වර්ෂාවේ කෙණෙහිලිකම් මැද කණ්ඩායම් 4ක් අර්ධ අවසන් පූර්ව වටයට

938

25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් තෝරා ගැනීම සඳහා පැවැත්වුණු පිළිමළුන් පිටු දැකීමේ තරග 4ක් ඊයේ දිනයේ දී (19) ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් වරින්වර ඇද හැලුණු වර්ෂාව නිසා ඉන් තරග තුනක්ම නිමාවට පත්වූයේ ප්‍රතිඵලයක් රහිතවයි. කෙසේ වෙතත් පෙර දක්ෂතා අනුව අර්ධ අවසන් පූර්ව වටයේ අසුන් වෙන්කර ගැනීමට ටීජේ ලංකා, HNB, කැන්රිච් ෆිනෑන්ස් සහ LB ෆිනෑන්ස් යන කණ්ඩායම් සමත් වූහ.

පාකිස්තානු නවකයින් දෙදෙනෙක් පළපුරුදු ශ්‍රී ලංකාවට බැටදෙයි!

තරග 100කටත් වඩා අත්දැකීම් ඇති ක්‍රීඩකයින් රැසක් පිරිවරාගත් ශ්‍රී ලංකා පිළ අසරණ කරමින්…

සම්පත් බැංකුව සහ ටීජේ ලංකා සමාගම අතර තරගය

කොළඹ BRC පිටියේ දී පැවති මෙම තරගය නිමාවට පත්වූයේ ප්‍රතිඵලයක් රහිතවයි. ඒ දෙවනුවට පන්දුවට පහර දුන් ටීජේ ලංකා සමාගමට අවම වශයෙන් පන්දුවාර 20ක්වත් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණු බැවිනි. කෙසේ වෙතත් ලීග් අදියරේ දී දැක්වූ දක්ෂතා අනුව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ ටීජේ ලංකා සමාගමට හැකි විය.

කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දු යැවීම තෝරාගත් ටීජේ ලංකා සමාගමට එරෙහිව කඩුලු 8ක් දැවී ලකුණු 252ක් ලබා ගැනීමට සම්පත් බැංකුවට හැකි විය. ඒ පන්දුවාර 42ක් තුලදීයි. ඊයේ දිනයේ කොළඹට ඇද හැලුණු වර්ෂාව නිසා සම්පත් බැංකුවටත් පන්දුවාර 50ම ක්‍රීඩා කිරීමට හැකි නොවීය. එහි දී රුමේෂ් බුද්ධික අර්ධ ශතකයක් වාර්තා කර ගත් අතර ලක්ෂාන් සඳකැන් සහ කසුන් මදුසංක කඩුලු ද්විත්වය බැගින් දවා ගත් ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීජේ ලංකා සමාගම කඩුලු 2කට ලකුණු 102ක් ලබා සිටිය දී නැවත වරක් වර්ෂාව ඇද හැලීම නිසා තරගය අත්හැර දමන්නට තරග තීරකවරයාට සිදු විය. ඒ වන විටත් ටීජේ ලංකා සමාගම ක්‍රීඩා කර තිබුණේ පන්දුවාර 18ක් පමණක් වන නිසා ඩක්වර්ත් – ලුවිස් න්‍යාය ද භාවිතා කිරීමට හැකි නොවීය. පිතිකරණයේ දී තිසර ගිම්හාන සහ කිත්රුවන් විතානගේ ලකුණු 34 බැගින් රැස් කර ගත් අතර හසන්ත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලීය.

සම්පත් බැංකුව – කඩුලු 8ක් දැවී ලකුණු 252 (පන්දුවාර 42): රුමේෂ් බුද්ධික 70, අවිශ්ක ප්‍රනාන්දු 26, දිනුක් වික්‍රමනායක 26, ලක්ෂාන් සඳකැන් 2/49, කසුන් මදුසංක 2/17.

ටීජේ ලංකා සමාගම – කඩුලු 2ක් දැවී ලකුණු 102 (පන්දුවාර 18): තිසර ගිම්හාන 34*, කිත්රුවන් විතානගේ 34, ඩිලන් ජයලාල් 29, හසන්ත ප්‍රනාන්දු 2/08.

කමිඳු තවත් ශතකයකට; ලුම්බිණි විද්‍යාලයට සුපිරි ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් අද දින (17)…


ඩිමෝ සමාගම සහ හැටන් නැෂනල් බැංකුව අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයට ද ඊයේ වර්ෂාවෙන් බාධා සිදු විය. ඒ අනුව අවසන් තීරණයක් රහිත වූ තරගයෙන් අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනාගත් HNB කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පිතිකරණයේ යෙදුණු ඩිමෝ සමාගම, කඩුලු 8ක් දැවී ලකුණු 188ක් රැස්කර ගැනීමට සමත් විය. එහි දී අශාන් දිනිඳුගෙන් අර්ධ ශතකයක් වාර්තා වූ අතර බුද්ධි පෙරේරා සහ සජීව වීරකෝන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු හඹා යාමට පිටියට පිවිසි HNB කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා සිටිය දී නැවතත් වර්ෂාව ආරම්භ වීම නිසා තරගය නැවතත් ක්‍රියාත්මක කිරීමට හැකි නොවීය. වැසි ඇද වැටෙන විට HNB කණ්ඩායම පන්දුවාර 19ක් පමණක් ක්‍රීඩා කර තිබූ නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය ද භාවිතා කිරීමට හැකියාවක් නොවීය. හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් රවිඳු නිර්මාල් ලකුණු 35ක් වාර්තා කරද්දී ප්‍රමෝද් හෙට්ටියාවත්ත කඩුලු 2ක් බිඳ දැමීය.

ඩිමෝ සමාගම – කඩුලු 8ක් දැවී ලකුණු 188 (පන්දුවාර 38): අශාන් දිනිඳු 66, නිපුන් කරුණානායක 25, බුද්ධි පෙරේරා 2/28, සජීව වීරකෝන් 2/38.

හැටන් නැෂනල් බැංකුව (A) – කඩුලු 5ක් දැවී ලකුණු 103 (පන්දුවාර 19): රවිඳු නිර්මාල් 35, සමීර සොයිසා 32, ප්‍රමෝද් හෙට්ටියාවත්ත 2/31.

යොවුන් තරුවක් ශ්‍රී ලංකා එක්දින සංචිතයට

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා එක්දින සංචිතයට…


හේලීස් සමාගම සහ LB ෆිනෑන්ස් සමාගම අතර තරගය

කොළඹ වෙළඳ සංගම් පිටියේ දී පැවති මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා සිදු විය. ඒ අනුව ප්‍රතිඵලයක් රහිතව නිමා වූ මෙම තරගයෙන් ඉදිරියට ගමන් කළේ LB ෆිනෑන්ස් සමාගමයි.

කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පිත්ත අතට ගත් හේලීස් ක්‍රීඩකයින්ට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි. එහි දී චරිත් සුදාරක ලකුණු 39කට කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි දක්ෂතා දැක්වූ අතර ඇන්ජෙලෝ පෙරේරා සහ රජීව වීරසිංහ කඩුලු 2 බැගින් දවා ගනිමින් ඔහුට සහාය විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ LB ෆිනෑන්ස් සමාගම කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 113ක් ලබාගෙන ජයග්‍රහණයට එක් ලකුණක් මෙපිටින් සිටිය දී වර්ෂාව ඇද වැටීම නිසා නැවතත් තරගය ආරම්භ කිරීමට හැකි නොවීය. ඒ වෙද්දී ක්‍රීඩා කර තිබුණේ පන්දුවාර 14ක් පමණක් වන නිසා තරගය අවසන් වූයේ ප්‍රතිඵලයකින් තොරවයි. කෙසේ වෙතත් මෙම තරගයේ දී ද වැඩි දක්ෂතා දැක්වූ LB ෆිනෑන්ස් සමාගමට තරගාවලියේ ඉදිරියට යාමට හැකි විය. ඒ වෙනුවෙන් ඉසුරු උදාන ලකුණු 80ක් රැස්කර ගනිමින් පිත්තෙන් විස්මිත දස්කම් දැක්වීය.

හේලීස් සමාගම – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 26.2): ලිසුල ලක්ෂාන් 26, චානක රුවන්සිරි 21, චරිත් සුදාරක 4/39, ඇන්ජෙලෝ පෙරේරා 3/20, රජීව වීරසිංහ 2/20.

LB ෆිනෑන්ස් – කඩුලු 3ක් දැවී ලකුණු 113 (පන්දුවාර 14): ඉසුරු උදාන 80.


කැන්රිච් ෆිනෑන්ස් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම අතර තරගය

ඊයේ දිනයේ ප්‍රතිඵලයක් සහිතව නිමාවුණු එකම තරගය වූ මෙයින් ජය ගැනීමට සමත් වූයේ තරගාවලිය පුරා බාධක රැසක් මැද තරග වැදුණු කැන්රිච් ෆිනෑන්ස් සමාගමයි. ඒ අනුව ඔවුන් මේ වන විට අර්ධ අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා අවසන්ය. තරගය කොළඹින් පිටත මොරටු පුරවරයේ, ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය.

කාසියේ වාසිය ජය ගත් කැන්රිච් ෆිනෑන්ස් සමාගම මුලින් පිතිකරණයේ යෙදීමට ජෝන් කීල්ස් සමාගමට ඇරයුම් කරමින් ඔවුන්ව ලකුණු 157කට දවා ගැනීමට සමත් වූහ. ඒ පන්දුවාර 36යි එක් පන්දුවක් තුල දීයි. එහි දී දිමුත් කරුණාරත්න සහ භානුක රාජපක්ෂ පමණක් ලකුණු 30ට වැඩියෙන් රැස් කර ගත් අතර මුතුමුදලිගේ පුෂ්පකුමාර කඩුලු 4ක් බිඳ හෙලමින් දස්කම් දැක්වීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්රිච් ෆිනෑන්ස් සමාගම පන්දුවාර 33යි පන්දු 3ක් අවසානයේ ලකුණු 153ක් ලබමින් තරගය ජය ගත්තේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රාහී ඉලක්කය තරමක් පසු පසට පැමිණ තිබීම හේතුවෙනි. ඒ අනුව කැන්රිච් ෆිනෑන්ස් සමාගමට මෙම තරගයෙන් කඩුලු 6ක ජයක් හිමි විය. පිතිකරණයේ දී ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 62ක් රැස්කර ගනිමින් කැන්රිච් කණ්ඩායමට ජය මාවත පෙන්වූ අතර මදූක ලියනපතිරණ කඩුලු 3ක් දවා ගනිමින් එම ජයග්‍රහණය උදුරා ගැනීමට උත්සාහ දැරීය.

ජෝන් කීල්ස් සමාගම (A) – සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 36.1): දිමුත් කරුණාරත්න 36, භානුක රාජපක්ෂ 31, මුතුමුදලිගේ පුෂ්පකුමාර 4/10, රොෂාන් අනුරුද්ධ 2/16, කවිඳු කුලසේකර 2/32.

කැන්රිච් ෆිනෑන්ස් (A) – කඩුලු 4ක් දැවී ලකුණු 153 (පන්දුවාර 33.3): ඕෂද ප්‍රනාන්දු 62*, කසුන් විදුර 24, පැතුම් නිස්සංක 23, මදූක ලියනපතිරණ 3/23.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැකැස්ම

  • හැටන් නැෂනල් බැංකුව සහ LB ෆිනෑන්ස් සමාගම අතර තරගය – ඔක්තෝබර් 22 – කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ටීජේ ලංකා සමාගම සහ කැන්රිච් ෆිනෑන්ස් සමාගම අතර තරගය – ඔක්තෝබර් 22 – වෙළඳ සංගම් ක්‍රීඩාංගණයේ දී

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<