නාත්තන්ඩිය යුනයිටඩ් හා හයිඩ්‍රාමනී ආධුනික ශූරතා දිනයි

281

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග අද (16) මහරගම යොවුන් කැදැල්ලේ දී ආරම්භ විය. දිනය ආරම්භ කරමින් ආධුනික අංශයේ තරග පැවැත්වුණු අතර සවස් වරුවේ පිරිමි හා කාන්තා සුපිරි ලීග් කාණ්ඩයේ තරග පැවැත්වීමට නියමිතයි.

කුරුණෑගලට නිතරග ජයක්; සියනෑතරු හමුවේ බලරැස් බල රහිත වේ

ආධුනික කාන්තා අංශයේ ජය වට 3-1 ක් ලෙස රතනපාල ක්‍රීඩා සමාජය පරාජය කළ හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය ජය හිමි කර ගද්දි, පිරිමි අංශයේ ජය ගෝල්ඩන් ටයිගර්ස් වට 3-2ක් ලෙස පරාජය කළ නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායමට හිමි විය.

ආධුනික පිරිමි අවසන් මහා තරගය – ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය හා නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය

පළමු මිනිත්තුවේ සිටම ඉතා උණුසුම් වූ මේ තරගය වට 3-2ක් ලෙස දිනා ගත්තේ නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායමයි. යුනයිටඩ් ක්‍රීඩකයින් පළමු වට දෙකම ජය ගත් නමුත් තුන්වැනි හා හතරවැනි වට ජය ගත් ටයිගර්ස් ක්‍රීඩකයින් නැවත තරගයට පිවිසුණේ අනර්ඝ තරගයකට සුපිරි අවසාන වටයක් ලබා දෙමිනි.   

ආරම්භක පන්දු ප්‍රහාරයෙන්ම තරගයේ පළමු ලකුණ ලබා ගන්නට ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමත් වූයේ උණුසුම් තරගයක් ආරම්භ කරමිනි. ලකුණු 3-1ක් ලෙස ආරම්භයේ දී ම පෙරමුණ ගත් ටයිගර්ස් කණ්ඩායම පසු කර යන්නට නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩකයින් සමත් වූයේ ලකුණු 5-6ක් ලෙස පෙරමුණ ගනිමිනි.

අනතුරුව ලකුණු 6-6ක්, 7-7ක් සහ 8-8ක් ලෙස තරගය කරට කර ඉදිරියට ඇදුණු අතර කණ්ඩායම් දෙකේම කෙටි පන්දු ප්‍රහාරකයින් පවනට බඳු වේගයෙන් ගුවනට මුසුවී අලංකාර ප්‍රහාර දියත් කළේ ප්‍රතිවාදී ආවරණ සුනුවිසුනු කරමිනි. කෙමෙන් කෙමෙන් පසුපස සිට ඉදිරියට ඇදුණු යුනයිටඩ් ක්‍රීඩකයින් පළමු තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු 11-08ක් ලෙස ඉදිරියට පැමිණීමට සමත් විය.

ලකුණු පරතරය ලකුණු හයක් බවට පත් කර ගත් යුනයිටඩ් ක්‍රීඩකයින් ලකුණු 18-12ක් දක්වා ලකුණු පරතරය වැඩි කර ගත් නමුත් 19-16ක් ලෙස ටයිගර්ස් ක්‍රීඩකයින් ඔවුන්ගේ පසුපසින්ම රැඳෙන්නට සමත් විය.

ටයිගර්ස් ක්‍රීඩකයින්ට තවත් ලකුණු දෙකක් පමණක් රැස් කිරීමට අවස්ථාව ලබා දුන් යුනයිටඩ් ක්‍රීඩකයෝ වේගවත් ලකුණු 6ක් සමඟින් වටයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

පළමු වටය: නාත්තන්ඩිය යුනයිටඩ් 25-18 ගෝල්ඩන් ටයිගර්ස්    

ටයිගර්ස් ක්‍රීඩකයින් දෙවන වටයේ පළමු ලකුණ ලබාගෙන තරගයට හොඳින් පිවිසුණු අතර මෙවර වඩා හොඳ කෙටි පන්දු ප්‍රහාරයන් මගින් ලකුණු රැස් කරන්නට ඔවුන් සමත් විය. 08-12ක් 11-14ක් ලෙස ටයිගර්ස් කණ්ඩායම පෙරමුණ රඳවා ගනිමින් සටන් කළ අතර පළමු තාක්ෂණික කෙටි විවේකය වන විට ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම ලකුණු 18-14ක් ලෙස ඉදිරියෙන් සිටියේ පළමු වටයේ වාඩුව ගනිමිනි.

තරගය අත් නොහළ නාත්තන්ඩිය ක්‍රීඩකයින් ලකුණු 18-17ක් දක්වා ඉතා ඉක්මනින් ලකුණු පරතරය අඩු කර ගත්තේ ටයිගර්ස් ක්‍රීඩකයින්ගේ අතපසුවීම් උපයෝගී කර ගනිමිනි. 19-19ක් බවට පෙන්නුම් කළ ලකුණු පුවරුව 20-20ක් බවට පත් වූ අතර 23-21ක් ලෙස පෙරමුණ ගත් නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩකයින් පසුපස හඹාවිත් ටයිගර්ස් ක්‍රීඩකයෝ ලකුණු තත්වය 24-24ක් ලෙස සම කරන්නට සමත් විය.

25-25ක් ලෙස තිබූ ලකුණු පුවරුව ඉක්මන් ලකුණු දෙකක් වාර්තා කරමින් 27-25ක් බවට පත් කළ යුනයිටඩ් ක්‍රීඩකයින් දෙවන වටය ද ජය ගත්තේ තරගයේ වැඩි වාසි තමන්ගේ දෙසට හරවා ගනිමිනි.  

දෙවන වටය: නාත්තන්ඩිය යුනයිටඩ් 27-25 ගෝල්ඩන් ටයිගර්ස්

ජය පෙනෙන මානයට පැමිණ සිටි නාත්තන්ඩිය ක්‍රීඩකයින් තෙවැනි වටයේ ද ආරම්භක ලකුණු හතම තමන් සතු කර ගත්තේ ටයිගර්ස් ක්‍රීඩකයින් දැඩි පීඩනයකට ලක් කරමින් මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවාට තාක්ෂණික කෙටි විවේක දෙකක් ලබා ගැනීමට සිදු කරමිනි.

ඔවුන් ලබා ගත් දෙවන තාක්ෂණික කෙටි විවේකය සාර්ථක වූ අතර නැවත සංවිධානය වූ ඔවුන් ලකුණු තත්වය 7-1ක්, 7-4ක් බවට පත් කර ගත්තේ කෙටි පන්දු ප්‍රහාරක ප්‍රසාද්ගේ අලංකාර ප්‍රහාරයන් සමඟිනි.

8-6ක්, 8-7ක් හා 8-9ක් ලෙස ඔවුන් විශිෂ්ට ලෙස නාත්තන්ඩිය ක්‍රීඩකයින් හඹා ආවේ ඔවුන්ට ලෙහෙසියෙන් තරගය ජය ගැනීමට ඉඩ ලබා නොදෙමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

13-12ක් ලෙස නැවතත් තරගයේ පෙරමුණ යුනයිටඩ් කණ්ඩායමට ඇදුණේ තරගය දෙපසටම දෝලනය වෙමින්. 15-15, 16-16 වූ අතර ටයිගර්ස් ක්‍රීඩකයින් 17-10 ක් ලෙස ලකුණු තුනක පෙරමුණක් ලබා ගත්තේ ඉතා වැදගත් ලකුණු 20 සීමාවට පිවිසෙමින්.19-23,  21-23, 21-24ක් හා 21-25 ක් ලෙස ටයිගර්ස් කණ්ඩායම ජය ගත්තේ තරගය සිව්වන වටය දක්වා රැගෙන යමින්.

තෙවන වටය නාත්තන්ඩිය යුනයිටඩ් 21-25 ගෝල්ඩන් ටයිගර්ස්

සිව්වන වටය ප්‍රබල පන්දු ප්‍රහාරයකින් ආරම්භ කරන්නට යුනයිටඩ් ක්‍රීඩකයින් සමත් වූ අතර ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළ ටයිගර්ස් ක්‍රීඩකයින් ද අනර්ඝ ආවරණයකින් ලකුණු රැස් කරන ලදි.

අනතුරුව ලකුණු 3-6ක් ලෙස හා ලකුණු 5-9ක් ලෙස ටයිගර්ස් ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ රඳවා ගැනීමට සමත් වූයේ යුනයිටඩ් ක්‍රීඩකයින් පීඩනයේ හෙළමිනි.

07-13ක් ලෙස ටයිගර්ස් ක්‍රීඩකයින් ලකුණු හයකින් ලකුණු පරතරය ඉහළ දැමූ අතර 08-16 දක්වා ඔවුන් පෙරමුණ ගන්නට සමත් විය.

එක් වටයක ජයක් පමණක් අවශ්‍යව තිබූ නාත්තන්ඩිය ක්‍රීඩකයින්ට ලකුණු රැස් කර ගැනීමට ඉඩ නොදී ටයිගර්ස් ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළේ ලකුණු තත්වය 16-22ක් බවට පත් කරමින්.

රන් කුසලානයේ 22න් පහළ ශූරතා කෑගල්ලට සහ නාත්තන්ඩියට

ඉතා ඉක්මනින් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ඉතිරි ලකුණු තුන ද රැස් කර ගත් ඔවුන් සිව්වැනි වටය ජය ගත්තේ වට දෙකක් පරාජය වුවත් දක්ෂ ලෙස නැවත තරගයට පිවිසෙමිනි.

සිව්වැනි වටය: නාත්තන්ඩිය යුනයිටඩ් 16-25 ගෝල්ඩන් ටයිගර්ස්

තීරණාත්මක පස්වැනි වටයේ පළමු ලකුණ රැස් කළේ යුනයිටඩ් ක්‍රීඩා සමාජයයි. ටයිගර්ස් ක්‍රීඩකයින් ද ක්ෂණික ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු රැස් කළේ ලකුණු සම කරමිනි.

එක්වරම වේගවත් වූ තරගයේ පෙරමුණ 3-1ක් ලෙස යුනයිටඩ් ක්‍රීඩකයින්ට හිමි වූ අතර 4-2ක්, 5-4ක් ලෙස කරට කර ලෙස තරගය ඉදිරියට ඇදුණි.

ක්‍රීඩකයින් පිටියේ පැති මාරුවන විට ලකුණු 8-5ක් ලෙස යුනයිටඩ් ක්‍රීඩකයින් පෙරමුණේ එල්ලී සිටීමට සමත් වූ අතර 12-07ක් දක්වා ඔවුන් ලකුණු පරතරය ඉහළ දැමුවේ තරගයේ ජය පෙනෙන මානයට පැමිණෙමිනි.

13-09ක්, 14-11ක් ලෙස ඉදිරියට ගිය තරගයේ ජය මහේලගේ ප්‍රහාරයත් සමඟ 15-11ක් ලෙස නාත්තන්ඩිය යුනයිටඩ් දිනා ගත්තේ ආධුනික පිරිමි ශූරයින් බවට පත් වෙමිනි.

පස්වැනි වටය: නාත්තන්ඩිය යුනයිටඩ් 15-11 ගෝල්ඩන් ටයිගර්ස්

අවසන් ලකුණු තත්වය

  • පළමු වටය නාත්තන්ඩිය යුනයිටඩ් 25-18 ගෝල්ඩන් ටයිගර්ස්
  • දෙවන වටය නාත්තන්ඩිය යුනයිටඩ් 27-25 ගෝල්ඩන් ටයිගර්ස්
  • තෙවැනි වටය නාත්තන්ඩිය යුනයිටඩ් 21-25 ගෝල්ඩන් ටයිගර්ස්
  • සිව්වැනි වටය නාත්තන්ඩිය යුනයිටඩ් 16-25 ගෝල්ඩන් ටයිගර්ස්
  • පස්වැනි වටය නාත්තන්ඩිය යුනයිටඩ් 15-11 ගෝල්ඩන් ටයිගර්ස්

සම්මාන දිනාගත් ක්‍රීඩකයෝ

  • හොඳම පන්දු ඔසවන්නා -ජී. කෞශල්‍ය (යුනයිටඩ්)
  • හොඳම ආරක්ෂක ක්‍රීඩකයා – ඒ. ජී මධුශාන් (ටයිගර්ස්)
  • හොඳම ක්‍රීඩකයා – කේ. සී සේනානායක (යුනයිටඩ්)

ආධුනික කාන්තා අවසන් මහා තරගය – හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය හා මහා උස් වැව රතනපාල ක්‍රීඩා සමාජය අතර  

මහා උස්වැව ක්‍රීඩිකාවන්ගේ පන්දු ප්‍රදානයෙන් ආරම්භ වූ තරගයේ පළමු ලකුණ රැස් කළේ හයිඩ්‍රාමනී කණ්ඩායමයි. හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවෝ පිට පිට ලකුණු දෙකක් වාර්තා කරමින් ඉදිරියට ඇදුනත්, රතනපාල ක්‍රීඩිකාවන් ඔවුන්ගේ පසුපසින්ම එල්ලී සිටියේ ලකුණු පරතරය අඩුවෙන් තබා ගනිමිනි. (6-8)

පළමු තාක්ෂණික කෙටි විවේකයෙන් අනතුරුව හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන් ලකුණු 11ක් දක්වා සිය ලකුණු සංඛ්‍යාව වැඩි කර ගත්තේ රතනපාල ක්‍රීඩිකාවන්ට එක් ලකුණක් පමණක් ලබා දෙමිනි. රතනපාල ක්‍රීඩිකාවන්ගේ පන්දු එසවීම එතරම් හොඳින් නොතිබුණු නමුත් හයිඩ්‍රාමනී කණ්ඩායමේ කෙටි පන්දු ප්‍රහාරිකාව සිය වගකීම ඉතා හොඳින් ඉටු කරනු දක්නට ලැබුණි. (10-16)

දෙවන තාක්ෂණික කෙටි විවේකයෙන් පසු තරගය ආරම්භ වූයේ ලකුණු 6ක පරතරයක් සමඟයි. කෙසේ වෙතත් ලකුණෙන් ලකුණ ඉදිරියට ඇදුණු මහා උස්වැව ක්‍රීඩිකාවෝ පහසුවෙන් එම වටය ජය ගත්තේ ලකුණු 25-15ක් ලෙසිනි.

පළමු වටය: හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 25-15 රතනපාල ක්‍රීඩා සමාජය

පළමු වටයේ වටයේ දී මෙන් නොව දෙවන වටයේ දී වඩා ආක්‍රමණශීලී ලෙස තරගය පිවිසුණු රතනපාල ක්‍රීඩිකාවන් ආරම්භක ලකුණු ද්විත්වයම තමන් සතු කර ගත් අතර ලකුණු 5-1ක්,  7-1ක්, 8-1ක් ලෙස ඉදිරියට ඇදුණේ තරගයේ පෙරමුණ ගනිමිනි.

පළමු තාක්ෂණික කෙටි විවේකයෙන් පසු වහා ක්‍රියාත්මක වූ හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන් ලකුණින් ලකුණ නැවත තරගයට පිවිසුණු අතර ඔවුන්ගේ කෙටි පන්දු ප්‍රහාරිකාව දිලුක්ෂි ඉතා හොඳින් පන්දුව ස්ථානගත කරනු දක්නට ලැබුණි.10-03ක්ව තිබුණු ලකුණු පරතරය 11-09ක් ලෙස අඩු කර ගැනීමට හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවෝ සමත් වූ නමුත් රතනපාල ක්‍රීඩිකාවන් පෙරමුණට එල්ලී සිටියේ ඔවුන්ට පෙරමුණ ගන්නට ඉඩ නොදෙමිනි.

15-12ක්, 17-13ක්, 20-14ක් ලෙස ඉදිරියට ඇදුණු දෙවන වටයේ අවසන් භාගයට වන්නට හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන් 23-22ක් ලෙස ආසන්නයටම පැමිණියත් රතනපාල ක්‍රීඩා සමාජයේ ප්‍රීතිකාගේ ප්‍රහාරය නිසාවෙන් එම වටයේ ජය රතනපාල ක්‍රීඩා සමාජය හිමි විය.

දෙවන වටය: හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 22 – 25 රතනපාල ක්‍රීඩා සමාජය

තෙවැනි වටය විශිෂ්ට ලකුණක් සමඟින් ආරම්භ කරන්නට හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය සමත් වූයේ අලංකාර කෙටි පන්දු ප්‍රහාරයක් සමඟිනි. 2-0, 3-0, 4-0ක් ලෙස හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන් තරගයේ පෙරමුණ ගත් අතර රතනපාල පුහුණුකරු තාක්ෂණික කෙටි විවේකයක් ලබා ගත්තේ ලකුණු ගලා යෑම නතර කරන්නටය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

රතනපාල ආවරණවලින් මිදී 6-1ක් දක්වා ලකුණු පරතරය වැඩි කර ගත් හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන් 10-01ක් දක්වාම එම පරතරය පවත්වා ගැනීමට සමත් විය. 11-03ක්, 14-05ක් ලෙස වටය ඇදී ගියේ හයිඩ්‍රාමනී දෙසය. 18-07ක්, 20-13ක්, 23-14ක් හා 25-16ක් ලෙස පහසුවෙන් වටය ජය ගන්නට හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තෙවැනි වටය: හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 25-16 රතනපාල ක්‍රීඩා සමාජය

රතනපාල කණ්ඩායමට ඉතා වැදගත් වූ තෙවැනි වටයේ පළමු ලකුණ රතනපාල කණ්ඩායමෙන් උදුරාගන්නට හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන් සමත් වූයේ ආවරණයේ වැදී යන්නට එල්ල කළ අලංකාර කෙටි පන්දු ප්‍රහාරයක් සමඟිනි. තරගය පුරාම රතනපාල ක්‍රීඩිකාවන්ගේ පන්දු ඔසවාදීම් එතරම් හොඳින් නොතිබුණු අතර ඔවුන්ගේ ලිබරෝ ක්‍රීඩිකාව ද සිතූ තරම් දක්ෂතා අතරට පිවිසුණේ නැත.

කෙසේ වෙතත් ලකුණු 3-3ක්, 4-4ක් ඇදී ගියේ තරගයේ පෙරමුණ රතනපාල ක්‍රීඩිකාවන් දිනා ගත්තේ හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන්ගේ නොසැලකිල්ල නිසාවෙනි. (8-6) කෙසේ වෙතත් නැවතත් 11-13ක් ලෙස නැවතත් පෙරමුණ දිනාගත් ඔවුන් පළමු තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු 11-15ක් ලෙස ලකුණු හතරක පරතරයක් ගොඩ නගා ගැනීමට සමත් විය.

ජය පෙනෙන මානයට පැමිණි හයිඩ්‍රාමනී  ක්‍රීඩිකාවෝ 11-20ක්, 13-22ක් හා 13-25ක් ලෙස ආධුනික කාන්තා අංශයේ ජය හිමි කර ගත්තේ දිලුක්ෂිගේ අලංකාර කෙටි පන්දු ප්‍රහාරයක් සමඟිනි.

සිව්වැනි වටය: හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 25-13 රතනපාල ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු තත්වය

  • පළමු වටය : හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 25-15 රතනපාල ක්‍රීඩා සමාජය
  • දෙවන වටය : හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 22 – 25 රතනපාල ක්‍රීඩා සමාජය
  • තෙවැනි වටය හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 25-16 රතනපාල ක්‍රීඩා සමාජය
  • සිව්වැනි වටය හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 25-13 රතනපාල ක්‍රීඩා සමාජය

සම්මාන දිනාගත් ක්‍රීඩිකාවෝ

  • හොඳම පන්දු ඔසවන්නිය – සුනේත්‍රා ප්‍රියදර්ශනී (හයිඩ්‍රාමනී)
  • හොඳම ප්‍රහාරිකාව – එස්. සෙව්මිණි (රතනපාල)
  • හොඳම ක්‍රීඩිකාව – දිල්රුක්ෂි සේනාරත්න (හයිඩ්‍රාමනී)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<