TeeJay ලංකා, ජෝන් කීල්ස්, සම්පත් සහ යුනිචෙලා අවසන් පූර්ව වටයට

449

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් A කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට TeeJay  ලංකා, ජෝන් කීල්ස්, සම්පත් බැංකු සහ MAS යුනිචෙලා කණ්ඩායම් සමත් විය.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (31) කොළඹ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී සහ කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

LB ෆිනෑන්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ජය ලබති

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් වෙළඳසේවා කුසලාන A කොටසේ විස්සයි විස්ස..

TeeJay ලංකා සහ ඩිමෝ අතර තරගය

කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති මෙම තරගයේ ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට TeeJay ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ඩිමෝ නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි TeeJay ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ දී ශාලික කරුණානායක ලකුණු 37ක් ලබා ගත් අතර මිනෝද් භානුක ලකුණු 25ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී නිසල තාරක, තික්ෂිල ද සිල්වා සහ කවිශ්ක අංජුල කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඩිමෝ ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් පමණි. පුලින තරංග, රමේෂ් මෙන්ඩිස් සහ නිපුන් කරුණානායක ලකුණු අතරට පිවිසිය ද සචිත්‍ර සේනානායක, චලන ද සිල්වා සහ සාලිය සමන්ගේ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ බලාපොරොත්තු සඵල වූයේ නැත.

TeeJay ලංකා කණ්ඩායම; කඩුලු 8ක් දැවී 175 (20) ශාලික කරුණානායක 37, මිනෝද් භානුක 25, නිසල තාරක 2/26, තික්ෂිල ද සිල්වා 2/30, කවිශ්ක අංජුල 2/43

ඩිමෝ කණ්ඩායම; කඩුලු 7ක් දැවී 171 (20) පුලින තරංග 34, රමේෂ් මෙන්ඩිස් 24, නිපුන් කරුණානායක නොදැවී 23, තික්ෂිල ද සිල්වා 20, සචිත්‍ර සේනානායක 3/23, චලන ද සිල්වා 2/39, සාලිය සමන් 2/03

පන්දුවක් හිසේ වැදී පැතුම් නිස්සංක ආබාධයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ එන්. සී. සී. පිටියේ දී…

ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී අද (31) නිමා වූ මෙම තරගයේ දී ලකුණු 29ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 153ක් ලබා ගත්තේ ය. ඊට පිළිතුරු ලෙස කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 124ක් පමණි.

ජෝන් කීල්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඉශාන් ජයරත්න ය. ඔහු අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. ඊට අමතරව විකුම් සංජය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 21කි. කඩුලු ලබා ගැනීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම තවත් පන්දු 11ක් ඉතිරිව තිබිය දී තම ඉනිම නිමා කර ගත්තේ ය. එම ඉනිමේ දී අශේන් බණ්ඩාර, චාමර කපුගෙදර සහ වනිඳු හසරංග ලකුණු 30 සීමාවන් පසු කළ ද, අනෙක් කිසිවකුගෙන් සහයෝගයක් නොලැබීම හේතුවෙන් ඔවුන්ට ප්‍රතිවාදී ඉලක්කයට මෙපිටින් නතර වීමට සිදු විය.

පන්දු යැවීමේ දී ශිරාෂ් මොහොමඩ්, භානුක රාජපක්ෂ සහ විකුම් සංජය කඩුලු 2 බැගින් දවා ගත්හ.

ජෝන් කීල්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 153 (20): ඉෂාන් ජයරත්න 50, විකුම් සංජය 21, ජෙහාන් ඩැනියෙල් 20, විශ්ව ප්‍රනාන්දු 3/26, ඩිල්ශාන් මුණවීර 2/05, චතුරංග ද සිල්වා 2/26

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 124 (20): අශේන් බණ්ඩාර 34, චාමර කපුගෙදර 31, වනිඳු හසරංග 31, ශිරාෂ් මොහොමඩ් 2/17, භානුක රාජපක්ෂ 2/30, විකුම් සංජය 2/31

සම්පත් බැංකුව සහ MAS Silueta අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 70ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සම්පත් බැංකු ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ MAS Silueta කණ්ඩායම් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සම්පත් බැංකු ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 184ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් MAS Silueta කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 114ක් පමණි.

සම්පත් බැංකු කණ්ඩායම් ඉනිමේ දී චමීන් කඳනාරච්චි සහ ප්‍රිමෝෂ් පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ. පන්දු යැවීමේ දී චරණ නානායක්කාර සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි MAS Silueta කණ්ඩායම තරගය අවසන් වීමට තවත් පන්දු 17ක් ඉතිරිව තිබිය දී ඉනිම අවසන් කර ගත්තේ ය. එහි දී ඇන්ජලෝ එම්මානුවෙන් ලකුණු 30ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී ජීවන් මෙන්ඩිස්, දුශ්මන්ත චමීර සහ සචිත්‍ර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්හ.

සම්පත් බැංකු කණ්ඩායම; කඩුලු 5ක් දැවී 184 (20) චමීන් කඳනාරච්චි 71, ප්‍රිමෝෂ් පෙරේරා 53, චරණ නානායක්කාර 2/19, ධනංජය ලක්ෂාන් 2/42

MAS Silueta කණ්ඩායම; සියලුම දෙනා දැවී 114 (20) ඇන්ජලෝ එම්මානුවෙල් 30, ජීවන් මෙන්ඩිස් 2/08, දුශ්මන්ත චමීර 2/18, සචිත්‍ර පෙරේරා 2/25

ජෝ රූට්ස් ටෙස්ට් තරගාවලියට අනතුරු අඟවයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවති…

MAS යුනිචෙලා සහ LB ෆිනෑන්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගැනීමට MAS යුනිචෙලා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් MAS යුනිචෙලා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට ප්‍රතිවාදී LB ෆිනෑන්ස් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 155ක් පමණි.

MAS යුනිචෙලා ඉනිමේ දී ටී. එම්. සම්පත් (36), චාමර සිල්වා (35*) සහ ප්‍රියමාල් පෙරේරා (31) ලකුණු අතරට පිවිසියහ. කඩුලු ලබා ගැනීමේ ෂෙහාන් ජයසූරිය කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි LB ෆිනෑන්ස් ඉනිම අවසන් පන්දු වාරයේ 2 වැනි පන්දුවේ දී අවසන් කිරීමට ප්‍රතිවාදී ක්‍රීඩකයෝ සමත් වූ හ. LB ෆිනෑන්ස් ඉනිම වෙනුවෙන් ඉසුරු උදාන අර්ධ ශතකයක් ද ලබා ගනිමින් දක්ෂතා දැක්වූව ද එය පමණක් ඔවුන්ගේ ජයග්‍රහණය ප්‍රමාණවත් වූයේ නැත. ඔහුට අමතරව ෂෙහාන් ජයසූරිය ද ලකුණු 38ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන නිපුන් රන්සික ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 7ක් දැවී 174 (20) ටී. එම්. සම්පත් 36, චාමර සිල්වා නොදැවී 35, ප්‍රියමාල් පෙරේරා 31, ෂෙහාන් ජයසූරිය 2/26

LB ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 155 (19.2) ෂෙහාන් ජයසූරිය 38, ඉසුරු උදාන 55, නිපුන් රන්සික 4/27, ටී. එම්. ඩිල්ශාන් 2/10

තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (01) පැවැත්වීමට නියමිත ය. ඒ අනුව TeeJay කණ්ඩායම සහ ජෝන් කීල්ස් කණ්ඩායම අතර තරගය කොළඹ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී ද සහ සම්පත් බැංකු කණ්ඩායම සහ MAS යුනිචෙලා අතර තරගය කොළඹ එන්. සී. සී. පිටියේ දී ද පැවැත්වීමට නියමිත ය.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<