MAS යුනිචෙලා ප්‍රවීණයෝ ඩිමෝ යොවුන් ක්‍රීඩකයෝ අසරණ කරයි

605

ශ්‍රී ලාංකේය විස්සයි විස්ස තරග ඉතිහාසයේ අංක එකේ ක්‍රීඩකයන්ගෙන් සමන්විත MAS යුනිචෙලා කණ්ඩායම සමඟ යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඩිමෝ ලංකා කණ්ඩායම අතර අද (19) කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති වෙළඳසේවා පළමු කොටසේ විස්සයි විස්ස අවසාන මහා තරගයේ දී ලකුණු 57ක ජයක් ලබා ගැනීමට MAS යුනිචෙලා ක්‍රීඩකයෝ සමත් වූහ.

MAS යුනිචෙලා සහ ඩිමෝ අවසන් මහා සටනට

MAS යුනිචෙලා කණ්ඩායමේ ප්‍රවේගවත් වමත් පිතිකරු දමිත රඹුක්වැල්ලගේ ගිනි කෙළියකටත්…

පළමුවෙන් පන්දුවට පහර දුන් MAS යුනිචෙලා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 263ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ඩිමෝ ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 206ක් පමණි. ඒ තරගයේ නිමාවට තවත් නියමිත පන්දු 3ක් ඉතිරිව තිබිය දී ය.

MAS යුනිචෙලා ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට පිවිසෙන්නේම ජයග්‍රහණයට වියතක දුරක් තබාගෙනය. ඊට වඩාත් හේතු වූයේ ඔවුන් සතුව ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින හිස් වැසුම් පැළදි ක්‍රීඩකයන් 6 දෙනෙක්ම තම කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පු ලෙස උපයෝගි කර ගැනීම හේතුවෙනි.

නායක ටී. එම්. ඩිල්ෂාන්, චාමර සිල්වා, මහේල උඩවත්ත, ෆර්වීස් මහරූෆ්, රමිත රඹුක්වැල්ල සහ ඉෂාර අමරසිංහ යන මේ පළපුරුදු ක්‍රීඩකයන් සමඟ ප්‍රතිවාදීන් ලෙසින් පිටියට පිවිසි ඩිමෝ ලංකා කණ්ඩායමේ සිංහ හිස් වැසුමක් පැළඳි ක්‍රීඩකයෙක්ට සිටියේ තික්ෂිල ද සිල්වා පමණි. අනෙකුත් සෑම ක්‍රීඩකයෙක්ම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ  ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය. මේ හේතුවෙන්ම මෙම තරගය ප්‍රවීණයන් සහ ආධුනිකයන් අතර වූ ද්වන්ද කඩුලු පන්දු සංග්‍රාමයක් විය.

කෙසේ වෙතත් ප්‍රවීණයන් සමඟ හරි හරියට තරග වැදුණ යොවුන් ක්‍රීඩකයෝ මේ තරගයේ දී පරාජයට පත් වූවද සැබෑ තරගකාරීත්වයකින් යුත් තරගයක් ලබා දීමට ඔවුන් දැක්වූ දක්ෂතාව සුවිශේෂීය. තරගයේ අවසානය දක්වාම එකී තරගකාරීත්වය ආරක්ෂා කර ගැනීමට ඔවුන් සමත් වීම කැපී පෙණුනි.

පෙර දිනයේදීත්, අද දින අලුයම් කාලයේත් බස්නාහිර පළාතට වට වැස්ස හේතුවෙන් පෙරවරුවේ ආරම්භ කිරීමට තිබූ තරගය ආරම්භ වීම පැයෙන් පැය ප්‍රමාද විය. පිටියේ විනිසුරුවන් වූ ප්‍රදීප් උඩවත්ත සහ චාමර ද සොයිසා සමඟ අතිරේක විනිසුරු හේෂාන් තිලකරත්න වරින් වර පිටියේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තරගය පස්වරු 12.45ට ආරම්භ කිරීමට තීරණය කෙරුණි.

ඒ අනුව  MAS යුනිචෙලා කණ්ඩායමේ නායක ටී. එම්. ඩිල්ෂාන් සහ ඩිමෝ ලංකා කණ්ඩායමේ නායක නිසල තාරක කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසියේ තරග තීරක බැසිල් පෙරේරා සමඟිනි. තරග තීරකවරයාගේ දබරැඟිල්ලත් මාපටැඟිල්ලත් වාරුවෙන් තිබූ කාසිය මාපටඟිල්ලේ තෙරපීමෙන් ඉහළ නැග බිම පතිත වූයේ MAS යුනිචෙලා කණ්ඩායමට කාසියේ වාසිය හිමිකර දෙමිනි. ඒ අනුව විශ්වාසවන්ත පිතිකරුවන් රැසකගෙන් සමන්විත තම කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන බැව් ඩිල්ෂාන් තීරණය කළේය.

MAS යුනිචෙලා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 263ක්ව තිබිය දී නතර වූයේ පන්දුවාර 20 අවසානයේය. එහි දී දැවැන්ත ඉනිමක් ගොඩනැගූ නායක ටී. එම්. ඩිල්ශාන් ලකුණු 109ක් ලබා ගත්තේ ඩිමෝ යොවුන් ක්‍රීඩකයන් පන්දු රකිනවාට වඩා තරගය නරඹන්නන් බවට පත් කරමිනි. ඔහුගේ ඉනිම පන්දු 48කට සීමා වුන අතර ඊට හතරේ පහර සහ හයේ පහර 9 බැගින් එල්ල කෙරුණි. ඩිල්ෂාන් තෙවැනි කඩුල්ලට මහේල උඩවත්ත සමඟ එක්වෙමින් ලකුණු 95ක් එක් කිරීමට ද දායක විය.

ක්‍රිකට් පිටිය උණුසුම් කරන තුන්කොන් සටනක් ලබන මාර්තුවේ

ඉන්දියාව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වීමට..

තරගය ආරම්භ කළේ MAS යුනිචෙලා කණ්ඩායමේ කසකරුවන් දෙදෙනා වන ටී. එම්. සම්පත් සහ රමිත රඹුක්වැල්ලය. ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 83කි. ටී. එම්. සම්පත් පන්දු 31ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 55ක් ලබා ගත්තේය. අවසන් පූර්ව තරගයේ දී ශතකයක් ලබා ගත් රමිත රඹුක්වැල්ල පන්දු 19ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේය.

ඊට අමතරව මහේල උඩවත්ත (23) සහ ෆර්වීස් මහරූෆ් (නොදැවී 22) ද මේ දැවැන්ත ඉනිම ගොඩ නැගීමට  දායක වූහ.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 48කට කඩුලු 2ක් දවා ගත්තේය. ඊට අමතරව නිසල තාරක, ඉෂාර ප්‍රශාන් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම පන්දු වාරයකට ලකුණු 13.2ක ඉතා අසීරු ඉලක්කයක් කරපින්නා පැමිණි ඩිමෝ ලංකා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 206ක් පමණි.

ආරම්භක පිතිකරුවන් ලෙස ඩිමෝ ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට හෂාන් දුමිඳු සහ තික්ෂිල ද සිල්වා පිටියට පිවිසෙමින් ලකුණු 52ක් එක් කළහ. පළමු කඩුල්ල ලෙස හෂාන් දුමිඳු දැවී යද්දි ඔහුගේ ඉනිම සටහන්ව තිබුණේ පන්දු 6කට ලකුණු 2ක් ලෙසයි. ඩිමෝ කණ්ඩායමේ සිංහ හිස්වැස්ම පැළදී එකම ක්‍රීඩකයා වූ තික්ෂිල ද සිල්වා තම වගකිම අවසාන තරගයේ දී ද ඉටු කරමින් පන්දු 19කට ලකුණු 63ක් ලබා ගත්තේය. ඔහුගේ එම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් ඇතුලත් විය.

ඔහුට අමතරව ඩිමෝ ලංකා නායක නිසල තාරක අංක 1 ස්ථානයෙන් පිටියට පිවිස පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේය. තුන් ඉරියව් යොවුන් ක්‍රීඩකයෙක් වූවද කණ්ඩායමට පන්දු යවන්නෙක් ලෙස එක්වූ කවිශ්ක අංජුල ද ප්‍රවීණ ක්‍රීඩකයන් ඉදිරියේ හිස කෙළින් තබා පන්දුවට පහර දීමේ උත්සාහයක යෙදුණි. ඒ අනුව ඔහුගේ ඉනිම පන්දු 11කට හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 21කින් නිමා විය.

ඩිමෝ ඉනිමේ මැදපෙළ ඉතා ඉක්මනින් කඩා වැටෙද්දී 9 වැනි කඩුල්ලට පිටියේ එක් වූ ප්‍රමුද් හෙට්ටිවත්ත සහ මතීෂ පෙරේරා ලකුණු 38ක් එක් කළහ. එහි දී ප්‍රමුද් පන්දු 19ක දී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේය. අංක 10 පිතිකරු මතීෂ පෙරේරා ඔහුට අනගි සහයෝගයක් ලබා දෙමින් පන්දු 18ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තේය.

මනස්ගාත නැති හතුරුසිංහගේ ආගමනය අවැසිම හෝරාව

මේ සතියේ ක්‍රීඩා ලෝකය කැලඹූ ප්‍රධානතම ප්‍රවෘත්තිය බවට පත් වූයේ ඉතාලි පාපන්දු…

පන්දු යැවීමේ දී යොවුන් ක්‍රීඩක අනුක් ප්‍රනාන්දු ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රතිවාදීන්ගේ පන්දු යැවීමේ ප්‍රමුඛතම ප්‍රතිවාදියා විය. ඊට අමතරව ටී. එම්. ඩිල්ශාන් සහ ෆර්වීස් මහරූෆ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 4ක් දැවී 263 (20): ටී. එම්. සම්පත් 55, රමිත් රඹුක්වැල්ල 40, ටී. එම්. ඩිල්ශාන් 109, මහේල උඩවත්ත 23, ෆර්වීස් මහරූෆ් 22, රමේෂ් මෙන්ඩිස් 2/48

ඩිමෝ ලංකා සමාගම; සියලුම දෙනා දැවී 206 (19.3): තික්ෂිල ද සිල්වා 63, නිසල තාරක 27, කවිශ්ක අංජුල 21, පුලින තරංග 17, ප්‍රමුද් හෙට්ටිවත්ත 25, මතීෂ පෙරේරා 16,  ටී. එම්. ඩිල්ශාන් 2/37, ෆර්වීස් මහරූෆ් 2/36, අනුක් ප්‍රනාන්දු 4/21

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න