දසුන්ගේ ශතකයත්, දුවිඳුගේ පන්දුවත් දිනය වර්ණවත් කරයි!

648

සිංගර් අනුග්‍රහයෙන් 25 වැනි වරටත් පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 5ක් ඊයේ (23) දිනයේ ක්‍රියාත්මක විය. එහි දී ටීජේ ලංකා, ජෝන් කීල්ස්, MAS යුනිචෙලා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ සම්පත් බැංකු කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර ගත්හ.

තරග සියල්ල අතුරින් සුපිරිම ඉනිම ප්‍රවේගකාරී මැදපෙළ පිතිකරු දසුන් ශානක ක්‍රීඩා කළ අතර පන්දුවෙන් දැක්වූ ඉහළම දස්කම් යොවුන් ක්‍රීඩක දුවිඳු තිලකරත්නගෙන් ප්‍රකට විය.

MAS සිලුඑ්ටා තව දුරටත් අපරාජිතව ඉදිරියට

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” කුසලාන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ තව දුරටත් අපරාජිත බව…

ටීජේ ලංකා සමාගම සහ LB ෆිනෑන්ස් සමාගම අතර තරගය

කොළඹ වෙළඳසේවා පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගය අවසන් වූයේ ටීජේ ලංකා සමාගමට කඩුලු 7ක පහසු ජයක් හිමි කර දෙමිනි.

කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව LB ෆිනෑන්ස් කණ්ඩායමට ලබා දුන් ඔවුන් ලකුණු 140ක් තුල දී සියලුම කඩුලු දවා ගැනීමට සමත් විය. එහි දී ලහිරු උදාර පමණක් ලකුණු 68ක් රැස් කර ගත් අතර උපුල් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීජේ ලංකා සමාගම පන්දුවාර 22යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 146ක් ලබාගෙන ජය කණුව කරා ළඟාවිය. එහි දී ඩිලන් ජයලත් නොදැවුණු ලකුණු 62ක ඉනිමක් ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා ජාතික යොවුන් පිළේ හිටපු නායක චරිත් අසලංක ලකුණු 44ක් රැස්කළේය.

LB ෆිනෑන්ස් – සියල්ලන්ම දැවී ලකුණු 140 (පන්දුවාර 29.3): ලහිරු උදාර 68, උපුල් බණ්ඩාර 3/29, ජෙෆ්රි වැන්ඩර්සේ 3/33.

ටීජේ ලංකා සමාගම – කඩුලු 3ක් දැවී ලකුණු 146 (පන්දුවාර 22.3): ඩිලන් ජයලත් 62*, චරිත් අසලංක 44, ඇන්ජෙලෝ පෙරේරා 2/16.


ජෝන් කීල්ස් සමාගම සහ ඩිමෝ සමාගම අතර තරගය

ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 8ක ඉතාමත් පහසු ජයක් අත්වූ මෙම තරගයත් ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ තවත් අඩු ලකුණු වාර්තා වූ තරගයක් බවට පත්විය. එහි දී කාසියේ වාසිය දිනාගත් ජෝන් කීල්ස් ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් ඩිමෝ ක්‍රීඩකයින් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 95ක් පමණි. එහි දී මදූක ලියනපතිරණගේ ලකුණු 9කට කඩුලු 4ක් බිඳ හෙලමින් සුවිශේෂී දස්කම් දැක්වීය. ජෝන් කීල්ස් සමාගම මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා වැය කළේ පන්දුවාර 14යි එක් පන්දුවක් පමණි. තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී ක්‍රියාත්මක විය.

ඩිමෝ – සියල්ලන්ම දැවී ලකුණු 95 (පන්දුවාර 34): ලසිත් අබේරත්න 24, භානුක රාජපක්ෂ 2/10, විකුම් සංජය 2/40, චාමික එදිරිසිංහ 2/10, මදූක ලියනපතිරණගේ 4/09.

ජෝන් කීල්ස් සමාගම – කඩුලු 2ක් දැවී ලකුණු 97 (පන්දුවාර 14.1): ලසිත් ලක්ෂාන් 37*, සඳුන් වීරක්කොඩි 37.


MAS යුනිචෙලා සහ හැටන් නැෂනල් බැංකුව අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගය සම්පූර්ණයෙන්ම තම අණසක යටතට ගත් MAS යුනිචෙලා කණ්ඩායම ප්‍රතිවාදී හැටන් නැෂනල් බැංකුව ලකුණු 76කට සීමා කිරීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ද ඔවුන් විසිනි. හැටන් නැෂනල් පිතිකරුවන් අන්ත අසරණ කළ දුවිඳු තිලකරත්න ලකුණු 26කට කඩුලු 6ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීය. ඔහු මීට පෙර පැවති වෙළඳ සේවා තරගයක දී ද මේ අයුරින්ම කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. MAS යුනිචෙලා ක්‍රීඩකයින් පන්දුවාර 10ක් ගතවීමටත් පෙර අදාළ ඉලක්කය සපුරා ගත්හ. ඒ කඩුලු 8ක ජයක් වාර්තා කරමිනි.

හැටන් නැෂනල් බැංකුව – සියල්ලන්ම දැවී ලකුණු 76 (පන්දුවාර 27.2): නවිඳු නිර්මාල් 19, දුවිඳු තිලකරත්න 6/20.

MAS යුනිචෙලා – කඩුලු 2ක් දැවී ලකුණු 78 (පන්දුවාර 8.3): ටී. එම්. ඩිල්ශාන් 35*, රමිත් රඹුක්වැල්ල 33.


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ හේලීස් සමාගම අතර තරගය

හේලීස් කණ්ඩායමේ ඇරයුමින් පිත්ත අතට ගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයින් මෙම තරගයේ දී සුපිරි දක්ෂතා අතරට පිවිසෙමින් ලකුණු 112ක දැවැන්ත ජයක් තහවුරු කර ගත්හ. ඩිල්ශාන් මුණවීරගේ ලකුණු 90න් බල ගැන්වුණු කොමර්ෂල් ක්‍රෙඩිට් ඉනිම ලකුණු 325ක් දක්වා ඇදී ගිය අතර ජෙහාන් මුබාරක් (77), සහ අශාන් ප්‍රියන්ජන් ද එහි දී වැඩි දස්කම් දැක්වීය. ලකුණු 326ක ඉලක්කයක් හඹාගිය හේලීස් පිතිකරුවන් ලකුණු 213කට දවාගෙන තරග ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සුරාජ් රන්දිව්ගේ පන්දු යැවීම උපකාරී විය. රන්දිව් ලකුණු 31ට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීය.

කොමර්ෂල් ක්‍රෙඩිට් – සියල්ලන්ම දැවී ලකුණු 325 (පන්දුවාර 50): ඩිල්ශාන් මුණවීර 90, ජෙහාන් මුබාරක් 77, අශාන් ප්‍රියන්ජන් 71, ඉමේශ් උදයංග 20, සචිත්‍ර සේරසිංහ 2/74, චානක රුවන්සිරි 2/61

හේලීස් සමාගම – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 45.4): සචිත්‍ර සේරසිංහ 56, ඇන්ඩි සොලමන් 36, මධුරංග සොයිසා 33, හර්ෂ රාජපක්ෂ 33, චානක රුවන්සිරි 33, සුරාජ් රන්දිව් 4/31, ඉමේෂ් උදයංග 2/49.


සම්පත් බැංකුව සහ කැන්රිච් ෆිනෑන්ස් සමාගම අතර තරගය

සම්පත් බැංකුව මෙම තරගයෙන් ලකුණු 51ක ජයක් හිමි කර ගැනීම නිසා කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට තවත් තරග පරාජයක අමිහිරි වේදනාව විඳ ගැනීමට සිදු විය. කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සම්පත් බැංකුව කඩුලු 9ක් දැවී ලකුණු 280ක් රැස්කර ගැනීමට සමත් විය.

එහි දී ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසින් නම් දරා සිටින දසුන් ශානක ලකුණු 107ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේය. රොමේෂ් බුද්ධික ලකුණු 54යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම ලකුණු 229ක් තුල දී දැවී ගියේය. එහිදී කසුන් විදුර ලකුණු 67ක් වාර්තා කර ගනිද්දී තරිඳු කෞෂාල් කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

සම්පත් බැංකුව – කඩුලු 9ක් දැවී ලකුණු 280 (පන්දුවාර 50): දසුන් ශානක 107, රොමේෂ් බුද්ධික 54, අවිශ්ක ප්‍රනාන්දු 47, සාරංග රාජගුරු 3/49, ප්‍රමෝද් මධුශාන් 2/68, කසින් විදුර 2/41.

කැන්රිච් ෆිනෑන්ස් – සියල්ලන්ම දැවී ලකුණු 229 (පන්දුවාර 48): කසුන් විදුර 67, කවිඳු කුලසේකර 64, අලංකාර අසංක 24, තරිඳු කෞෂාල් 3/38, කසුන් රාජිත 2/43.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට