එක්ස්පෝ ලංකා “A” කාණ්ඩයේ ශූරයින් ලෙස අභිෂේක ලබයි

838
Mercantile Football Expo Lanka team vs LB Finance team

වෙළඳසේවා ලීග් පාපන්දු තරගාවලියේ “A” කාණ්ඩයේ අවසන් තරගය අද (21) සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්වූ අතර එම තරගයෙන් ගෝල 1 – 0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමින් ශූරයින් බවට පත්වන්නට එක්ස්පෝ ලංකා ක්‍රීඩා සමාජයට හැකි විය.

ඔවුන් එම ජයග්‍රහණය ලබා ගත්තේ ප්‍රතිවාදී LB ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරමිනි.

එක්ස්පෝ ලංකා කණ්ඩායමේ සර්වාන් ජොහාර්ගේ (10) පා පහරින් අද තරගය ආරම්භ විය. LB ෆිනෑන්ස් කණ්ඩායමේ එම්. එන්. එම්. අබ්දුල්ලා (10) වම් අන්තයේ සිට එම්. එස්. කයිස් (10) වෙත පන්දුව යොමු කළේ ගෝලයක් බලාපොරොත්තුවෙනි. නමුත් එම බලාපොරොත්තුව සුන් කරමින් පන්දුව ඔහුගේ පාදයෙන් ගිලිහී ගියේය.

ඊට සුළු වේලාවකට පසු නැවතත් ක්‍රියාත්මක වු LB ක්‍රීඩක පී. ඩී. ජේ. චමින්ද (07) විසින් සාර්ථක ලෙස එම්. මුජාබ් (13) වෙත පන්දුව යොමු කළත්, ඔහුට පන්දුව ගෝල රාමුව වෙත රැගෙන යාමට ප්‍රතිවාදීන් ඉඩ ලබා නොදුන් අතර ඉන් පසු ඔවුන්ට හිමි වූ පැති පහර අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට ද ඔවුන්ට ඉඩක් නොලැබුණි.

අනතුරුව මෙතෙක් වේලා ක්‍රියාත්මක වීම‍ට අවස්ථාවක් නොලද එක්ස්පෝ ලංකා කණ්ඩයමේ සර්වාන් ජෝහාර් (10) දකුණු අන්තයෙන් පැමිණ බී. ජී. ඒ. ඩී. කේ. ද සිල්වා (07) හට පන්දුව යොමු කළ නමුත් ඔහු විසින් එල්ල කළ පහර සාර්ථක ලෙස වැළැක්වීමට LB ‍කණ්ඩායමේ ගෝල රකින්නා සමත්විය.

ඉන් පසු නැවත වරක් LB කණ්ඩායම පන්දුව ප්‍රතිවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගෙන ක්‍රීඩකයින් 3 දෙනෙකුගේ සහයෝගය ඇතිව ගෝල රාමුව වෙත රැගෙන ගිය නමුත් එම උත්සාහය සාර්ථක කර ගැනීමට එක්ස්පෝ ලංකා ක්‍රීඩක එම්. ආර්. මොහිදීන් (14) ඉඩ ලබා දුන්නේ නැත.

එක්ස්පෝ ලංකා කණ්ඩායමේ ක්‍රීඩක අබිඩ් අක්‍රම් (12) විසින් එච්. වී. එන්. කණිෂ්ක (09) වෙත පන්දුව භාර කළේ ගෝලය සාර්ථක කර ගනු ඇතැයි විශ්වාසය ඇතිවය. නමුත්  ප්‍රතිවාදී ගෝල රකින්නාගේ දක්ෂතාව ඊට වඩා ප්‍රබල වූ නිසා එය අසාර්ථක විය. ඒ සමඟම එක්ස්පෝ ලංකා කණ්ඩායමට පැති පහර අවස්ථාවක් හිමි වුව ද, එ් හරහා ලකුණු ලබා ගැනීමට ද ඔවුන්ට නොහැකි විය.

ඒ අනුව පළමු අර්ධයේ දී දෙපිලම ගෝල සීමාවන් ආක්‍රමණය කළත් ඒවා සාර්ථක ගෝල බවට පත් කර ගැනීමට නොහැකි විය.

 

පළමු අර්ධය : Expo ලංකා කණ්ඩායම 00  – LB ෆිනෑන්ස් කණ්ඩායම 00

දෙවන අර්ධය ක්‍රියාත්මක වූ විගසම එක්ස්පෝ ලංකා කණ්ඩායමේ ක්‍රීඩක එච්. වී. එන්. කණිෂ්ක (09) පන්දුව ලබාගෙන අබිඩ් අක්‍රම් (12) වෙත යොමු කළත් ගෝල රාමුවට ආසන්න මානයේ දී ප්‍රතිවාදීයෙකු‍ගේ බාධා කිරීමක් සිදු විය. එමඟින් ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාව ආරම්භයේ දී ම ගිලිහී ගියේය.

LB කණ්ඩාය‍මේ එම්. කේ. එම්. හකීම් (06), එම්. එස්. කයිස් (10) හා එස්. කේ. එල්. ටී.  සිල්වා (08) යන ක්‍රීඩකයින් තිදෙනා, වම් සහ දකුණු අන්ත අතර පන්දුව හුවමාරු කරමින් ගෝල රාමුව අසලට ආවත් එක විටම ප්‍රතිවාදි ක්‍රීඩකයෙකු වන එම්. ආර්. මොහිදීන්ගේ (14) පා පහරින් පන්දුව පිටියෙන් ඉවතට විසි විය.

නැවත වරක් LB කණ්ඩායමට නිදහස් පහර අවස්ථාවකින් ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් හිමිවුවත්, එය සාර්ථක නොවීය.

මේ ආකාරයෙන් දෙපසටම දෝලනය වෙමින් තිබූ පන්දුව 65 වන මිනිත්තුවේ දී ගෝල රාමුව තුළට රිංගා ගියේ සර්වාන් ජොහාර්ගේ (10) පා පහරකිනි. ඒත් සමඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක වූ අතර එම ලකුණ හිමි වූයේ එක්ස්පෝ ලංකා කණ්ඩායමටයි.

එම ලකුණ ලබා ගැනීමත් සමඟ LB කණ්ඩායම වේගවත්ව ලකුණු ලබා ගැනීමට උත්සහ කළේ, පන්දුව වැඩි වේලාවක් එක්ස්පෝ ලංකා සීමාවේ රඳවා ගනිමිනි. ඒත් ඔවුන්ට ලකුණු ලබා ගැනීම තවදුරටත් සිහිනයක් විය. තරගයේ එක් මොහොතක එම්. එන්. ටී. ෆාහිම් (04) හා එන්. ජේ. නිකලස් (17) මනා අවබෝධයෙන් පන්දුව හුවමාරු කළ අතර එන්. ජේ. නිකලස් (17) එක් වරම වේගවත් පහරක් එල්ල කළත් එය LB ගෝල රකින්නා විසින් වළක්වන ලදි.

ඉන් පසු කණ්ඩායම් දෙකටම කෝණ අවස්ථා කිහිපයක්ම හිමි වූ නමුත් ඒවා සාර්ථක නොවීය.

එක්ස්පෝ ලංකා කණ්ඩායමේ එම්. ඒ. ‍ෆර්සාන් (16) එක් වරම සර්වාන් ජෝහාර් (10) වෙත යොමු කළ පන්දුව ඔහු විසින් ගෝල රාමුව වෙත රැගෙන යාමේ දී පාදය පැටලීම නිසා බිම ඇදවැටුණි. එමඟින් ලබා ගැනීමට තිබූ තවත් ගෝලයක් අහිමි විය. එවැනි අවස්ථා ගණනාවක් ‍දෙවැනි අර්ධයේ දී දකින්නට හැකි වූ අතර තරගය අවසන් වීමට ප්‍රථම LB කණ්ඩායම වෙත පැති පහර අවස්ථාවක් හිමි වූ නමුත් එය ද අසාර්ථක විය.

ඒ අනුව ප්‍රබල තරගයකින් පසුව වෙළඳසේවා ලීග් පාපන්දු තරගාවලියේ “A” කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට එක්ස්පෝ ලංකා කණ්ඩායම සමත් විය.

 

සම්පූර්ණ ලකුණු : Expo ලංකා කණ්ඩායම 01  – LB ෆිනෑන්ස් කණ්ඩායම 00

ගෝල ලාභීන්

  • Expo ලංකා කණ්ඩායමඑම්.ඊසෙඩ්. ජෝහාර් 65’