ලුම්බිණි සංග්‍රාමය ජය ගැනීමට ආනන්දයින් සමත් වෙයි

206

2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද (12) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුණු අතර ඉතා උණුසුම් සටනකින් අනතුරුව අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් විය. ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ලබා ගත් එම ජයග්‍රහණයේ අවසන් ලකුණු පුවරුව ලකුණු 26-22ක් ලෙස දිස්විය.

වැරදුනේ කොතනද?

කොළඹ ඉසිපතන විද්‍යාලය යනු ‘ශ්‍රී ලංකාවට වැඩියෙන්ම රග්බි ක්‍රීඩකයින් නිපදවූ පාසල’ යයි…

සිය උපරිමය ක්‍රීඩා පිටිය තුල ලබා දෙමින් කෙසේ හෝ තම පාසල අවසන් මහා තරගය සඳහා රැගෙන යාමේ දැඩි අධිෂ්ඨානයකින් යුතුව දෙපිලම තරග බිමට පිවිසුණු අතර ඒ අනුව වැඩි කාලවේලාවක් ගත නොකොට තරගයේ පළමු වෙඩිමුරය දියත් කිරීමට ආනන්ද ක්‍රීඩකයින් සමත් විය.

ලුම්බිණි විද්‍යාලයීය ආරක්ෂක පෙළ ක්‍රීඩකයින්ගේ දුර්වලතාවන් හඳුනා ගනිමින් එය ක්ෂණයකින් තම කණ්ඩායමේ වාසියට හරවා ගත් ආනන්ද විද්‍යාලයේ ජී. පෙරේරා හට ඉතා පහසුවෙන් උත්සාහක දිනුම් රේඛාව අභිබවා ගමන් කිරීමට හැකි වූ නමුත් ප්‍රවර්තනයේ දී නිසියාකාරව පන්දුව ගෝල කණු අතරින් යොමු කිරීමට ඔහු අපොහොසත් විය. (ආනන්ද 05 – 00 ලුම්බිණි)

තරගයේ මුල් විනාඩි කිහිපය තුල දී ම ආනන්ද විද්‍යාලයෙන් එල්ල වූ ප්‍රබල අභියෝගය සඳහා ඉතා සාර්ථකව මුහුණ දුන් ලුම්බිණි ක්‍රීඩකයින් සිය වේගවත් ක්‍රීඩා රටාව කෙරෙහි තවදුරටත් විශ්වාසය තබමින් දිගින් දිගටම ප්‍රතිවාදී අර්ධය ආක්‍රමණය කිරීමෙහි නිරත විය.

එම වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් උත්සාහක දිනුම දෙකකින් ආනන්ද ක්‍රීඩකයින් හට සංග්‍රහ කිරීමට ඔවුන් සමත් වූ අතර සචින් එරංග සහ යෙසිර ග්‍රේරෝ දෙදෙනා ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ලකුණු රැස්කිරීමේ කර්තව්‍යයෙහි නිරත වෙමින් තරගයේ පාලනය තම කණ්ඩායම දෙසට හරවා ගැනීමට වඩාත් යුහුසුලු විය. කෙසේ නමුත් එකදු අවස්ථාවක දී හෝ අමතර ලකුණු එක්කිරීමේ කාර්‍යභරය හරියාකාරව ඉටු කරගැනීමට ලුම්බිණි කණ්ඩායමේ දුලක්ෂ චමුපතිට නොහැකි විය. (ආනන්ද 05 – 10 ලුම්බිණි)

ඉසිපතන ක්‍රීඩකයෝ ජෝසප් සිහින බිඳ දමයි

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය…

ලකුණු පුවරුවේ පීඩනය ක්‍රමයෙන් ඉහළ යනවාත් සමඟම ඉතා ප්‍රවේගකාරී තරග රටාවකට අවතීර්ණ වූ ආනන්ද ක්‍රීඩකයින් පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් ඉතා දැකුම්කළු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ තවමත් ඔවුන්ගේ ආධිපත්‍යය මෙම තරගයෙන් ගිලිහී ගොස් නොමැති බවට ලුම්බිණියන්ට රතු එළියක් දල්වමිනි. ආනන්දය වෙනුවෙන් වී. රත්නායක එම උත්සාහක දිනුම වාර්තා කිරීමේ ගෞරවයට හිමිකම් කීව ද එය ගොඩනැගීමේ වාරයන් කිහිපයක් යොදා ගනිමින් ලබා ගත් අපූර්ව කණ්ඩායම් උත්සාහක දිනුමක් ලෙස හැඳින්විය යුතුය. තරගයේ ප්‍රථම වතාවට පන්දුව ගෝල කණු අතරින් පා කර හරිමින් අතිරේක ලකුණු දෙකක් කණ්ඩායමේ ගිණුමට බැර කිරීමට පෙරේරා සමත් විය. (ආනන්ද 12 – 10 ලුම්බිණි)

පළමු අර්ධය: කොළඹ ආනන්ද විද්‍යාලය 12 (2T,1C) – 10 (2T) කොළඹ ලුම්බිණි විද්‍යාලය

පළමු අර්ධයේ දී තමන් අතින් සිදු වූ අඩුපාඩු පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව තරගයට අවතීර්ණ වූ ලුම්බිණි ක්‍රීඩකයින්ට දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකක් ගතවීමටත් මත්තෙන් ලකුණු පුවරුවට ජීවයක් එක්කිරීමට හැකි වූයේ කසුන් රාජපක්ෂ විසින් වාර්තා කළ අපූර්ව උත්සාහක දිනුමත් සමඟිනි. සචින් එරංගගේ අලංකාර පන්දු යොමුකිරීම නිසාවෙන් එම උත්සාහක දිනුම සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූ නමුත් එය ප්‍රවර්තිත උත්සාහයක් බවට පත්කිරීමේ අවස්ථාව ඔහු අතින් ගිලිහී ගියේය. (ආනන්ද 12 – 15 ලුම්බිණි)

ඉන්පසු එළඹි කාලසමය තුල කණ්ඩායම් දෙකෙන්ම තරමක් මන්දගාමී ක්‍රීඩා විලාසයක් දිස්වූ නිසාවෙන් තරගයේ වේගය තරමක් අඩාල විය. කෙසේ නමුත් ලද අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් ආනන්ද කණ්ඩායම ප්‍රවර්තිත උත්සාහක දිනුම් දෙකක් ඔස්සේ තරගයේ ග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත්විය.

විරාමයකට පසු දිමිත්‍රි නව කණ්ඩායමක් සමඟින් රග්බි පිටියට

නිමා වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත් මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන්…

එසේ ලුම්බිණි කණ්ඩායම පසුපසට ඇද දමමින් තරගයේ අවසන් භාගයේ වැඩි පීඩනයක් ඔවුන් වෙත යොමුකිරීමට ආනන්ද විද්‍යාලයේ භානුක මධුෂංඛගේ ක්‍රීඩා විලාසය වඩාත් ඉවහල් වූ අතර ඔහු එක් උත්සාහක දිනුමකින් සහ ප්‍රවර්තන ගෝල යුගලයකින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව වර්ණවත් කිරීමට දායකත්වය සැපයුවේය. ආනන්දය වෙනුවෙන් වාර්තා කළ අනෙක් උත්සාහක දිනුමේ හිමිකරුවා බවට පත්වීමේ භාග්‍ය උදාකරගත්තේ ඒ. ප්‍රසාද් විසිනි. (ආනන්ද 26 – 15 ලුම්බිණි)

උපායශීලීව ක්‍රීඩා කළේ නම් තවදුරටත් තරගයේ තීරණයට විශාල බලපෑමක් එල්ල කිරීමේ වැඩි ඉඩකඩක් ලුම්බිණියන් සතු වූවත් ඔවුන්ට අවසානයේ දී ලබාගත හැකි වූයේ එක් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් පමණි. තරගය ආනන්දයෙන් උදුරා ගැනීමට එය ප්‍රමාණවත් නොවූ නමුත් තරගය පුරාවට ලුම්බිණි කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් වෙත ගෙන යාමට අශේන් වීරසිංහගේ උත්සාහක දිනුමට හැකි විය. (ආනන්ද 26 – 22 ලුම්බිණි)

අවසන් ලකුණු තත්වය: කොළඹ ආනන්ද විද්‍යාලය 26 (4T,3C) – 22 (4T,1C) කොළඹ ලුම්බිණි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – භානුක මධුෂංඛ (ආනන්ද)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

ආනන්ද විද්‍යාලය

  • උත්සාහක දිනුම – ජී. පෙරේරා 1, වී. රත්නායක 1, ඒ. ප්‍රසාද් 1, භානුක මධුෂංඛ 1
  • ප්‍රවර්තන ගෝල – භානුක මධුෂංඛ 2, ජී. පෙරේරා 1

ලුම්බිණි විද්‍යාලය

  • උත්සාහක දිනුම – සචින් එරංග 1, යෙසිර ග්‍රේරෝ  1, කසුන් රාජපක්ෂ 1, අශේන් වීරසිංහ 1
  • ප්‍රවර්තන ගෝල – දුලක්ෂ චමුපති 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<