ජය ලේක් හවුස්ට; අනෙක ජය පරාජයෙන් තොරයි

466

වෙළඳසේවා පාපන්දු තරගාවලිය හේතුවෙන් මෙම සතිය පුරාවටම සිටි ලීග් පාපන්දු සංකීර්ණය කාර්ය බහුල වූ අතර අදත් (20) එහි “B” කාණ්ඩයේ තරග ද්විත්වයක් පැවැත්විය. එහි දී ලේක් හවුස් කණ්ඩායම එක් තරගයකින් ජය ගන්නා විට අනෙක් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.

සම්පත් බැංකුවට හා ශ්‍රී ලංකා ටෙලිකොම්ට වැඩි ගෞරවය

වෙළඳසේවා පාපන්දු තරගාවලියේ “C” කාණ්ඩය යටතේ තරග කරන කණ්ඩායම් 4ක තරග ද්විත්වයක් අදත් (19) සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්විය.

කොමර්ෂල් බැංකු කණ්ඩායම සහ ලේක් හවුස් කණ්ඩායම

මෙම තරගයෙන් ගෝල 1 – 0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ ලේක් හවුස් කණ්ඩායමයි.

ලේක් හවුස් ක්‍රීඩක එස්. එෆ්. ඉෂාරගේ (08) පා පහරින් ආරම්භ කළ තරගයේ, වැඩි වේලාවක් යන්නට පෙර ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාව ඔවුන්ට උදා වුවත් එය සාර්ථක නොවීය. ඒ සුරේන්ද්‍ර (10) විසින් ඒ. අයි. ජේ. ප්‍රනාන්දු වෙත යොමු කළ පන්දුව ගෝල රාමුව‍ට නිසියාකාරව ඉලක්ක කිරීමට ඔහුට නොහැකි වීම නිසාවෙනි.

ලේක් හවුස් ක්‍රීඩකයින් හට තරගයේ 15 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් උදා විය. එය සාර්ථක කර ගත් එම්. බී. සුරේන්ද්‍ර (10) තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කළේය.

මෙම අර්ධයේ දී කොමර්ෂල් ක්‍රීඩකයින් හට පන්දුව වැඩි වේලාවක් තබා ගැනීමට අවස්ථාව උදා නොවීය.

පළමු අර්ධය: ලේක් හවුස් 01 – 00 කොමර්ෂල් බැංකුව

දෙවන අර්ධයේ දී වැඩි වේලාවක් පන්දුව කොමර්ෂල් බැංකු සීමාවේ රඳවා ගනිමින් ලකුණු රැස් කිරීමට ප්‍රබල උත්සහයක් ලේක් හවුස් කණ්ඩායම විසින් දරණ ලදි.

කොමර්ෂල් බැංකු ක්‍රීඩක නලින් සිරිවර්ධන (09) වම් අන්තයේ සිට වේගයෙන් පන්දුව රැගෙන ආවද ගෝල රාමුව‍ට මීටර් 10 පමණ දුරින් ඔහුට පන්දුවේ පාලනය ගිලිහි ගොස් පන්දුව පිටියෙන් ඉවතට යොමු විය.

විශේෂයෙන්ම මෙම අර්ධයේ දී කණ්ඩායම් දෙක විසින් වැඩි වේලාවක් පන්දුව පිටිය මැද ප්‍රදේශයේ සිට හුවමාරු කරමින් සිටියේය.

එක්වරම නැවත වරක් ක්‍රියාත්මක වූ කොමර්ෂල් බැංකු ක්‍රීඩක නලින් සිරිවර්ධන (09) ගෝලයක් වාර්තා කිරීමේ බලාපොරොත්තුවෙන් පහරක් එල්ල කළත් ලේක් හවුස් ගෝල රකින්නාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ එය අසාර්ථක විය.

ඒ අනුව දෙවන අර්ධයේ දී කිසිදු කණ්ඩායමකට ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් නොලැබිණි.

සම්පූර්ණ ලකුණු: ලේක් හවුස් 01 – 00 කොමර්ෂල් බැංකුව

ගෝල ලාභීන්

  • ලේක් හවුස් කණ්ඩායම  – එම්. බී. සුරේන්ද්‍ර – 15’(P)

ජෝන් කීල්ස් ක්‍රීඩා සමාජය සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ක්‍රීඩා සමාජය

මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

පළමු අර්ධය ආරම්භයේ දී ම ජෝන් කීල්ස් ක්‍රීඩක ප්‍රශාන්ත දීපාල් (33) විසින් දරීල් අල්වාරිස් (05) හට පන්දුව යොමු කළත් එය ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ඔහුට අවස්ථාව උදා නොවුණි.

ඊට සුළු වේලාවකට පසු එම කණ්ඩායමේ එච්. නසීයිල් (07) දකුණු අන්තයෙන් වේගයෙන් දිව ඇවිත් එල්ල කළ පා පහරින් පන්දුව ගෝල රාමුවේ එක් කෙළවරකින් පිටතට විසිවිය.

සෙලින්කෝ කණ්ඩායමේ පී. ඒ. ඩී. ආර්. කුමාර (07) ක්‍රියාත්මක වෙමින් ලබා ගත් පන්දුව ගිහාන් පෙරේරා (05) හට භාර කළේ ගෝලයක් පිළිබඳව සිහිනයක් දකිමිනි. ඒත් එම ගෝල සිහිනය සැබෑවක් බවට පත් කිරීමට ඔහුට නොහැකිවිය.

තරගයේ 20 වැනි මිනිත්තුව ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක් වූ අතර පළමු ගෝලය වාර්තා වූයේ එම අවස්ථාවේ දී ය. එම ‍ගෝලය වාර්තා කළේ ජෝන් කීල්ස් කණ්ඩායම විසින් වන අතර දරීල් අල්වාරිස් (05) එම ගෝලයේ හිමිකරුවා විය.

ජෝන් කීල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු නීති විරෝධී ‍ලෙස වැළැක්වීම හේතුවෙන් සෙලින්කෝ කණ්ඩායමට දඩුවම් පහර අවස්ථාවක් උදා වූ අතර එය සාර්ථක කර ගනිමින් ලකුණු සම කරන්නට ඔවුන්ට හැකිවිය. එය සාර්ථක කර ගත්තේ බී. එච්. නිශාන්ත (10) විසිනි. එම ගෝලය වාර්තා කළේ 28 වැනි මිනිත්තුවේදීය.

පළමු අර්ධය: ජෝන් කීල්ස් 01 – 01 සෙලින්කෝ ඉන්ෂුවරන්ස්

සෙලින්කෝ ක්‍රීඩක එම්. ආර්. එම්. එෆ්. රම්ස්ගේ (02) පා පහරින් ආරම්භ වූ දෙවන අර්ධයේ පළමු මිනිත්තු 3 ගත වන විට ඔවුන්ගේ මදුෂංක සම්පත් (03) සාර්ථක පන්දු යොමුවක් එම්. ආර්. එම්. එෆ්. රම්ස් (02) වෙත ලබා දුන්න ද ඔහු විසින් ගෝලයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාව මඟ හරවා ගත්තේය.

සෙලින්කෝ ක්‍රීඩක රුවන් තුෂාර (04) පාදයෙන් තල්ලු කරමින් සුපරික්ෂාකාරී ලෙස රැගෙන ආ පන්දුව නිරංජන් මදුෂාන් (15) වෙත යොමු කිරීමෙන් අනතුරුව ඔහු එය ගෝල රමුව තුළට යොමු කළත්, ප්‍රතිවාදී ගෝල රකින්නා විසින් එය වැළැක්විය.

ඉන් පසු අවස්ථාවන් දෙකකදීම දෙපිළටම පැති පහර අවස්ථා හිමි වුවත් ඒවා අසාර්ථක විය.

තරගය අවසන් වීම‍ට මිනිත්තු 5ක් පමණ තිබිය දී ජෝන් කීල්ස් කණ්ඩායමට නිදහස් පහර අවස්ථාවක් හිමි වුවත් එය ද සාර්ථක කර ගැනීමට නොහැකි විය.

එ් අනුව තරගය අවසන් වූයේ ලකුණු තත්වය සමව තබමිනි.

සම්පූර්ණ ලකුණු: ජෝන් කීල්ස් 01 – 01 සෙලින්කෝ ඉන්ෂුවරන්ස්

ගෝල ලාභීන්

  • ජෝන් කීල්ස් කණ්ඩායම – දරීල් අල්වාරිස් 20’
  • සෙලින්කෝ ඉන්ෂූරන්ස් – බී. එච්. නිශාන්ත 28’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට