වචනවලින් වෙඩි තබා ඕස්ට්‍රේලියාව කෙලින් කළ මයිකල් චේකාගේ මෙහෙයුම

1349

මනසින් වැටුණු රග්බි කණ්ඩායමක් කෙලින් කරවීමට ඔබට මිනිත්තු 10කින් කළ හැක්කේ මොනවා ද? තරගයේ පළමු අර්ධය අවසාන වෙද්දී ඔබේ කණ්ඩායම ලකුණු 24ක් පිටුපසින්. ඔබට ජයග්‍රහණය අවශ්‍ය ය. එහෙත් ඔබට ලැබෙන උපරිම කාලය මිනිත්තු 10කි.

මේ සිද්ධිය සිදු වුනේ ඕස්ට්‍රේලියානු රග්බි පුහුණුකරු මයිකල් චේකා හට ය. ඒ පසුගිය දා ආජන්ටිනාවට එරෙහිව පැවැත්වුණු 2018 රග්බි ශූරතා තරගාවලියේ එක් තරගයකදීයි. “වොලබීස්” ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායම දැනට ලෝක ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානයේ පසුවෙන අතර “ලොස් පූමාස්” ලෙස හඳුන්වන ආජන්ටිනා රග්බි කණ්ඩායම 9 වැනි ස්ථානයේ පසුවේ. ඔවුන් දෙපල අතර පසුගිය දා පැවති රග්බි තරගය උණුසුම් එකක් වූ නමුත් චේකාගේ කාර්යභාරය අප්‍රකටය. තරගය පැවැත්වුණේ ආජන්ටිනාවේදීයි.

තරගයේ මුල සිටම ආජන්ටිනා කණ්ඩායම කිසිවෙකුත් නොසිතූ පරිදි උත්සාහක දිනුම් වරුසාවකින් ඕස්ට්‍රේලියාව නහවන්නට විය. තරගය ඇරඹී මිනිත්තු දෙකක් ගතවන්නටත් ප්‍රථම ආජන්ටිනාව විසින් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා විය. ඒ පැබ්ලෝ මටේරාගේ වේගවත් ධාවනයක් අවසානයේදී යි. එතැන් සිට, එමිලියානෝ බොෆෙලි, මතායස් ඕලැන්ඩෝ සහ ගොන්සාලෙස් ඉග්ලේෂියස් ද උත්සාහක දිනුම් වාර්තා කළේය. නිකොලස් සැන්චෙස් සහ ගොන්සාලෙස් ඉග්ලේෂියස් ප්‍රවර්තන සහ දඬුවම් පහරවලින් ද ලකුණු රැස්කරන්නට වූ පසු ආජන්ටිනාවේ ලකුණු තත්වය 31ක් බවට පත්ව තිබුණි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් 13 වැනි මිනිත්තුවේ දී මයිකල් හූපර් විසින් වාර්තා කළ උත්සාහක දිනුම පමණක් ඉතිරි විය.

පළමු අර්ධයේ අවසානය වන විට ආජන්ටිනාව ලකුණු 31කුත්, ඕස්ට්‍රේලියාව ලකුණු 07කුත් වාර්තා කොට තිබිය දී පරතරය ලකුණු 24ක් විය. මෙය රග්බි ක්‍රීඩාවේ දී කෙතරම් දිගු පරතරයක් දැයි ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රවර්තිත උත්සාහක දිනුම් 3කුත් දඬුවම් පහරකුත් ඒ පරතරය සපුරාගන්නට අවශ්‍ය ය. ඒ අතරම ප්‍රතිවාදීන් ලකුණු රැස්නොකළ යුතුය. දෙවැනි අර්ධය ඇරඹීමට පෙර ඕස්ට්‍රේලියාව හමුවේ තිබූ අභියෝගය එයයි.

මේ මගේ වාරයයි” මයිකල් චේකා සිතන්නට ඇත. ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමේ පුහුණුකාරීත්වය තමන්ට ලැබුණු හේතුව ඔහුට සිහිවන්නට ඇත. රග්බි ක්‍රීඩාවෙන් යම් පසුබැසීමක සිටින ඕස්ට්‍රේලියාව නැවත ගොඩගැනීම තම පරම කාර්යභාරය බව ඔහුට සිහිවන්නට ඇත.

ඔහු ක්‍රීඩාගාරය තුළ දී ක්‍රීඩකයන්ගේ කන් ඇරෙන්නට කතා කළේය. එහාට මෙහාට ඇවිදිමින් ක්‍රීඩකයන්ගේ දෙනෙත් දෙස කෙලින් බැලුවේය. විටෙක බර්නාඩ් ෆෝලිගේ ජර්සිය ද අතින් අදිමින් ඔහුට කෑගසන්නට සිදු විය. ඒ ඔවුන් ක්‍රීඩා කරන්නේ කුමක් වෙනුවෙන් ද යන්න ක්‍රීඩකයන්ට නැවත මතක් කරදීම සඳහා යි.

චේකා, බර්නාඩ් ෆෝලිගේ ජර්සියෙන් අදින ඡායාරූපයක් (අවාසනාවකට මෙන් එම වීඩියෝව ඕස්ට්‍රේලියාව තුළ පමණක් බුද්ධිමය දේපලක් වශයෙන් ප්‍රචාරය වේ)

ක්‍රීඩකයන්ට අවශ්‍ය වූ මානසික උත්තේජනය එලෙස ඔවුන් වෙත බෙදාහැරීම පුහුණුකරුගේ වගකීමයි. තරගය පැවැත්වෙන අතරතුර කෑගැසීමට වඩා පළමු අර්ධය අවසාන වූ පසු ලැබෙන විවේකය ඊට කදිම ඉඩකි. තරගය අතරතුරදීට වඩා ක්‍රීඩකයන්ට සාවධානව තමන් සිදුකරන වැරදි දෙස නැවත හැරී බැලීමේ හැකියාව ලැබෙන්නේ එවිට ය. මයිකල් චේකා එය හොඳින් හඳුනාගෙන සිටියේය.

හඬ නැතිව වුවත් එය නරඹන විට සිහිවන්නේ Any given Sunday චිත්‍රපටය වෙනුවෙන් අල් පචීනෝ නම් විශිෂ්ට රංගන ශිල්පියා සිදු කළ රංගනයකි. ඒ අයුරින්ම වැටී සිටින ඇමරිකන් ෆුට්බෝල් කණ්ඩායමක් උත්තේජනය කිරීම සඳහා, නැවත නැගිටුවීම සඳහා ඔහු සිදු කළ භාවාතිශය කතාවට ඔහුගේ කණ්ඩායම සවන් දුන් සේම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඊට හදවතින් සවන් දුන්නේය.

දෙවන අර්ධය ඇරඹිණි. පිටියට පැමිණ සිටියේ තරගය ඇරඹෙද්දී පිටිය මත සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නොවේ. චේකාගේ උත්තේජනය මේ ක්‍රීඩකයන්ගේ සිත් තුළ කැකෑරෙමින් තිබිණි. පිටිය මත සිටියේ පසුබසිමින් සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමක ක්‍රීඩකයන් නොව, ඩේවිඩ් කැම්පේසි, ජෝජ් ග්‍රෙගන්, ස්ටීවන් ලාකම්, මයිකල් ලීනා, නේදන් ෂාප් වැනි ඉතිහාසගත ලෝක ශූරයන් බිහිවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් ය. ඔවුන් තරගයට අවතීර්ණ විය.

අයිසැක් රොඩා, ඉස්රායෙල් ෆලාවු, ඩේන් හේලට්-පෙටී, ඩේවිඩ් පෝකොක් උත්සාහක දිනුම් සීමාව තරණය කරමින් ලකුණු රැස්කරන්නට විය. ඊට මුල් වූයේ පන්දුව ප්‍රතිවාදීන් අතට පත්නොවන අයුරින් ඔවුන්ගේ මුළු කණ්ඩායමම දිගු අදියරයන් (long phases) වශයෙන් පන්දුව හුවමාරු කර ගැනීමයි. ක්‍රීඩකයන් තමන්ගේ කණ්ඩායම් සගයන් කෙරෙහි දැක්වූ විශ්වාසය ඉහළ මට්ටමක විය. ඇතැම් උත්සාහක දිනුම් ගොඩනැංවීම සඳහා අදියරයන් (phases) 10, 11 නිර්මාණය විය. පන්දුව පිටියේ එහා කොනේ සිට මෙහා කොනටත්, මෙහා කොනේ සිට එහා කොනටත් කෙමෙන් කෙමෙන් හුවමාරු වූ එම අදියරයන් නැරඹීමට උත්කර්ෂවත් විය.

දෙවන අර්ධය තුළ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් විසින් ප්‍රතිවාදීන් වෙත ලබා දී තිබුණේ එකම එක දඬුවම් පහරක් පමණි. එය පමණක් සාර්ථක කර ගනිමින් ආජන්ටිනාව ලකුණු 34ක් ලබා ගන්නා විටත් ඕස්ට්‍රේලියාව ලබා සිටියේ ලකුණු 28ක් පමණි. එහෙත් 63 වැනි මිනිත්තුව වන විට ලකුණු තත්වය 35-34ක් ලෙස ඕස්ට්‍රේලියාවට වාසිදායක විය. 65 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ පෝකොක්ගේ උත්සාහක දිනුමත් සමඟින් ලකුණු තත්වය 42-34ක් වී පසුව එයට දඬුවම් පහරක් ද එක්කර ගන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් විය.

තරගය අවසන් වූයේ ලකුණු 45-34ක් වශයෙන් ඕස්ට්‍රේලියාවට ජය ගෙන දෙමිනි. එය ආජන්ටිනාවට නපුරු සිහිනයක්ම විය. අවසානයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පිටිය මැද ජයග්‍රහණය සමරද්දී පුහුණුකරු මයිකල් චේකා නොවෙනස් මුහුණින් එදෙස බලා සිටියේය. සමහර අවස්ථාවල දී සමහර ක්‍රීඩකයන්ව වෙඩි තබා කෙලින් කළ යුතුය. විශිෂ්ට පුහුණුකාරීත්වය යනු නැගිටුණු ක්‍රීඩකයන්ගේ කරපිටින් ගොඩ යෑම නොව, විශිෂ්ට පුහුණුකාරීත්වය යනු වැටුණු ක්‍රීඩකයන් කෙලින් සිටුවා ඔවුනට ජය ගැනීමට අවශ්‍ය පන්නරය ලබා දීම ය.

තරගයේ විශේෂ අවස්ථා

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<