2018 වසර සඳහා වන වෙළඳසේවා වොලිබෝල් ශූරතාවලියේ ශූරතා කාණ්ඩයේ සහ සුපිරි ලීගයේ කාන්තා හා පිරිමි අවසන් මහා තරග අද (11) මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අවසන් විය.

තරගාවලියේ අවසන් මහා තරගවල පළමු දිනය වූ ඊයේ (10) දිනයේ දී ‘A’ කාණ්ඩයේ කාන්තා හා පිරිමි අවසන් මහා තරග පැවති අතර එහි දී කාන්තා තරග අංශයේ ශූරතාවය ‘MAS Unichela’ කණ්ඩායම විසිනුත්, පිරිමි තරග අංශයේ ශූරතාවය ‘Omega Line’ ආයතන කණ්ඩායම විසිනුත් දිනා ගන්නා ලදි.

ඒ අනුව තරගාවලියේ අවසන් දිනය වූ අද දිනයේ දී පවත්වනු ලැබුවේ ශූරතා කාණ්ඩයේ සහ සුපිරි ලීගයේ අවසන් මහා තරගයි.

මැලිබන් බිස්කට් සහ ‘Omega Line’ ශූරතා දිනති

2018 වසර සඳහා වන වෙළඳසේවා වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග අද (10) මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි ජයග්‍රහණ…

සුපිරි ලීගය – කාන්තා තරග අංශය

තරගාවලියේ ප්‍රමුඛතම කාණ්ඩය වන සුපිරි ලීගයේ කාන්තා තරග අංශයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේ ‘MAS Casualline’ සහ මීරිගම ‘Brandix Fast Fashion’ කණ්ඩායම් ය.

තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් තරගය පුරාවට සිය අණසක පතුරුවා ගන්නට ‘MAS Casualline’ ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් ඔවුන් ලකුණු 25-09ක් ලෙස තරගයේ පළමු වටය පහසුවෙන් ජයග්‍රහණය කරනු ලැබීය.

තරගයේ ඉදිරි වට දෙක තුළ දී ද ඔවුන්ට කිසිදු අභියෝගයක් එල්ල කරන්නට ‘Brandix Fast Fashion’ ක්‍රීඩිකාවන් අසමත් වූ අතර ඒ අනුව එම තරග වට දෙක ද පිළිවෙළින් ලකුණු 25-12ක්, සහ 25-08ක් වශයෙන් ජයග්‍රහණය කළ ඔවුන් පහසුවෙන් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය.

ඒත් සමඟම තරග වට 3-0ක් ලෙස මෙම තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත් ‘MAS Casualline’ ක්‍රීඩිකාවන් තරගාවලියේ සුපිරි ලීගයේ කාන්තා තරග අංශයේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

සුපිරි ලීගය – පිරිමි තරග අංශය

තරගාවලියේ සුපිරි ලීගයේ පිරිමි තරග අංශයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කටුනායක ‘MAS Active Leisureline’ කණ්ඩායම සහ ‘Teejay Lanka PLC’ ආයතන කණ්ඩායම සමත් වූහ.

තරගයේ පළමු වටයේ දී කණ්ඩායම් දෙකම ලකුණ පිට ලකුණ වාර්තා කරගනිමින් තරගයට හොඳ ආරම්භයක් ලබා ගන්නට සමත් වූහ.

තියුණු සටනකින් පසු වරායත්, විදුලිබලයත් අවසන් සංග්‍රාමයට

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ පිරිමි…

කෙසේ නමුත් පළමු වටයේ මැද භාගයේ දී ‘Teejay Lanka’ කණ්ඩායම අභිබවමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරයක් ගොඩනඟා ගන්නට ‘MAS Active Leisureline’ කණ්ඩායම සමත් වූ අතර එම පරතරය එම තරග වටය අවසානය දක්වාම ආරක්ෂා කර ගත් ඔවුන් ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 25-22ක් ලෙස එහි ජයග්‍රහණය ලබා ගන්නට සමත් විය. තරගයේ දෙවන වටය ද ඒ ආකාරයටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් නමුත් එහි දී ද තරග වටයේ මැද භාගයේ දී ගොඩනඟා ගත් ලකුණු පරතරය අවසානය දක්වා රඳවා ගනිමින් ලකුණු 25-21ක් ලෙස ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් වූයේ ‘MAS Active Leisureline’ කණ්ඩායම යි.

අනතුරුව පැවති තෙවන වටය ආරම්භයේ සිටම ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ ‘MAS Active Leisureline’ ක්‍රීඩකයින් එම වටය ලකුණු 25-16ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය. ඒ අනුව මෙම අවසන් මහා තරගයේ දී ‘Teejay Lanka’ කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පරාජයට පත්කරමින් තරගාවලියේ සුපිරි ලීගයේ පිරිමි තරග අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ ‘MAS Active Leisureline’ කණ්ඩායම යි.  

ශූරතා කාණ්ඩය – කාන්තා තරග අංශය

තරගාවලියේ ශූරතා කාණ්ඩයේ කාන්තා තරග අංශයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත්ව තිබුණේ මාවතගම ‘MAS Casualline’ කණ්ඩායම සමඟින් ‘Omega Line’ ක්‍රීඩා සමාජ කණ්ඩායම යි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ පළමු වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර අවසානයේ ලකුණු 25-22ක් ලෙස එම තරග වටයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූයේ ‘MAS Casualline’ ක්‍රීඩිකාවන් ය. ඉන් අනතුරුව ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ ‘MAS Casualline’ ක්‍රීඩිකාවන්ට එතරම් අභියෝගයක් එල්ල කරන්නට ‘Omega Line’ ක්‍රීඩිකාවන් අසමත් වූ අතර ඒ අනුව තරගයේ දෙවන හා තෙවන වට පිළිවෙළින් ලකුණු 25-19ක් හා 25-14ක් ලෙස ජයග්‍රහණය කළ ‘MAS Casualline’ කණ්ඩායම තරගයේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් විය. ඒත් සමඟම තරග වට 3-0ක් ලෙස මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් මාවතගම ‘MAS Casualline’ කණ්ඩායම තරගාවලියේ ශූරතා කාණ්ඩයේ කාන්තා තරග අංශයේ ශූරතාවය හිමිකර ගන්නට සමත් විය.

ශූරතා කාණ්ඩය – පිරිමි තරග අංශය

තරගාවලියේ ශූරතා කාණ්ඩයේ පිරිමි තරග අංශයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගනු ලැබුවේ ‘Ocean Lanka’ කණ්ඩායම සහ ‘Expo Lanka’ කණ්ඩායම යි.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් ‘Ocean Lanka’ කණ්ඩායම ලකුණු 25-16ක් ලෙස පහසුවෙන් තරගයේ පළමු වටයේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් විය. තරගයේ දෙවන වටයේ දී ඔවුන්ට හොඳ අභියෝගයක් එල්ල කරන්නට ‘Expo Lanka’ ක්‍රීඩකයින් සමත් වුවත් අවසානයේ දී ලකුණු 25-20ක් ලෙස එම වටයේ ද ජයග්‍රහණය හිමිකර ගන්නට ‘Ocean Lanka’ ක්‍රීඩකයින් සමත් විය. අනතුරුව තරගයේ දෙවන අර්ධයේ දී ද ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ ඔවුන් එම වටය ලකුණු 25-19ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය. ඒ අනුව මෙම තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කළ ‘Ocean Lanka’ කණ්ඩායම තරගාවලියේ ශූරතා කාණ්ඩයේ පිරිමි තරග අංශයේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

යුධ, ගුවන් හමුදා සෙබලියන් අවසන් සටනට

2018 මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපිරි ලීගයේ කාන්තා අංශයේ අවසන් පූර්ව තරග අද (09) දී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

විශේෂ සම්මාන

සුපිරි ලීගය – කාන්තා තරග අංශය

  • දක්‍ෂතම ක්‍රීඩිකාව – තක්‍ෂිලා මදුරංගි (MAS)
  • හොඳම ප්‍රහාරිකාව – ජයා සංජීවනී (MAS)
  • හොඳම පන්දු සකසන්නිය – නිශානිකා සඳමාලි (MAS)
  • හොඳම පන්දු අවහිර කරන්නිය – අනුරීෂා චතුනි (MAS)
  • හොඳම පන්දු ග්‍රාහිකාව – තක්‍ෂිලා මදුරංගි (MAS)
  • හොඳම පන්දු පිරිනමන්නිය – කුසුම් කුමාරි (MAS)
  • හොඳම ලිබරෝ ක්‍රීඩිකාව – කෞෂල්‍යා දිල්හානි (MAS)

සුපිරි ලීගය – පිරිමි තරග අංශය

  • දක්‍ෂතම ක්‍රීඩකයා – ඩිලන්ත සම්පත් (MAS)
  • හොඳම ප්‍රහාරකයා – කවිඳු පබසර (Teejay Lanka)
  • හොඳම පන්දු සකසන්නා – සමින්ද නිශාන්ත (MAS)
  • හොඳම පන්දු අවහිර කරන්නා – රෙහාන් ලක්ෂිත (MAS)
  • හොඳම පන්දු ග්‍රාහකයා – ඩිලන්ත සම්පත් (MAS)
  • හොඳම පන්දු පිරිනමන්නා – ගීතංජන් අමරවිතාරන (Teejay Lanka)
  • හොඳම ලිබරෝ ක්‍රීඩකයා – මහේෂ් හර්ෂණ (MAS)

ශූරතා කාණ්ඩය – කාන්තා තරග අංශය

  • දක්‍ෂතම ක්‍රීඩිකාව – රශ්මි දිල්හානි (MAS)
  • හොඳම ප්‍රහාරිකාව – නිර්මාණි සුලෝචනා (MAS)
  • හොඳම පන්දු සකසන්නිය – සෙව්වන්දිකා පියුමි (MAS)

සුපිරි ලීගය – පිරිමි තරග අංශය

  • දක්‍ෂතම ක්‍රීඩකයා – ගයාන් මල්ලිකාරත්න (Ocean Lanka)
  • හොඳම ප්‍රහාරකයා – රංගන සම්පත් (Ocean Lanka)
  • හොඳම පන්දු සකසන්නා – නිශාන් රවිඳු (Ocean Lanka)

‘A’ කාණ්ඩය – කාන්තා තරග අංශය

  • දක්‍ෂතම ක්‍රීඩිකාව – කසුරි ලශිකා (Maliban)
  • හොඳම ප්‍රහාරිකාව – සුරංගි (MAS)
  • හොඳම පන්දු සකසන්නිය – ගයනි ගමගේ (Maliban)

‘A’ කාණ්ඩය – පිරිමි තරග අංශය

  • දක්‍ෂතම ක්‍රීඩකයා – ෂෙශාන් පියුමාල් (Omega Line)
  • හොඳම ප්‍රහාරකයා – තිලාන් ප්‍රනාන්දු (Eskimo)
  • හොඳම පන්දු සකසන්නා – ලශාන් පෙරේරා (Omega Line)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<