සාග් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ශූරතාවලියට වරම්

441

ඉන්දුනීසියාවේ ජකර්තා හා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වීමට නියමිත 19 වැනි ආසියානු පිරිමි හා කාන්තා වොලිබෝල් ශූරතාවලිය ඉලක්ක කරගනිමින් කැදවූ ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් සංචිතයට සාග් රිදී පදක්කම දිනා ගත් වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකු හා කාන්තා කණ්ඩායමට සාග් පදක්කම් ලාභී ක්‍රීඩිකාවන් 5 දෙනෙකු ඇතුළත් කර තිබේ.

වොලිබෝල් පුහුණුකරුවන් 15 දෙනෙකුට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

2017 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති විදෙස් වොලිබෝල් තරගාවලි සඳහා ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු..

පිරිමි තරගාවලිය එළඹෙන ජුලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 01 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඉකුත් 29 වැනිදා තීරණය කලේය.

12 වන සාග් ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේ දී රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩා‍යමට නායකත්වය දැරූ ජනිත සුරත් ඇතුළු එම කණ්ඩායමට ඇතුළත් වූ ගයාන් මධුසංඛ, ප්‍රමේජ සුදසිංහ, දීප්ති රොමේෂ්, චාමර මිහිරාන් හා ෂමිල් මලින්ද යන ක්‍රීඩකයින් ‍6 දෙනා ආසියානු වොලිබෝල් පුහුණු සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් වේ. මෙවර පිරිමි වොලිබෝල් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න මහතා කටයුතු කරයි.

ආසියානු ශූරතා තරගාවලිය සඳහා කණ්ඩායම් වෙතින් අයදුම්පත් කැඳවීම සඳහා ලබා දී තිබුනු කාලය 30 වැනිදායින් අවසන් වූ අතර මේ වන විට රටවල් 21කගේ සහභාගීත්වය තහවුරු කර තිබේ.  තවද ප්‍රමාද වී පැමිණෙන අයදුම්පත් ගාස්තුවකට යටත්ව බාර ගන්නා බවත් එහෙයින් මෙවර තරගාවලියට සහභාගී වන රටවල් සංඛ්‍යාව 25ක් දක්වා වැඩි විය හැකි බවත් වාර්තා වේ. ගියවර ආසියානු ශූරතාවය ඉරානය විසින් දිනා ගත් අතර චීනය එහිදී අනුශූරයින් බවට පත්විය.

මේ වන විට ඉන්දීය ජාතික වොලිබෝල් සම්මේලනයේ අභ්‍යන්තර ආරවුල් තත්වයක් හේතුවෙන් ඔවුන් ආසියානු වොලිබෝල් සම්මේලනයේ තහනමකට ලක්ව ඇති බව වාර්තා වී තිබෙන බවත් එම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඉන්දියාවට ආසියානු තරගාවලියට මං පෙත් ඇහිරී ඇති බවත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ThePapare.com සමඟින් පවසා සිටියේය.

තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලබා ඇති ඉහළම ස්ථානය 9 වැනි ස්ථානය වන අතර මෙවර තරගාවලියේ සුපිරි අට වටය‍ට පැමිණීම එකම බලාපොරොත්තුව බව ඒ. එස්. නාලක මහතා පැවසීය.

“අපේ තේරීම් සැසියට ක්‍රීඩකයින් 48 දෙනෙකු සහභාගී වුණා. ඒ විතරක් නෙමෙයි, අපි ජුලි මාසයේ අවසන් තේරීම් සඳහා, වයස 23න් පහළ වොලිබෝල් පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයින්ටත් අවස්ථාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව ගිය වතාවේ 11 වැනි ස්ථානය ලබා ගත්තා. මෙවර අපේ අවම ඉලක්කය සුපිරි අට දෙනා අතරට එන එක. ඒකට අපි හැමෝම කැපවීමෙන් මහන්සියෙන් වැඩ කරනවා“ යැයි ඒ. එස්. නාලක මහතා ThePapare.com සමඟින් වැඩිදුරටත් සදහන් ක‍ලේය.

ඊට අමතරව ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලිය ඉලක්ක කරමින් කාන්තා ජාතික සංචිතයද මේ වන විට නම් කර  තිබෙන අතර ඒ සඳහා ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ලබන ජුලි මස 9 වැනිදා සිට 17 වැනිදා දක්වා පිලිපීනයේදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් කාන්තා ශූරතාවලියට සහභාගී වන ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කිරීමේ අරමුණෙනි.

නවක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ඇතුළත් කර ඇති මෙම කණ්ඩායමට ජාතික වොලිබෝල් කාන්තා කණ්ඩායමේ මෙතෙක් නායකත්වය දැරූ දිනේෂා ප්‍රසාදිනී ඇතුළු මීට පෙර එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් බහුතරයක් මෙම ජාතික පුහුණු සංචිතයට එක්ව තිබේ.

ලෝක වොලිබෝල් කාන්තා ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 40ක් 115වැනි ස්ථානය හිමි කරගන්නා විට ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඉන්දියාව 55 වැනි ස්ථානයේ පසුවේ. එම ශ්‍රේණිගත කිරීම් හි පිරිමි අංශයේ ශ්‍රී ලංකාව රටවල් 235කින් 77 වන තැන හිමි කරගෙන සිටියි. ඉන්දියාව එම අංශයේ පසුවන්නේ 39 වැනි ස්ථානයේයි.

ජාතික වොලිබෝල් පිරිමි සංචිතය

  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය -එස්. ඒ.  ජනිත් සුරන්, ජී. ජී ලසිඳු මෙත්මල්, ආර්. එච්. දිසානායක, අයි. ෂෙහාන් විමුක්ති,
  • ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය – එම්. ගයාන් මදුසංඛ, දීප්ති රොමේෂ්, කේ. ඒ. තරිදු ලක්මාල්, ඩබ්. දිලින සුදාරක, එම්. ඒ. කසුන් ලහිරු, එස්. පී. ඒ. එල්. පී. පතිරණ, පී. කසුන් චතුරංග, එස්. ඒ. තිලංග සංජය, එල්. ජී. චමින්ද පුෂ්පකුමාර, ඒ. ඩබ්. ලක්මාල්
  • ශ්‍රී ලංකා යුධ හමුදාව – චාමර මිහිරාන්, එච්. පී. මහේෂ් චන්ද්‍රකුමාර, ඒ. එච්. ෂමිල් මලින්ද, බී. එච්. වසන්ත ලක්මාල්, සී. එම්. සජිත් ලහිරු,
  • ශ්‍රී ලංකා නාවික හමුදාව –  ජේ. ඒ. චානක මධුසංක, එස්. එච්. නවාෆ්, ඒ. පී. වී. විරාජ්
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – ප්‍රමේෂ් ප්‍රසන්න සුදසිංහ, එම්. මලිත් දිනිඳු චාමර

ජාතික වොලිබෝල් කාන්තා සංචිතය

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – ජේ. එච්. දිනේෂා ප්‍රසාදිනී, ඒ. එල්. ඒ. අනූෂා සඳමාලි, එෆ්. ආර්. ඉරේෂා උමයංගනී, ඩබ්. රුවනි තක්ෂලා, ආර්. එම්. ඒ. ජී. චතුරිකා ගයනි රණසිංහ, අශානි චමෝදිකා ජයතුංග, ඩබ්. එම්. ජී. ජී. නඳුනි හිමංසලා
  • ශ්‍රී ලංකා යුධ හමුදාව – කේ. ජී. සී. මධුෂානි වීරසිංහ, ජේ. පී. ඒ මදුරිකා, ඩබ්. ලක්ෂිකා සේනාරත්න, එල්. ආර්. කාංචනා දිල්හානි, ඊ. එම්. සංජීවනි කරුණාරත්න, ඒ. ඉරේෂා සුරංගනී පෙරේරා, ඩබ්. ජී. කාංචනා චතුරානි
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – වයි. ජී. එන්. සංජීවනී, එච්. එච්. ඒ. දිලුෂා සංජීවනී, එච්. එම්. එස්. එම්. හේරත්
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය – ඊ. ඩී. වාසනා මධුමාලි
  • මාස් කැෂුවලයින් – ලක්ෂි ප්‍රබෝධනී
  • ශ්‍රී ලංකා පොලීසිය – පී. එම්. විරාජි චමරිකා

මැයි මස ඉරානයේ හා තායිලන්තයේ පැවැත්වීමට නියමිත වයස 23න් පහළ පිරිමි හා කාන්තා ආසියානු ශූරතා සඳහා මේ වන විට සංචිත තෝරා ගෙන ඇති අතර අදාළ තරගාවලි සඳහා එක් එක් සංචිතයන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනා බැගින් තෝරා ගෙන තරගාවලියට යොමු කිරීම‍ට නියමිත බව ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ ලේක්ම් ඒ. එස්. නාලක මහතා ThePapare.com සමඟින් වැඩිදුරටත් පවසා සිටියේය.

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොල්බෝල් පිටුවට