හසිනි සහ රංග බීච් වොලිබෝල් කණ්ඩායම සමඟ තායිලන්තයට

314

ආසියානු වොලිබෝල් සම්මේලනය මඟින් ප්‍රථම වරට පවත්වනු ලබන වයස අවුරුදු 21න් පහළ ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය, එළඹෙන මාර්තු මස 02 වැනිදා සිට මාර්තු 04 වැනිදා දක්වා තායිලන්තයේ “රොසිට්” නුවර දී පැවැත්වේ.

ආසියානු බීච් වොලිබෝල් තරගාවලියට යන සංචිත නම් කෙරේ

ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන, වයස අවුරුදු 21න් පහළ ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය සඳහා කාන්තා හා පිරිමි යන අංශ දෙකෙන්ම කණ්ඩායම් සහභාගී කරවීමට ශ්‍රී ලංකා…

රටවල් 14ක් සහභාගී වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන කාන්තා සහ පිරිමි කණ්ඩායම් ලබන 26 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සඳහන් කරන්නේ වයස 23න් පහළ හා ජාතික (විවෘත) බීච් වොලිබෝල් කණ්ඩාය‍ම් ඉදිරියේ දී ස්ථාපිත කිරීමේ දී මෙම තරගමාලාව වඩාත් වැදගත් එකක් වනු ඇති බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 34 දෙනෙකුගෙන් සමන්විත වූ සංචිතයකින් අවසන් කණ්ඩායම් තෝරා පත් කරගෙන තිබෙන අතර එම තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විට හෙයියන්තුඩුව තරුණසේවා වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික පුහුණුවීම් වල නිරත වේ.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක රංග ප්‍රභාත් මීට පෙර ජාත්‍යන්තර පාසල් වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගී වී අත්දැකීම් ලබා ඇති ක්‍රීඩකයෙකු වන අතර අනෙකුත් සියලුම ක්‍රීඩකයින් නවකයන් වේ.

පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස එම්. ඒ. මහේෂ් පෙරේරා මහතා කටයුතු කරන අතර එම කණ්ඩායම පහත පරිදි වේ.

පිරිමි කණ්ඩායම

  1. ඩී. කේ. රංග ප්‍රභාත්
  2. ජේ. එල්. අශේන් රෂ්මික
  3. තරිදු මධුසංඛ
  4. පි. ජී. මිහිරංග උදයකුමාර

2018 ආසියානු තරගාවලියේ රන් පදක්කමක් ලබා ගැනීමට හැකි මට්ටමට කණ්ඩායම සැකසීම තම එකම බලාපොරොත්තුව බව පිරිමි කණ්ඩායමේ පුහුණුකරු එම්.ඒ. මහේෂ් පෙරේරා මහතා ThePapare.com සමඟින් පවසා සිටියේය.

“මට මේ කණ්ඩායම ලැබුණේ දැනට මාස කිහිපයකට කලින්. එත් ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ මානසික මට්ටම හැමදේම වගේ මට පුළුවන් උපරිමයෙන් හදලා තියෙනවා. මේ සියලුම ක්‍රීඩකයින් නවකයින්. ඉතින් මගේ එකම අරමුණ 2018 ආසියානු තරගාවලියේ දී රන් පදක්කමක් ලබා ගත හැකි මට්ටමේ කණ්ඩායමක් පිරිසක් බිහි කිරීම” යැයි ඔහු පැවසීය.

“මෙම තරගාවලිය අපේ ක්‍රීඩිකාවන්ට ලැබෙන හොඳ අවස්ථාවක්. හොඳ කණ්ඩායමක් ඉන්නවා ඒත් අත්දැකීම් අඩුකම නිසා අපිට අවධානමක් තියෙනවා. මේ තරගාවලිය සුදුසුකම් ලැබීමේ තරගයක් නිසා මම හිතනවා අපේ ක්‍රීඩිකාවන් මෙය අවස්ථාවක් කර ගනීවි ඔවුන්ගේ අත්දැකීම් වැඩි කර ගන්න හා අඩුපාඩු හදා ගන්න. අපට මේ ක්‍රීඩිකාවන් පුහුණු කරන්න තව වැඩිපුර කාලයක් ලැබුණා නම් හොඳයි” යැයි කාන්තා කණ්ඩායමේ පුහුණුකරු සජිත් නන්දසිරි මහතා ThePapare.com සමඟින් පවසා සිටියේය.

සහභාගී වන කාන්තා කණ්ඩායම.

කාන්තා කණ්ඩායම

  1. එම්. එච්. හෂිනි මල්ෂා ප්‍රියමාලි
  2. ඒ. තාරකි නෙළුම් ප්‍රියදශනි
  3. ඩබ්. ෂෙහානි අසංගා
  4. ඩබ්. රමේෂා මධුෂානි පීරිස්

මේ වස‍රේ සිට ජාතික පාසල් ක්‍රීඩා උළෙලට වෙරළ වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වා දී තිබෙන හෙයින් මේ වන විට ශ්‍රී ලංකාවේ බීච් වොලිබෝල් ක්‍රීඩාවට ඉහළ වටිනාකමක් හිමිවී ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ThePapare.com සමඟින් පැවසීය.

මෙම තරගාවලියේදී කණ්ඩායම් දෙකෙහිම කළමනාකරු ලෙස ධනපාල ජයපත්ම මහතා කටයුතු කරන අතර විනිසුරුවරයෙකු ලෙස ජානක බටුගහගේ මහතා සංචාරයට එක් වී තිබේ.

“අවුරුදු 21න් පහල ලෝක ශූරතා තරගයට ආසියානු කලාපයෙන් කණ්ඩායම් තෝරා ගැනීමේ තේරීම් තරයක් ලෙස මෙම තරගාවලිය හදුන්වන්න පුළුවන්. ඒ සඳහා ආසියාවෙන් කණ්ඩායම් 5ක් තෝර ගන්නවා. අපේ බලාපොරොත්තුව ඒ කණ්ඩායම් 5ට ඇතුළත් වීම” යැයි කණ්ඩායම් කළමනාකරු ධනපාල ජයපත්ම මහතා අප සමඟින් පැවසීය.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට