තිලකරත්න සහෝදරයෝ වෙළඳසේවා පිටිය වර්ණවත් කරති

2329

සියලු අවධානයන් තමන් වෙත නතු කර ගත් තිලකරත්න සහෝදරයෝ අද (30දා) වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී පැවති හේලීස් කණ්ඩායම හා තරගයේ දී කඩුලු 7ක ඉතා පහසු ජයග්‍රහණයකට MAS යුනිචෙලා කණ්ඩායම රැගෙන ගියහ.

තිලකරත්න ඩිල්ෂාන් (T.M.) තමන්ගේ සුවිශේෂී තුන් ඉරියව් දක්ෂතා දක්වද්දී ඔහුගේ සොයුරු තිලකරත්න සම්පත් (T.M.) පිතිකරුවෙක් ලෙසත් කඩුලු රකින්නෙක් ලෙසත් පෑ දක්ෂතා මේ ජයග්‍රහණයට බෙහෙවින්ම ඉවහල් විය.

සිංගර් කුසලාන වෙළඳසේවා A කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද පැවති අනෙකුත් තරගවල දී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව ලකුණු 41කින් ජය ලැබීමට ඩිමෝ කණ්ඩායම සමත් විය. HNB කණ්ඩායම සහ LB ෆිනෑන්ස් කණ්ඩායම් අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6ක ජයක් ලබා ගැනීමට LB ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය. පැවති අනෙක් තරගයේ දී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 103ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණය ද ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව විසඳුන තරගයක් සේ වාර්තා විය.

රාජපක්ෂගේ පිතිකරණය නිසා හේලිස් පිලට තියුණු ජයක්

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් අද (28) කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති අතර එහි දී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරමින්…

හේලීස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් අතර තරගය

කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ MAS යුනිචෙලා කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හේලීස් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 126ක් පමණි. එම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ සචිත්‍ර සේරසිංහ (33) ය.

එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ ප්‍රමුඛයා වූයේ තිලකරත්න ඩිල්ෂාන් ය. ඔහු ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තේ ය. දඟපන්දු යවන්නන් වූ දුවිඳු තිලකරත්න සහ චතුරංග ද සිල්වා ද කඩුලු 3 බැගින් දවා ගත්තේ තමන්ගේ පන්දුවාර 10ම යවා ඉන් 2ක් නොයිඳුල් පන්දුවාර සේ යවමිනි.

පිළිතුරු ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී තරගයේ විසඳුම ලබා ගැනීමට MAS යුනිචෙලා කණ්ඩායම සමත් විය. එහි දී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ටී. එම්. සම්පත් පන්දු 29ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේ ය. ඔහු වැඩිමල් සොයුරු ඩිල්ෂාන් සමඟ 3 වැනි කඩුල්ලට එක්කළ සබඳතාව ලකුණු 53කි. ඩිල්ෂාන් පන්දු 13ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තේ ය.

හේලිස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 126 (34.4) සචිත්‍ර සේරසිංහ 33, බිනුර ප්‍රනාන්දු 22, ටී. එම්. ඩිල්ෂාන් 3/17, දුවිඳු තිලකරත්න 3/27, චතුරංග ද සිල්වා 3/28

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 3ක් දැවී 128(12.0) ධනුෂ්ක ගුණතිලක 25, ටී. එම්. සම්පත් 57, ටී. එම්. ඩිල්ෂාන් නොදැවී 30, බිනුර ප්‍රනාන්දු 2/31


ඩිමෝ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩිමෝ ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 294ක් වාර්තා කළහ. ඉනිමේ අවසන් පන්දුවාර 10 දී ඔවුන් ලකුණු 104ක් ලබා ගැනීම කැපි පෙණුනි.

එම ඉනිමේ දී දකුණත් පිතිකරු ලසිත් අබේරත්න පන්දු 72ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව හෂේන් රාමනායක පන්දු 81ක දී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේය. තරගයේ අවසන් අදියරේ දී පුලින තරංග පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේ ය. රමේෂ් මෙන්ඩිස් පන්දු 28ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 49ක් රැස් කළේය.

ප්‍රතිවාදී ඉනිමේ ආරම්භය ඉලක්කය හඹායන බවක් පෙන්නුම් කළ ද එකින් එක කඩුලු වැටීමත් සමඟ එය අඩාල විය. එම ඉනිමේ දී ජෙහාන් මුබාරක් පන්දු 72ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 57ක් රැස් කළේ ය.

ඩිමෝ කණ්ඩායම; කඩුලු 6ක් දැවී 294 (50.0) ලසිත් අබේරත්න නොදැවී 72, හෂේන් රාමනායක 50, තීක්ෂිල ද සිල්වා 40, පුලින තරංග 35, රමේෂ් මෙන්ඩිස් නොදැවී 49, සම්මු අශාන් 21, ඩිල්ශාන් මුණවීර 3/64, සුරාජ් රන්දිව් 2/33

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 253 (44.5) ජෙහාන් මුබාරක් 57, අශාන් ප්‍රියංජන් 38, ඉමේෂ් උදයංග 34, ඩිල්හාන් කුරේ 29, ලහිරු මධුශංක 35, සුරාජ් රන්දිව් 22, කවිෂ්ක අංජුල 2/34, සම්මු අශාන් 2/20, ප්‍රමුද් හෙට්ටිවත්ත 2/41

ධනංජයට නායකත්වය; සුපිරි කණ්ඩායමක් කොදෙව් රටට

ශ්‍රී ලංකා A හා බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම් අතර ඔක්තෝබර් මස 11 වැනිදායින් ආරම්භ වීමට නියමිත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් 16 දෙනෙකුගේ…

HNB සහ LB ෆිනෑන්ස් කණ්ඩායම් අතර තරගය

කටුනායක වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ආරම්භ වන්නේ පන්දුවාර 47ක තරගයක් ලෙසිනි. ඒ අනුව ප්‍රතිවාදීන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි HNB කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 107ක් පමණි.

නැවත වතාවක් වර්ෂාව විසින් තරගය ආක්‍රමණය කිරීම හේතුවෙන් තරගය පන්දුවාර 44කට සීමා කෙරුණි. ඒ අනුව LB ෆිනෑන්ස් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුව ඉලක්කය වූයේ ලකුණු 105කි. එම ඉලක්කය 19 වැනි පන්දුවාරයේ දී සපුරා ගැනීමට ඔවුන් සමත් වූහ.

HNB කණ්ඩායම; සියලුම දෙනා දැවී 107 (42.2) දේශාන් ඩයස් 26, බුද්ධික පෙරේරා නොදැවී 28, ශිරාන් ප්‍රනාන්දු 2/08, ඇන්ජලෝ පෙරේරා 3/20

LB ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 4ක් දැවී 107 (18.5) ලහිරු උදාර 29, ඇන්ජලෝ පෙරේරා 20, සජීව වීරකෝන් 2/24

ජෝන් කීල්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම් අතර තරගය

පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය පන්දුවාර 45ක තරගයක් සේ ආරම්භ කෙරුණි. කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජෝන් කීල්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 259ක් රැස් කළේ ය. එම ඉනිමේ දී අර්ධ ශතක දෙකක් වාර්තා වූ අතර නායක භානුක රාජපක්ෂ පන්දු 82ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 74ක් ලබා ගත්තේ ය. ඉෂාන් ජයරත්න පන්දු 38ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයන්ගේ ඉනිම විනාශ කිරීමට පිත්තෙන් ද දක්ෂතා දැක්වූ ඉෂාන් ජයරත්න පෙරමුණ ගත්තේය. දකුණතින් මඳ වේගපන්දු යවමින් ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 3කි. මධුක ලියනපතිරණගේ සහ චාමිකර එදිරිසිංහ කඩුලු 2 බැගින් දවා ගත්හ.

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 259 (45.0) භානුක රාජපක්ෂ 74, ඉෂාන් ජයරත්න නොදැවී 60, ආක්ෂු ප්‍රනාන්දු 42, ලහිරු මිලන්ත 33, ප්‍රමෝද් මධුශාන් 3/56

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 158 (37.1) කසුන් විදුරංග 35, අලංකාර අසංක 23, ඉෂාන් ජයරත්න 3/20, මධුක ලියනපතිරණගේ 2/31, චාමිකර එදිරිසිංහ 3/22

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට