ප්‍රොස්පරස් කැපිටල් සිය ප්‍රථම වොලිබෝල් ශූරතාවය ජය ගනී

664

වෙළඳසේවා “A” කාණ්ඩයේ කාන්තා සහ පිරිමි වොලිබෝල් ශූරතා තරග අද (16) පැවැත්වුණේ මහරගම යොවුන් සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ඔමේගා ලයින් කාන්තාවන් විසින් කාන්තා ශූරතාවයත්, ප්‍රොස්පරස් කැපිටල් පිරිමි කණ්ඩායම විසින් පිරිමි ශූරතාවයත් දිනා ගන්නා ලදි.

MAS ඇක්ටිව්, කැෂුවල් ලයින්, බ්‍රැන්ඩික්ස් හා ටීජේ අවසන් තරගවලට

MAS ඇක්ටිව් Leisure line කණ්ඩායම හා ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා කණ්ඩායම් වෙළඳසේවා වොලිබෝල් ශූරතා සුපර් ලීග් කාණ්ඩයේ..

විශේෂත්වය වූයේ තම ප්‍රථම වොලිබෝල් තරගයට සහභාගී වූ ප්‍රොස්පරස් කැපිටල් කණ්ඩායම ජයග්‍රාහීව තරගාවලිය නිමා කිරීමයි.

කාන්තා අංශය

ඔමේගා ලයින් සහ MAS ස්ට්‍රෙච්ලයින් කණ්ඩායම් ද්විත්වය අතර මෙහි අවසන් තරගය පැවැත්විණි.

තරගයේ මුල සිටම ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වූ ඔමේගා ලයින් ක්‍රීඩිකාවන් පළමු වටය 25-11ක් ලෙසින් ජය ගත්තේය. දෙවන වටයේදීත් MAS ක්‍රීඩිකාවන්ට කිසිදු සමාවක් නොදුන් ඔවුන් 25-17ක් ලෙස එය ද ජය ගත්තේය. තෙවන වටය ද නිමා වුණේ 25-17ක් වශයෙන් ඔමේගා ලයින් ක්‍රීඩිකාවන්ට වට 3/0ක ජයක් ලබා දෙමිනි.

සඳුනි කාවින්ද්‍යා සහ පියුමි මහේෂිකා ජයග්‍රාහිකාවන් වෙනුවෙන් දස්කම් පෑවෝය. නායිකා පියුමි මහේෂිකා ThePapare.com හා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“සතුටුයි. අපි ගොඩක් මහන්සි වුනා. චන්න ජයසේකර මහතාටත්, පුෂ්පා බොතේජු මහත්මියටත්, ධම්මික අයියාටත් ස්තුතිවන්ත වෙනවා. මීළඟ අවුරුද්දෙදිත් ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තුව.”

පිරිමි අංශය

වොලිබෝල් කණ්ඩායමක් ලෙස තම ප්‍රථම වොලිබෝල් තරගාවලියට සහභාගී වූ ප්‍රොස්පරස් කැපිටල් වොලිබෝල් කණ්ඩායම අද “A” කාණ්ඩයේ පිරිමි ශූරතාවය දිනා ගත්තේ බ්‍රැන්ඩික්ස් ලෝන්ජරි කණ්ඩායම පරාජය කරමිනි.

පළමු වටයේ දී 25-22ක් ලෙස ඉදිරිය ගත් ඔවුන් 25-18ක් ලෙස දෙවන වටය ද ජය ගත්තේ මොහොමඩ් ඉන්ෆාස් එල්ල කළ වේගවත් පහරවල් කිහිපයක් සමඟිනි. තෙවන වටය ද 25-15ක් ලෙස ජය ගත් ඔවුන් තරගය ජය ගත්තේ වට 3/0ක් ලෙසිනි.

තරගයෙන් අනතුරුව ජයග්‍රාහී නායක මොහොමඩ් තරුෂාන් මෙලෙස තම අදහස් ThePapare.com හමුවේ තැබීය.

“මේක අපි සහභාගී වුන පළමු තරගාවලිය. ඒ නිසා සන්තෝසයි. ගෘහස්ථ පිටියක ක්‍රීඩා කළෙත් පළමු වතාවටයි.”

ප්‍රවීණ වොලිබෝල් ක්‍රීඩකයන් වන මොරිස් චමින්ද සහ සමීර දිසානායක ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරුවන් විය.

වෙළඳසේවා චැම්පියන්ස් ලීග් සහ සුපර් ලීග් අවසන් තරග හෙට (17) මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට