විශ්‍රාම ගියත් නොනැවතුණු ඩිල්ශාන්ගේ පිත්ත

4052

මෙරට ක්‍රිකට් පිටියට බිහිවුණු විශිෂ්ටතම සිවු ඉරියවු ක්‍රීඩකයා, ජාත්‍යන්තර ක්‍රිකට් කරලියට සමුදුන්නේ පසුගිය සිකුරාදා දිනයේදීයි. ටී. එම්. ඩිල්ශාන් වසර 17ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කර විවේක සුවයෙන් ගත කල කාලය කොපමණද? හරියටම දින 01යි. ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩාවේ අවසානයෙන් පසු කාල සමයේ ආරම්භය කෙසේ සිදුවීද? විශිෂ්ට ශතකයක් සහ තරග ජයග්‍රහණයක්.

ඩිල්ශාන්ගේ ශතකයෙන් සවිමත් වූ MAS යුනිචෙලා කණ්ඩායම 24 වන වෙළඳ සේවා ප්‍රිමියර් ලීග් එක්දින තරගාවලියේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමග පැවති තරගයෙන් දැවැන්ත ජයක් ලබන්නට සමත් විය.

MAS යුනිචෙලා සහ හැටන් නැෂනල් බැංකුව අතර තරගය

තරගයේ කාසියේ වාසිය දිනු හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ නායක මාධව වර්ණපුර පළමුවෙන් පන්දුවට පහරදීමට යුනිචෙලා ක්‍රීඩකයන්ට ආරාධනා කරන ලදී. ජාතික කණ්ඩායමේ අත්දැකීම් සහිත මුල්පෙළ පිතිකරුවන්ගෙන් පමණක් සමන්විත වූ MAS යුනිචෙලා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 388ක්. ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වේගවත් ලකුණු 81ක් රැස් කල අතර ටී. එම්. ඩිල්ශාන් අංක 4 ස්ථානයෙන් පිටියට පිවිස ලකුණු 144ක් ලබා ගත්තේ පන්දු 132ක් පමණක් වැය කරමිනි. ඩිල්ශාන්ගේ ඉනිමට හතරේ පහර 19ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.

පසුගිය ලිපි: මිලින්දගේ ශතකය අපතේ: MAS ඇක්ටිව්ට අනපේක්ෂිත පරාජයක්

අංක 5 ස්ථානයේ ක්‍රීඩා කල කුසල් ජනිත් ද වේගයෙන් ලකුණු රැස් කරමින් ලකුණු 64ක් වාර්තා කල අතර මහේල උඩවත්ත සහ චතුර පීරිස් ද MAS යුනිචෙලා කණ්ඩායමේ ලකුණු පුවරුවට වටිනා දායකත්වයක් ලබා දෙන්නට සමත් විය. වමත් වේග පන්දු යවන ක්‍රීඩක විමුක්ති පෙරේරා සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක සජීව වීරකෝන් කඩුලු 2බැගින් දවා ගන්නා ලදී.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට පිළිතුරු ඉනිමේදී වාර්තා කිරීමට හැකිවූයේ ලකුණු 222ක් පමණි. මින්හාජ් ජලීල් ලකුණු 55ක් සමගින් හැටන් නැෂනල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. දිල්රුවන් පෙරේරා, චතුර පීරිස් සහ වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගන්නා ලදී.

ලකුණු පුවරුව –

MAS යුනිචෙලා කණ්ඩායම – 388/9 (50) : T.M. ඩිල්ශාන් – 144, ධනුෂ්ක ගුණතිලක – 81, කුසල් ජනිත් – 64, චතුර පීරිස් – 27, මහේල උඩවත්ත – 23, විමුක්ති පෙරේරා – 2/59, සජීව වීරකෝන් – 2/57.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායම – 222/9 (50) : මින්හාජ් ජලීල් – 55, හේෂාන් ගුණතිලක –  42, හසිත මධුශාන් –  35, දිල්රුවන් පෙරේරා – 2/31, අසිත ප්‍රනාන්දු – 2/35, චතුර පීරිස් – 2/38.

MAS යුනිචෙලා කණ්ඩායමට ලකුණු 166ක ජයක්.


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අතර තරගය

චතුරංග ද සිල්වාගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම පරදවා කඩුලු 4ක ජයක් ලබන්නට කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් PLC කණ්ඩායම සමත් විය.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් භානුක රාජපක්ෂ ප්‍රමුඛ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කණ්ඩායමට පන්දුවාර 44.4ක් තුල සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 166ක් පමණයි. ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින ක්‍රීඩකයෙක් වන රොෂේන් සිල්වා සටන්කාමී ලකුණු 58ක් රැස් කරද්දී ජාතික ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩක දිමුත් කරුණාරත්න ලකුණු 30ක් ලබාගන්නට සමත් විය.

චතුරංග ද සිල්වා ලකුණු 28කට කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් දවාගන්නා ලදී.

ලකුණු 167ක පහසු ඉලක්කය හඹා යාමට අශාන් ප්‍රියන්ජන් ලකුණු 72කින් දායකත්වය සැපයු අතර චතුරංග ද සිල්වා පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 38ක් ලබා ගන්නට සමත් විය. කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පන්දුවාර 22.2ක් සහ කඩුලු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය.

ලකුණු පුවරුව –

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම  – සියල්ලන් දැවී – 166 (44.4) : රොෂේන් සිල්වා – 58, දිමුත් කරුණාරත්න – 30, චතුරංග ද සිල්වා –  4/28, වනිඳු හසරංග – 2/51.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම – 167/6 (27.4) : අශාන් ප්‍රියන්ජන් – 72, චතුරංග ද සිල්වා – 38, මධුක ලියනපතිරණ –  2/30.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට