MAS යුනිචෙලා සහ ඩිමෝ අවසන් මහා සටනට

370

MAS යුනිචෙලා කණ්ඩායමේ ප්‍රවේගවත් වමත් පිතිකරු දමිත රඹුක්වැල්ලගේ ගිනි කෙළියකටත් එහා ගිය පිතිකරණය හේතුවෙන් MAS යුනිචෙලා කණ්ඩායමත්, තම සුවිශේෂී දක්ෂතා එක මිටට ගනිමින් ප්‍රතිවාදීන් තරග නරඹන්නන් බවට පත් කළ තික්ෂිල ද සිල්වා හේතුවෙන් ඩිමෝ ලංකා කණ්ඩායමත් වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

ටී. එම්. සහ මහරූෆ් නිසා MAS යුනිචෙලා නැවත හිස ඔසවයි

සුපිරි තරගාවලියක අවසානයක පෙර නිමිති පහළ කරමින් අද (16) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ වෙළඳසේවා අන්තර් සමාගම් පළමු…

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී අද (17) නිමා වූ වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග දෙකේ දී MAS යුනිචෙලා කණ්ඩායම විසින් ටීජේ ලංකා කණ්ඩායම පරාජය කළ අතර ඩිමෝ ලංකා කණ්ඩායම විසින් එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරන ලදි.

එක්දින තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේ ශූරයන් වූ ටීජේ ලංකා කණ්ඩායම සේ ම අනුශූරයන් එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම ද මෙම තරගාවලියේ අද ප්‍රථම වතාවට පිටියට පිවිසිය ද එම කණ්ඩායම් දෙකටම පරාජයන් උරුම වීම තරගාවලියේ සිදු වූ සුවිශේෂී සිදුවීමකි. මෙම කණ්ඩායම් දෙකම තරග නීතිරීති අනුව අවසන් පූර්ව වටයේ දී තරගාවලියට එක්කර ගනු ලැබූ අතර අනෙකුත් කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අවනතව තරග පැවැතිණි.

අවසාන මහ තරගය මේ මස 19 වැනි ඉරිදා පෙරවරුවේ කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.


MAS යුනිචෙලා කණ්ඩායම සහ ටීජේ ලංකා කණ්ඩායම අතර තරගය

එක්දින තරගාවලියේ ලීග් ශූරයන් වූ MAS යුනිචෙලා කණ්ඩායමත් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයන් වූ ටීජේ ලංකා කණ්ඩායමත් අතර පැවති පළමු අවසන් පූර්ව තරගය මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලෙසින් ද බොහෝ දෙනෙක් දුටූහ.

වේගපන්දු යවන්නන් තිදෙනෙක්ගෙන් සමන්විත වූ ටීජේ ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව MAS යුනිචෙලා කණ්ඩායම සතු කළේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම ඉනිමට කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 207ක් එක් කළහ.

MAS යුනිචෙලා කණ්ඩායමේ සුපුරුදු කසකාරයන් දෙදෙනා වූ ටී. එම්. සම්පත් සහ රමිත රඹුක්වැල්ල පිටියට පිවිසිය ද ඔවුන්ට පිටියේ ස්ථාවර වීමට නුවන් ප්‍රදීප් ඉඩ සැලසුවේ නැත. ඔහු දෙදෙනාගේ සබඳතාව 34ක් ව තිබිය දී ටී. එම්. සම්පත් විවේකාගාරය වෙත හරවා යැවීමට නුවන් ප්‍රදීප් සමත් වූයේ යෝකර් පන්දුවක් මගින් කඩුල්ල දවා ගනිමිනි.

මනස්ගාත නැති හතුරුසිංහගේ ආගමනය අවැසිම හෝරාව

මේ සතියේ ක්‍රීඩා ලෝකය කැලඹූ ප්‍රධානතම ප්‍රවෘත්තිය බවට පත් වූයේ ඉතාලි පාපන්දු කණ්ඩායම 2018 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට…

සහායකයා නොමැතිව කණ්ඩායමේ වගකීම උරමතට ගත් රමිත රඹුක්වැල්ල පෙර තරගයක දී තමන්ට අහිමි වී ගිය ශතකය මෙම තරගයේ දී වාර්තා කළේ පන්දු 52ක් පමණක් උපයෝගී කර ගනිමිනි. ඔහුගේ ඉනිම ලකුණු 105කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 11ක් ඇතුලත් විය. මේ සියලු හයේ පහරවල් දැවැන්ත පහරවල් වීම හේතුවෙන්ම අවස්ථා කිහිපයක දී ම වෙනත් පන්දු ගෙන්වා ගැනීමට පිටියේ විනිසුරුවන් වූ රවින්ද්‍ර විමලසිරි සහ චමින්ද හතුරුසිංහ මහත්වරුන්ට සිදු වූහ.

5 වැනි කඩුල්ලට මහේල උඩවත්ත හා එක් වූ රමිත පන්දු 46ක දී ලකුණු 89ක් වාර්තා කිරීමට ද දායක විය. උඩවත්ත පන්දු 25ක දී හතරේ පහර 6ක් සමගින් ලකුණු 36ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන්නන් වූ නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද් සහ කසුන් මධුශංක කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පන්දු වාරයකට ලකුණු 10.7ක වේගයක් රඳවා ගැනීමේ අභියෝගයත් සමඟ පිටියට පිවිසි ටීජේ ලංකා ක්‍රීඩකයන්ට  19 වැනි පන්දුවාරයේ දී තම ඉනිම නිමා කර ගැනීමට සිදු වූයේ ලකුණු 156ක් පමණක් ලකුණු පුවරුවට එක් කරමිනි. ඒ අනුව තරගයේ ප්‍රතිඵලය වූයේ MAS යුනිචෙලා කණ්ඩායමට ලකුණු 51ක ජයග්‍රහණයකි.

ටීජේ ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩි වෙහෙසක් දරමින් ලකුණු එකතු කළේ වමත් යොවුන් පිතිකරු චරිත් අසලංක ය. අංක 6 පිතිකරු ස්ථානයෙන් පිටියට පිවිසි චරිත් පන්දු 17ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය. ඊට පෙර ශාලික කරුණානායක පන්දු 11ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී ෆර්වීස් මහරූෆ් සහ අනුක් ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවාගත් අතර ටී. එම්. ඩිල්ශාන් සහ ඉෂාර අමරසිංහ කඩුලු 2 බැගින් දවා ගත්හ.

මෙම තරගයේ දී දෙපිලේම ක්‍රීඩකයෝ හතරේ පහර 17ක් සහ හයේ පහර 19ක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම කැපී පෙණුනි.

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 8ක් දැවී 207 (20.0): ටී. එම්. සම්පත් 18, රමිත රඹුක්වැල්ල 105, මහේල උඩවත්ත 36, නුවන් ප්‍රදීප් 2/38, ධම්මික ප්‍රසාද් 2/44, කසුන් මධුශංක 2/48

ටීජේ ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 156 (18.4): මිනෝද් භානුක 23, ශාලික කරුණානායක 26, චරිත් අසලංක 40, ටී.එම්. ඩිල්ශාන් 2/17, ඉෂාර අමරසිංහ 2/36, ෆර්වීස් මහරූෆ් 3/17, අනුක් ප්‍රනාන්දු 3/37

ඩිමෝ ලංකා කණ්ඩායම සහ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම අතර තරගය

දෙවැනි අවසන් පූර්ව තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඩිමෝ ලංකා ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එල්. බී. ෆිනෑන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 170ක් ලබා ගත්හ.

තරගයට හොඳ ආරම්භයක් ගත් එල්. බී. ෆිනෑන්ස් ආරම්භක පිතිකරුවෝ ලකුණු 70ක සබඳතාවක් එක් කළහ. එහි දී නායක ලක්ෂාන් රොද්‍රිගෝ පන්දු 31ක දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේය. අනෙක් ආරම්භක පිතිකරු වූ ලහිරු උදාර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 22කි.

තරගයේ මැද පෙළ බලා සිටිද්දී නාය යද්දී ඇන්ජලෝ පෙරේරා පන්දු 19ක දී ලකුණු 24ක් එක් කරමින් ද සහන් ආරච්චිගේ පන්දු 26ක දී නොදැවී ලකුණු 29ක් ද එක් කරමින් ද ඉනිම ගලවා ගත්හ.

යොවුන් ක්‍රීඩකයන්ගෙන් ගහණ ඩිමෝ ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිමේ දී එල්. බී. ෆිනෑන්ස් අභියෝගය ජය ගත්තේ තරගය නිමා වීමට තවත් පන්දු 10ක් ඉතිරිව තිබිය දී ය. ඒ තවත් කඩුලු 6ක් ද අතැතිවයි.

දසුන් ශානක නිසා ශ්‍රී ලංකාවට අමතර වාසියක්!

තණතිල්ලේ ස්වභාවය අනුව අවසන් මොහොතේ කණ්ඩායමට නම් කළ දසුන් ශානකගේ සුවිශේෂී පන්දු යැවීම නිසා අද (17) දිවා විවේකය වන විට තවත් කඩුලු දෙකක් දඩයම් කර ගැනීමට…

එම ඉනිමේ වඩාත් කැපී පෙණෙන පිතිකරු වූයේ තික්ෂිල ද සිල්වා ය. තරගයේ මුල් කාර්තු දෙකම සියතට ගත් තික්ෂිල පන්දු 36ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේය. අනතුරුව සම්මු අශාන් ද නොදැවී ලකුණු 22ක් එක්කළ අතර රමේෂ් මෙන්ඩිස් පිට පිටම එල්ල කළ හයේ පහර දෙකකින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය. රමේෂ් මෙන්ඩිස්ගේ නොදැවුණ ඉනිම පන්දු 18ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 33කි.

එල්. බී.  ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 170 (20.0): ලහිරු උදාර 22, ලක්ෂාන් රොද්‍රිගෝ 44, ඇන්ජලෝ පෙරේරා 24, සහන් ආරච්චිගේ නොදැවී 29, නිසල තාරක 31/2, මතීෂ පෙරේරා 18/2, ඉෂාර පෙරේරා 18/2

ඩිමෝ ලංකා කණ්ඩායම; කඩුලු 4ක් දැවී 173 (18.2): තික්ෂිල ද සිල්වා 71, සම්මු අශාන් නොදැවී 22, රමේෂ් මෙන්ඩිස් නොදැවී 33, සහන් ආරච්චිගේ 2/41, චරිත් සුදාරක 2/19

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න