කොමර්ෂල් ක්‍රෙඩිට් හා MAS යුනිචෙලා අවසන් තරඟයට

672
MAS Unichela and Commercial credit qualify for MCA T20 finals

වෙළෙඳ සේවා 20-20 ක්‍රිකට් තරගාවලිය පසුගිය 26 වනදා ආරම්භ වූ අතර, එදින පැවැත්වූ මූලික තරඟ වලින් ජයග්‍රහණය කල කණ්ඩායම් අද (28) කටුනායක වෙළෙඳ පිටියේදී අවසන් පූර්ව තරඟය සඳහා සහභාගී විය. මෙම තරඟ වලින් MAS යුනිචෙලා හා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් තරගයේ අසුන් වෙන්කර ගන්නා ලදි.

පසුගිය ලිපි: ඩිමෝ කණ්ඩායමට කඩුලු 4ක තියුනු ජයක්

MAS යුනිචෙලා කණ්ඩායම හා සම්පත් බැංකු කණ්ඩායම අතර තරඟය

අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල සම්පත් බැංකු කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා MAS යුනිචෙලා කණ්ඩායමට අවස්ථාව ලබා දෙන ලදී.

සම්පත් බැංකු කණ්ඩායමේ ඇරයුමින් පිටියට පැමිණි MAS කණ්ඩායමේ ලකුණු පුවරුව, දැවැන්ත ලකුණකට ගෙන යාම වෙනුවෙන් චාමර සිල්වා නොදැවී ලකුණු 59*ක් ලබා ගනිමින් සුපිරි පිතිකරණයක නිරත වන ලදි.

ඔහුට සහය ලබා දෙමින්  තිලකරත්න ඩිල්ශාන්, මහේල උඩවත්ත යන MAS යුනිචෙලා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් දෙදෙනා පිලිවෙලින් ලකුණු 36ක් හා ලකුණු 26ක් සම්පත් බැංකු කණ්ඩායමේ පන්දු යවන්නන්ට එදිරිව ලබා ගන්නා ලදි.

MAS යුනිචෙලා කණ්ඩායම – 194/08 (20): චාමර සිල්වා 59*, තිලකරත්න ඩිල්ශාන් 36, මහේල උඩවත්ත 26, තිලක්ෂ සුමනසිරි 21, සචිත්‍ර පෙරේරා 3/17, හසන්ත ප්‍රනාන්දු 2/24

MAS කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල ලබා ගත් ලකුණු 194ට පිළිතුරු ලෙස තම පිතිකරණය දියත් කිරීමට පිටියට පිවිසි සම්පත් බැංකු කණ්ඩායම වෙනුවෙන්, රුමේෂ් බුද්ධික පමණක් ලකුණු 41ක් ලබා ගෙන ප්‍රතිවාදීන්ට තරඟයක් දිය හැකි මට්ටමකට කණ්ඩායම ගෙන ඒමට සමත් විය. නමුත් එම උත්සාහය සාර්ථක කරගැනීමට MAS කණ්ඩායමේ චතුර පීරිස් ඇතුළු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

සම්පත් බැංකු කණ්ඩායම – 175/09 (20): රුමේෂ් බුද්ධික 41, දිනුක වික්‍රමනායක 37, හසන්ත ප්‍රනාන්දු 28, චතුර පීරිස් 3/13, දුනිල් අබේදීර 2/28, ලහිරු ජයරත්න 2/34

MAS යුනිචෙලා කණ්ඩායමට ලකුණු 19ක ජයග්‍රහණයක්


ඩිමෝ කණ්ඩායම හා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම අතර තරඟය

පළමු අවසන් පූර්ව තරඟය අවසන් වීම‍ෙන් අනතුරුව දෙවන අවසන් පූර්ව තරඟය වෙළෙඳ පිටියේදී ආරම්භ වූ අතර මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

පළමුව පිතිකරණය සඳහා අවස්ථාව උදා වූ ඩිමෝ කණ්ඩායම වෙනුවෙන්, හශාන් දුමිදු විශිෂ්ට පිතිකරණයක නිරත විණි. ඔහු මනරම් පහර රැසක් සමඟින් ලකුණු 82ක් ලබා ගෙන ඉණිමේ මෙන්ම, මෙම තරගයේ ද වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඔහුට අනගි සහයක් ලබා දෙමින් පිතිකරණයේ නිරත වුනු නිපුන් කරුණානායක ලකුණු 33කට දවාලීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පන්දු යවන්නන් සමත් විය. අවසානයේ ඩිමෝ කණ්ඩායම ලකුණු 172ක් දක්වා තම ලකුණු පුවරුව ඔසවා තබා ගන්නා ලදි.

ඩිමෝ කණ්ඩායම – 172/07 (20): හශාන් දුමිදු 82, නිපුන් කරුණානායක 33, මලින්ද පුශ්පකුමාර 2/16, අශාන් ප්‍රියන්ජන 2/21, ලහිරු මදුසංක 2/29

හශාන් දුමිදුගේ පිතිකරණයට නොදෙවෙනි ඉණිමක් දියත් කරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට අශාන් ප්‍රියන්ජන සමත් වූ අතර, ඔහු අවසන් පන්දු 10 තුල සුපිරි හා වේගවත් පිතිකරණයක නිරත වෙමින් තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම වෙතට නම්මා ගැනීමට සමත් විය. ඔහු නොදැවී ලකුණු 65*ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්නා ලදි. චාමර කපුගෙදර ද ලකුණු 40ක් වාර්තා කරන ලදි.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම – 175/06 (19.4): අශාන් ප්‍රියන්ජන 65*, චාමර කපුගෙදර 40, මලින්ද පුශ්පකුමාර 32, රමේශ් මෙන්ඩිස් 2/34

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක්

මෙම තරගාවලියේ අවසන් මහා තරඟය MAS යුනිචෙලා කණ්ඩායම හා  කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම අතර ලබන 30 වන ඉරිදා උදෑසන කටුනායක වෙළෙඳ සංගම් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට