වෙළඳසේවා සත් සාමාජික රග්බි කිරුළ ‘Access’ දිනා ගනී

726

දින තුනක් පුරාවට කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවති 48 වන වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (22) නිමාවට පත්වූයේ ‘Access’ කණ්ඩායම තරගාවලියේ ශූරතා කුසලානය ජයග්‍රහණය කරමිනි.

තවදුරටත් ‘Dialog B’, ‘CDB’ සහ ‘JKH B’ කණ්ඩායම් පිළිවෙළින් පළිහ, බඳුන සහ පළඟ ශූරතාවයන් දිනා ගනු ලැබූ අතර කාන්තා ටැග් රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ ‘MAS Attune’ කණ්ඩායමයි.

MAS කණ්ඩායමට නොසිතූ පරාජයක්!

වෙළඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන දිනය ඊයේ (21) කොළඹ තුරඟ තරග…

ශූරතා කුසලාන අවසන් තරගය

තරගාවලියේ ශූරතා කුසලානය සඳහා වන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ප්‍රබල ‘Access’ කණ්ඩායම සමඟින් ‘Dialog A’ කණ්ඩායමයි.

ජාතික තලයේ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ප්‍රබල ‘Access’ කණ්ඩායම පහසුවෙන් තරගය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළත් ඔවුන්ට තරගයේ පළමු අර්ධයේ දී නොසිතූ අභියෝගයක් එල්ල කරන්නට ‘Dialog A’ කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් ‘Dialog A’ ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් සමඟින් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට සමත් විය. එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ නිරෝෂන් ප්‍රනාන්දු විසිනි.

කෙසේ නමුත් ඉන් අනතුරුව තරගයට අවතීර්ණ වූ ‘Access’ ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් ලකුණු තත්වය සම කරන්නට සමත් විය. එහි දී කවිඳු පෙරේරා විසින් සිය අන්තයේ සිට පන්දුව රැගෙන එමින් පසුව එය ජේසන් දිසානායක වෙත බාර කළ අතර ඔහු පන්දුව පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය.

ඊට වහාම පිළිතුරු දැක්වූ ‘Dialog A’ ක්‍රීඩකයින් තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. එහි දී අනුරුද්ධ හේරත් ලබා දුන් පන්දුවක් තිලිණ වීරසිංහ විසින් සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබීය.

පළමු අර්ධය: Access 07 – 12 Dialog A

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් සතුකරගත් ප්‍රබල ‘Access’ කණ්ඩායම තවත් උත්සාහක දිනුම් වාර්තා කරගනිමින් තරගයේ ජයග්‍රහණය ඔවුන් සතුකර ගන්නට සමත් විය.

ඩයලොග් හා ඇක්සස් සාර්ථකව තරගාවලිය ආරම්භ කරයි

2018 වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (20) කොළඹ තුරඟ තරග පිටියේ දී …

එහි දී ඔවුන්ගේ ක්‍රීඩක ආදේශ කිරීම එම ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් වූ අතර කෙවින් ඩික්සන් සහ නවීන් හේනකන්කානම්ගේ වැනි ආදේශ කිරීම් තුළින් ‘Dialog A’ කණ්ඩායම අභිබවා යාමට අවශ්‍යව තිබූ වේගය ලබා ගන්නට ඔවුන්ට හැකියාව ලැබුණි.

දෙවන අර්ධයේ දී වාර්තා වූ එම උත්සාහක දිනුම් තුන වාර්තා කර ගනු ලැබුවේ ධනුෂ්ක රංජන්, කෙවින් ඩික්සන් සහ රිචඩ් ධර්මපාල විසිනි.

සම්පූර්ණ කාලය: Access 28 – 12 Dialog A

ඒ අනුව පසුගිය වසරේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ ‘Access’ කණ්ඩායම මෙවර අපරාජිතව තරගාවලියේ ශූරතා කුසලානයට හිමිකම් කියන්නට සමත් විය.

තරගාවලියේ කාන්තා අංශය සඳහා ටැග් රග්බි තරගාවලියක් පැවති අතර කණ්ඩායම් 4ක් සහභාගී වූ එහි අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගනු ලැබුවේ පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනා ගනු ලැබූ ‘CDB’කණ්ඩායම සහ ‘MAS Attune’ කණ්ඩායමයි. ප්‍රබල ‘CDB’ කණ්ඩායම මෙවර ද ශූරතාවය දිනා ගනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළත් අවසන් තරගය පුරාවටම සිය අණසක පතුරුවාගත් ‘MAS Attune’ ක්‍රීඩිකාවන් තරගය 00-10ක් ලෙස ජයග්‍රහණය කරමින් එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

සරසවි සිසුන්ගේ රග්බි ගැටුමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “2018 අන්තර් විශ්ව …

තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා වන අවසන් මහා තරගය සඳහා ‘Classic Travels’ සහ ‘JKH B’ කණ්ඩායම් සුදුසුකම් ලබාගත් අතර එහි දී පළමු අර්ධයේ උත්සාහක දිනුම් 2ක් වාර්තා කරගනිමින් තරගයේ පෙරමුණ ගන්නට ‘JKH B’ ක්‍රීඩකයින් සමත් විය. කෙසේ නමුත් ‘Classic Travels’ ක්‍රීඩකයින් දෙවන අර්ධයේ දී තරගයට අවතීර්ණ වෙමින් ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වුවත් එහි දී ඔවුන් රැස්කර ගැනීමට සමත් වූයේ එක් උත්සාහක දිනුමක් පමණි. ඒ අනුව ලකුණු 07-14ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කළ ‘JKH B’ ක්‍රීඩකයින් තරගාවලියේ පළඟ ශූරතාවය හිමිකර ගන්නට සමත් විය.

තවදුරටත් බඳුන ශූරතාවය සඳහා වන අවසන් තරගයේ දී ‘Allianz Insurance’ කණ්ඩායම පරාජයට පත්කළ ‘CDB’ කණ්ඩායම බඳුන ශූරතාවය හිමි කර ගන්නට සමත් වූ අතර තරගාවලියේ පළිහ ශූරතාවය දිනා ගනු ලැබුවේ ඒ සඳහා වන අවසන් තරගයේ දී ‘Ceylon Tea Brokers’ කණ්ඩායම පරාජයට පත්කළ ‘Dialog B’ කණ්ඩායම යි.

සම්මාන

  • ශූරතාවය – ‘Access’
  • අනුශූරතාවය – ‘Dialog A’
  • ශූරතා කුසලාන 3 වන ස්ථානය – ‘Mas Active’
  • කාන්තා ටැග් රග්බි ශූරතාවය – ‘Mas Attune’
  • පළඟ ශූරතාවය – ‘JKH B’
  • බඳුන ශූරතාවය – ‘CDB’
  • පළිහ ශූරතාවය – ‘Dialog B’
  • තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා – ශ්‍රීනාත් සූරියබණ්ඩාර (Access)
  • අවසන් තරගයේ වීරයා – ධනුෂ්ක රංජන් (Access)
  • තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයා – දිලූෂ දන්ගේ (CDB)
  • තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා – හේෂාන් ජැන්සන් (CDB)

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<