර්තනය කරගැනීමට ඉසිපතන ක්‍රීඩකයන් ඉඩ ලබා දුන්නේ නැත. මද වේලාවකට පසු තරඟය තම අණසකට නතු කර ගැනීමට ඉසිපතනය සමත් විය. ඔවුන්ගෙ අති විශිෂ්ට පසු පෙල ක්‍රීඩකයන් ගේ ක්‍රීඩා විලසය සාමාන්‍යයෙන් ඉතාමත් හොඳ මට්ටමක පවතින රාජකීය විද්‍යාලයේ ආරක්ෂක වලල්ල බිඳ හෙලීමට සමත් විය. ඒ අවසරයෙන් ඉසිපතන උපනායක සුමුදු රන්කොත්ගේ 12 වන මිනිත්තුවේ දී ඉතාමත් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරන්නේ ඉසිපතන ප්‍රේක්ෂක ප්‍රීති  ඝෝෂා මධ්‍යයේය. ඉසිපතනයේ ආරම්භක උත්සාහක දිනුමට සාධාරණයක් ඉටු කිරීමට ගයාන් වික්‍රමරත්න සමත් විය (07-00).

එම ලැබූ උත්සාහක දිනුමත් සමඟ කෙමන් කෙමෙන් ඉසිපතනය තරඟයට අවතීර්ණ වන බවක් දක්නට ලැබිනි. ආරම්භක උත්සාහක දිනුමෙන් පසු තම දෙවන උත්සාහක දිනුම ද වාර්තා කරගැනීමට ඉසිපතනය සමත් වන්නේ නායක කුෂාන් ඉඳුනිල් විසින් ඉතාමත් අගනා ලෙස යොමු කරන පන්දුව රැන්ඩි සිල්වා විසින් උත්සාහක දිනුම් රේඛාව අභිබවා ගෙන යාමත් සමඟය. මෙවර තම ප්‍රවර්තනය නියමාකාරයෙන් එල්ල කිරීමට ගයාන් වික්‍රමරත්නට නොහැකි විය (12-00).

ඉන්පසු මද වේලාවකට පන්දුව දෙපිල තුලම දෝලනය වෙමින් පැවතිනි. මෙවර දී රාජකීයයන් ද තම සුපුරුදු දස්කම් දක්වමින් තරඟයට අවතීර්ණ වන බවක් දක්නට ලැබින. රාජකීය ක්‍රීඩකයන් යාර කිහිපයක් ම පන්දුව රැගෙන ඉසිපතන ධවල රේඛාව අසලට පැමිණිය ද ඔවුන්ට සාර්ථක වීමට ඉසිපතනයන් ඉඩ ලබා දුන්නේ නැත. නමුත් ලබා දුන් දඬුවම් පහරක් ඉසිපතන ක්‍රීඩකයන් හෝ ප්‍රේක්ෂකයන් පවා නොසිතූ ආකාරයට උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කිරීමට රාජකීය කණ්ඩායමේ උප නායක අශෝක් විජේකුමර් සමත් විය. ඔවින් ඇස්කි ද එම උත්සාහක දිනුමට සාධාරණයක් ඉෂ්ඨ කරමින් තම ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය (12-07).

පසුගිය ලිපි: අවසන් මොහොතේ තර්ස්ටන් සාන්ත ජෝන් අභිබවයි

නමුත් ඒ ලබා ගත් අවස්ථාව සාර්ථක ලෙස පවත්වා ගැනීමට රාජකීයයන්ට නොහැකි විය. රාජකීය පසු පෙල ක්‍රීඩකයන් පන්දුව හැසිරවීමේදී දැක්වූ දුර්වලතා ඉසිපතනයට අාරාධනාවක් බඳු විය. ඉසිපතන ක්‍රීඩකයින් මැනවින් පන්දුව තමන් තුල රඳවා ගනිමින් තරඟයේ තම අණසක පැතිරවිය. අවස්ථා කිහිපයකදී ඉසිපතන ක්‍රීඩකයන් රාජකීය ධවල රේඛාව අසලට පැමිනිය ද එම අවස්ථා ව්‍යාර්ථ විය. නමුත් ඔවුන් පන්දුව සැම විටම තමන් සතුව තබා ගැනීමට යුහුසුළු විය. ඒ අවසරයෙන් චමෝද් ප්‍රනාන්දුගේ විශිෂ්ට Offload කිරීමකින් පන්දුව රැගෙන ඉසිපතනයේ තුන් වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට ඉසිපතනයේ නායක කුෂාන් ඉඳුනිල් සමත් විය. එහි ප්‍රවර්තනය ද ගයාන් වික්‍රමරත්න විසින් සාර්ථක කරගත් අතර ප්‍ර‍ථම අර්ධය අවසන් වන තෙක් එම ලකුණු නොසෙල්වි තිබිනි (19-07).

ප්‍ර‍ථම අර්ධය – ඉසිපතන විද්‍යාලය 19 : 07 රාජකීය විද්‍යාලය

කෙටි විවේකයෙන් පසු තරඟය ආරම්භ කිරීමෙන් මිනිත්තු තුනක පමණ කාලයකදී තම සිවුවන උත්සාහක දිනුමත් වාර්තා කිරීමට ඉසිපතනය සමත් විය. ඒ ක්‍රීඩක හරිත් බණ්ඩාර ලබා දුන් පන්දුව ඉතාමත් විශිෂ්ට ලෙස උත්සාහක දිනුම් රේඛාවෙන් ඔබ්බට ගෙන ගිය රැන්ඩි දිසානායක මගිනි. එහිදී ද තම සුපුරුදු දස්කම් අතර සිටි ගයාන් වික්‍රමරත්නට අතිශය පහසු ප්‍රවර්ථනයක් සාර්ථක කර ගනිමින් ඉසිපතනය පෙරමුණට ගෙන ඒමට හැකි විය (26-07).

කෙසේ වුවත් මෙතෙක් වේලාවක් තරඟය තුල දී කිසිදු ක්‍රීඩකයෙකු හට වත් කාඩ් පතක් ලැබී තිබුනේ නැත. තරඟයේ 60 වන මිනිත්තුවට මොහොතකට පෙර ඉසිපතනයේ 2nd row ක්‍රීඩක සුදීර ගයානාත්ට විනිසුරුවරයා කහ කාඩ් පතක් ලබා දුනි. ඉන් මිනිත්තු කිහිපයකට පසු ඉසිපතනයේම අනෙක් 2nd row ක්‍රීඩක අදීශ වීරතුංගට ද කහ කාඩ් පතක් ලැබු නිසාවෙන් ඉසිපතනය ක්‍රීඩකයන් 13 දෙනෙකුට සීමා විය. ඒ අවසරයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට රාජකීයයන් සමත් විය. ඒ රාජකීයයන්ගේ සුපුරුදු අවිය වන Rolling Maul මගිනි. රාජකීය කණ්ඩායමේ Hooker ක්‍රීඩක අස්මීර් ෆාජුඩීන් විසින් එම උත්සාහක දිනුම වාර්තා කරන ලදී. මෙවර ද සාර්ථක වීමට ඇස්කිට නොහැකි විය (26-12).

පසුගිය ලිපි: පාසල් රග්බි කණ්ඩායම් වලට පැනවූ තහනමෙන් නිසි අරමුණු ඉටුවෙයිද?

තරඟයේ දැල්වෙමින් තිබූ රාජකීය බලාපොරොත්තු සුන් වී යන්නේ ඔවුන්ගේ ප්‍රබල Hooker ක්‍රීඩක අස්මීර් ෆාජුඩීන්ට කහ කාඩ් පතක් ලබා දීම නිසා වෙනි. ඉසිපතනයට තවත් අස්වැසිල්ලක් වෙමින් රාජකීයයන් ගේ Wing ක්‍රීඩක නිකිල් ජෝර්ජ්ට ද කහ කාඩ් පතක් එල්ල විය. ඉසිපතනය ක්‍රීඩකයින් 13 සමග ක්‍රීඩා කරන අවස්ථාවේ ඉතාමත් ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් අනුගමනය කලද රාජකීයයන් එසේ නොකිරීම ඉසිපතනයට තවත් තම ලකුණු පරතරය ඉහල නංවා ගැනීමට රුකුලක් විය. එනම් යලිත් ක්‍රියාත්මක වූ ඉසිපතනයේ සුමුදු රන්කොත්ගේ තම කණ්ඩායමේ පස් වන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මෙවර ද සාර්ථක වූ ගයාන් වික්‍රමරත්න එම විශිෂ්ට උත්සාහක දිනුමට සාධාරණයක් ඉෂ්ට කළේය (33-12).

එතැනින් පසු රාජකීය විද්‍යාලය යලිත් තම ඉදිරි පෙල ක්‍රීඩකයන් සමග ඉදිරියට ඇදෙන බවක් පෙන්නුම් කලද ඒ සෑම අවස්ථාවක දීම ඉසිපතන ක්‍රීඩකයන් ඔවුන් වැලකූහ. තරඟය ඉසිපතන ජය මාවතට ලං වෙමින් තිබූ අවස්ථාවක රාජකීයන් අතින් ගිලිහුනු පන්දුවක් මීටර 60ක දුරක් සාර්ථකව ගෙන එමින් ගෝල කණු දෙක යටින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඉසිපතනයේ රැන්ඩි සිල්වා සමත් විය.  එය තරඟය තුල ඔහු වාර්තා කල තුන් වැනි උත්සාහක දිනුම විය. එහිදී ද සාර්ථක ලෙස ප්‍රවර්තනය කල ගයාන් වික්‍රමරත්න එය තරඟය තුල තම පා පහරෙන් ලබා ගත් 10 වන ලකුණ ලෙස සනිටුහන් කලේය (40-12).

තරගයේ ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

තරඟයේ අවසන් කොටසේ දී ද තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඉසිපතනයේ රනිදු ප්‍රමෝද් සමත් විය. එහිදී ද සාර්ථක වූ ගයාන් වික්‍රමරත්න ඉසිපතනයට ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙකු වනු ඇති බවට පළවී තිබූ පෙර විපරම් මනාවට පසක් කලේය. සමස්ථයක් ලෙස ඉසිපතනය දිනයේ ඉහල දක්ෂතා දැක්විය. රාජකීයයන්ගේ පරාජය ට වැඩි වශයෙන් හේතු වූයේ ඔවුන්ගේ සුළු වැරදි පිළිබඳව අවධානය යොමු නොකිරීම බව මාගේ අදහසයි. නමුත් ඉතාමත් අගය කල යුතු කාරණය වන්නේ තරඟය පුරාවට ක්‍රීඩකයන් අතර කිසිදු ආකාරයක ගැටුමක් ඇති නොවීමයි. මෙය අනෙකුත් පාසල් වලට හොඳ ආදර්ශයකි. ජය පැරදුම කෙසේ වෙතත් තරඟය අවසානයේ තම ප්‍රතීවාදීන්ට අතට අත දෙමින් සුභ පැතිය හැකි වීම ක්‍රීඩාවකින් උගන්වන මහත්මා ගතිගුණ මැනවින් ප්‍රකට කරන්නකි.

අවසන් ලකුණු තත්වය – ඉසිපතන විද්‍යාලය 47 : 12 රාජකීය විද්‍යාලය

විනිසුරු – රොහාන් ප්‍රනාන්දු

Thepapare.com තරඟයේ වීරයා – රැන්ඩි සිල්වා (ඉසිපතන)

ඉසිපතන විද්‍යාලය (19) 47

  • උත්සාහක දිනුම්- රැන්ඩි සිල්වා (3) සුමුදු රන්කොත්ගේ (2) , කුශාන් ඉඳුනිල් (1) , රනිඳු ප්‍රමෝද් (1)
  • ප්‍රවර්තන – ගයාන් වික්‍රමරත්න (6)

රාජකීය විද්‍යාලය (07) 12

  • උත්සාහක දිනුම් – අශෝක් විජේකුමාර් (1) , අස්මීර් ෆජුඩීන් (1)
  • ප්‍රවර්තන – ඔවින් ඇස්කි (1)