සම්පත් සහ HNB ජය ලබද්දී, වර්ෂාව ටීජේ ලංකා ජය සොරා ගනියි!

1256

දිවයින පුරා ව්‍යාප්ත වූ කුසලතා පූර්ණ ක්‍රීඩා තරු ජාත්‍යන්තරය කරා රැගෙන යාමට දිරිදෙන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග අද (09) ආරම්භ වූයේ ක්‍රීඩාංගණ 3ක් පදනම් කර ගනිමිනි.

පසුගිය වර කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය මෙවර තවදුරටත් ව්‍යාප්ත වී ඇත්තේ විශිෂ්ට කණ්ඩායම් 10ක් ඒකරාශී කරගෙනයි. අද පැවති තරගවල දී සම්පත් බැංකුව සහ හැටන් නැශනල් බැංකුව ජයග්‍රහණ හිමි කරගත් අතර ටීජේ ලංකා සමාගමේ ජය අවසන් මොහොතේ දී වර්ෂාව පැහැර ගැනීමට සමත් විය.

වෙළඳසේවා තරගාවලිය ලබන මස මුලදී

5 වන වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග සඳහා මෙන්ම එයට පසුව පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා ද සිංගර් ආයතනය…

සම්පත් බැංකු කණ්ඩායම සහ ඩිමෝ A කණ්ඩායම අතර තරගය

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 45කට පමණක් සීමාවුණු මෙම තරගය පැවැත්වුනේ කටුනායක FTZ ක්‍රීඩාංගණයේදීයි. එහි දී ලකුණු 5ක ඉතාමත් තියුණු ජයක් වාර්තා කර ගැනීමට සම්පත් බැංකුව සමත් වූයේ තරගාවලිය සඳහා ජයග්‍රාහී ආරම්භයක් සනිටුහන් කර ගනිමිනි.

තරග ජයක් ලබා ගැනීමට නොහැකි වූවත් අද දිනයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ ප්‍රතිවාදී ඩිමෝ කණ්ඩායමයි. වැසි වලාකුළින් බරවූ කාලගුණ තත්ත්වයක් යටතේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සම්පත් බැංකු ක්‍රීඩකයින්ට ලබා දීමට ඔවුහු තීරණය කළහ.

එම ඇරයුම පිළිගත් සම්පත් බැංකු පිතිකරුවන් සියල්ලන්ම දැවී ලකුණු 237ක් රැස්කර ගැනීමට සමත් විය. එහි දී තවමත් 20 හැවිරිදි වියේ පසුවන දකුණත් යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 65ක් ලබා ගනිමින් සම්පත් බැංකු කණ්ඩායමට ඉහළ ලකුණු පුවරුවක් ගොඩ නැංවීම සඳහා අඩිතාලම සැපයීය. ඔහු සමඟ සාර්ථක සබඳතාවයක් ගොඩ නැංවූ රොමේෂ් බුද්ධික ලකුණු 59යි. මීට අමතරව හසන්ත ප්‍රනාන්දු ලකුණු 31කින් සම්පත් බැංකුවේ ලකුණු තත්වය ඉහළ දැමීය. පන්දු යැවීමේ දී තික්ෂිල ද සිල්වාගේ වේග පන්දුවට සම්පත් බැංකු පිතිකරුවන් තිදෙනෙකුම ගොදුරු විය. රමේෂ් මෙන්ඩිස් කඩුලු 2යි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩිමෝ ක්‍රීඩකයින්ට පන්දුවාර 32කදී ලකුණු 192ක ඉලක්කයක් හිමි වූ අතර එය සාර්ථක ලෙස හඹා යාමට අද ඔවුන්ට අවස්ථාවක් උදා නොවීය. ඒ අදාළ ඉලක්කයට ලකුණු 5ක් මෙපිටින් ඩිමෝ කණ්ඩායම සීමා කිරීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ සම්පත් බැංකු පන්දු යවන්නන් සමත් වූ බැවිනි.

ඩිමෝ පිළ වෙනුවෙන් කිසිදු පිතිකරුවෙකුට විශාල ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට නොහැකි වූ අතර ලසිත් අබේවික්‍රම වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 28ක් රැස්කර ගත්තේය.

සුපිරි පන්දු යැවීමක නිරත වුනු ප්‍රභාත් ජයසූරිය ලකුණු 32ට කඩුලු 4යි. ඔහුට සහාය ලබා දුන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පන්දු යවන්නන් දෙදෙනෙකු වන කසුන් රාජිත සහ තරිඳු කෞෂාල් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලූහ.

සම්පත් බැංකුව – සියල්ලන්ම දැවී ලකුණු 237 (පන්දුවාර 44.3): අවිශ්ක ප්‍රනාන්දු 65, රොමේෂ් බුද්ධික 59, හසන්ත ප්‍රනාන්දු 31, තික්ෂිල ද සිල්වා 3/36, රමේෂ් මෙන්ඩිස් 2/22.

ඩිමෝ (A කණ්ඩායම) – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 31.3): ලසිත් අබේරත්න 28, මතීෂ පෙරේරා 22, ප්‍රභාත් ජයසූරිය 4/32, කසුන් රාජිත 2/38, තරිඳු කෞෂාල් 2/33.


හැටන් නැශනල් බැංකු කණ්ඩායම සහ කැන්රිච් ෆිනෑන්ස් A කණ්ඩායම අතර තරගය

අද කොළඹ කෝල්ට්ස් පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයත් වර්ෂාවේ බාධාවන් හමුවේ නිමාව දුටුවේ හැටන් නැශනල් බැංකුවට ජයග්‍රහණය හිමි කර දෙමිනි. එහි දී පන්දුවාර 7ක් කප්පාදු කිරීමට තරග තීරකයින්ට සිදු වූ අතර තරගය ක්‍රියාත්මක වූයේ පන්දුවාර 43ක තරගයක් ලෙසිනි.

කාසියේ වාසිය දිනාගත් කැන්රිච් කණ්ඩායම තෙතබරිත කාලගුණ තත්ත්වය යටතේ පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව ඉනිම ඇරඹූ හැටන් නැශනල් බැංකු පිතිකරුවන් ලකුණු 157ක් තුල දී දැවී ගියේ කැන්රිච් පිළේ ජයග්‍රහණ බලාපොරොත්තු දල්වාලමිනි.

හැටන් නැශනල් බැංකුව වෙනුවෙන් දේශාන් ඩයස් සහ මාධව වර්ණපුර අර්ධ ශතක දෙකක් රැස් කරගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙකු තම වගකීම හරියාකාරව ඉටු කිරීමට සමත් නොවීම කැපී පෙණුණි.

පන්දු යැවීමේ දී පසුගිය ඉන්දියානු තරග සංචාරයේ දී ශ්‍රී ලංකා පිළේ දඟ පන්දු තරුව බවට පත්වූ අකිල ධනංජය කඩුලු 3ක් දවා ගනිද්දී, දේශීය පිටියේ කැපී පෙනෙන ලෙස නමක් දිනා ඇති ක්‍රීඩකයෙකු වන අලංකාර අසංක ද ලකුණු 45ට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීය.

ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුව කැන්රිච් පිතිකරුවන්ට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 27යි පන්දු 2කදී ලකුණු 137ක ඉලක්කයක් හිමිවූවත් එය සාර්ථකව හඹා යෑමට ඔවුන්ට හැකිවූයේ නැත. ඒ ඉතාමත් මන්දගාමී අයුරින් පිත්ත හැසිරවූ ඔවුන් නියමිත පන්දුවාර ගණන අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 99ක් පමණක් රැස් කරගත් බැවිනි.

කැන්රිච් පිළ වෙනුවෙන් කසුන් විදුර ලකුණු 36ක් රැස්කර ගනිද්දී ලහිරු විමුක්ති කඩුලු 4ක් දවා ගනිමිනි හැටන් නැශනල් බැංකුවට ජය මාවත පෙන්වීය. සියල්ල අවසානයේ ඔවුන් මෙම තරගය ජය ගත්තේ ලකුණු 37කිනි.

හැටන් නැශනල් බැංකුව (A කණ්ඩායම) – සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 40.3): දේශාන් ඩයස් 51, මාධව වර්ණපුර 51, අකිල ධනංජය 3/36, අලංකාර අසංක 3/45.

කැන්රිච් ෆිනෑන්ස් (A කණ්ඩායම) – කඩුලු 8ක් දැවී ලකුණු 99 (පන්දුවාර 27.2): කසුන් විදුර 36, අලංකාර අසංක 21, ලහිරු විමුක්ති 4/39, නවීන් ගුණවර්ධන 2/22.


හේලීස් A කණ්ඩායම සහ ටීජේ ලංකා කණ්ඩායම අතර තරගය

අද දිවා කාලයේ දී මොරටු පුරවරයට ඇද වැටුණු අධික වර්ෂාව නිසා මෙම තරගයේ අවසන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාවක් උදාවූයේ නැත. ඒ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ටීජේ ලංකා සමාගමට ඩක්වර්ත් – ලුවිස් න්‍යාය ක්‍රියාත්මක කිරීමට තරම්වත් පන්දුවාර ගණනක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ බැවිනි. ද සොයිසා තණතිල්ල මත දී උරගා බැලුණු කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ හේලීස් සමාගමයි. ඒ අනුව ඔවුන් රුචිකත්වයක් දැක්වූයේ මුලින් පන්දුවට පහර දීමටයි.

පන්දුවාර 28ක් දක්වා දිග හැරුණු මෙම ඉනිම අවසානයේ හේලීස් පිතිකරුවන් රැස්කර ගත්තේ කඩුලු 6ක් දැවී ලකුණු 89ක් පමණි. එහි දී සජිත් දිසානායක ලකුණු 30ක් රැස්කර ගනිද්දී ඇන්ඩි සොලමන් ලකුණු 21ක් වාර්තා කර ගත්තේය. පන්දු යැවීමේ දී ආබාධ තත්ත්වයන් නිසා පසුගිය ජාත්‍යන්තර තරග මග හැරුණු සුරංග ලක්මාල් අද ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීජේ ලංකා පිතිකරුවන් පන්දුවාර 9යි පන්දු 5ක් අවසානයේ ලකුණු 78ක් ලබා සිටිය දී නැවතත් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයට වැසි ඇද හැලීම නිසා තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තරග තීරකවරුන්ට සිදු විය. කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා ඉතාමත් අවාසනාවන්ත ලෙස තරග ජයග්‍රහණය අහිමිව ගියේ අදාළ ඉලක්කයට ලකුණු 12ක් පමණක් මෙපිටින් සිටි ටීජේ ලංකා සමාගමටයි. ඒ අනුව මිනෝද් භානුක ලබාගත් ලකුණු 38ත්, පිතිකරණයේ උසස්වීම් ලද සචිත්‍ර සේනානායක රැස් කරගත් ලකුණු 27ත් ගඟට කැපූ ඉනි බවට පත්විය.

හේලීස් සමාගම (A කණ්ඩායම) – කඩුලු 6ක් දැවී ලකුණු 89 (පන්දුවාර 28): සජිත් දිසානායක 30, ඇන්ඩි සොලමන් 21, සුරංග ලක්මාල් 2/22.

ටීජේ ලංකා සමාගම – කඩුලු 3ක් දැවී ලකුණු 78 (පන්දුවාර 9.5): මිනෝද් භානුක 38, සචිත්‍ර සේනානායක 27, අලි කාන් 2/38.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට