MAS යුනිචෙලා දිනවන්නට මහේල උඩවත්තගෙන් ශතකයක්!

446

දිනෙන් දිනම උණුසුම් වන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද (20) ක්‍රියාත්මක වූ තරග 5 දී ජයග්‍රහණ වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකුව, ජෝන් කීල්ස්, මාස් යුනිචෙලා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ LB ෆිනෑන්ස් යන කණ්ඩායම් සමත් විය. එහි දී දිනයේ වාර්තා වූ එකම ශතකය මුල්පෙළ පිතිකරු මහේල උඩවත්ත ලබාගත් අතර ඒ හේතුවෙන් තවත් සුපිරි ජයග්‍රහණයක පහස විඳ ගැනීමට MAS යුනිචෙලා කණ්ඩායමට හැකි විය.

දෙනුවන් හා කොශාන් ගෙන් ශතක ද්විත්වයක්

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තියුණු තරග කිහිපයක්ම අද (20) ක්‍රියාත්මක විය.

MAS යුනිචෙලා කණ්ඩායම සහ සම්පත් බැංකුව අතර තරගය

මෙවර වෙළඳසේවා තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ කණ්ඩායම් දෙකක් අතර පැවති මෙම තරගය අවසානයේ ජය ගත්තේ MAS යුනිචෙලා කණ්ඩායමයි. ඒ ලකුණු 136ක් තරම් දැවැන්ත පරතරයකිනි.

කාසියේ වාසිය දිනාගත් MAS යුනිචෙලා පිළ තම පිතිකරණ ගැඹුර ගැන දැඩි විශ්වාසයක් තබමින් මුලින් පිත්ත අතට ගත් අතර කඩුලු 9ක් දැවී ලකුණු 267ක් රැස්කර ගන්නට ඔවුන්ට හැකි විය. එහි දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ වමත් ප්‍රවේගකාරී පිතිකරු මහේල උඩවත්ත ශතකයක් රැස් කරමින් MAS යුනිචෙලා ඉනිමේ ප්‍රධාන බල කණුව බවට පත්විය. ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගිය ද තම නිසඟ හැකියාවන් හීන නොවූ ටී. එම්. ඩිල්ශාන් අදත් අර්ධ ශතකයක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ජාතික පිළේ වර්ණ දරන දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ලකුණු 34කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වීය. තරිඳු කෞෂාල් කඩුලු 2යි. ඒ අනුව ලකුණු 268ක ඉලක්කයක් හඹාගිය සම්පත් බැංකුව අද ලකුණු 131කට සීමා කිරීමට යුනිචෙලා ක්‍රීඩකයින්ට හැකි විය. එහි දී ශෙහාන් මධුශංක කඩුලු 3ක් බිඳ හෙලූ අතර චතුරංග ද සිල්වා සහ දුවිඳු තිලකරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. සම්පත් බැංකුව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළේ, පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන තරිඳු කෞෂාල් විසිනි. ඔහු ලකුණු 48කින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නැංවීය. තරගය පැවැත්වුණේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේදීයි.

MAS යුනිචෙලා – කඩුලු 9ක් දැවී ලකුණු 267 (පන්දුවාර 50): මහේල උඩවත්ත 101, ටී. එම්. ඩිල්ශාන් 51, කසුන් රාජිත 4/34, තරිඳු කෞෂාල් 2/50.

සම්පත් බැංකුව – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 32.5): තරිඳු කෞෂාල් 48, රොමේෂ් බුද්ධික 33, ශෙහාන් මධුශංක 3/23, චතුරංග ද සිල්වා 2/15, දුවිඳු තිලකරත්න 2/15.


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ කැන්රිච් ෆිනෑන්ස් අතර තරගය

මෙවර තරගාවලිය පුරාවට තවමත් ජයග්‍රාහී රිද්මය සොයා ගැනීමට අපොහොසත්ව සිටින කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට තවත් දරුණු පරාජයක් හිමිවුණු මෙම තරගය ක්‍රියාත්මක වූයේ කොළඹ MCA පිටියේ දීයි. එහි දී කාසියේ වාසිය දිනාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇරයුමින් පිටියට පිවිසි කැන්රිච් පිතිකරුවන් ලකුණු 153කට සීමා විය. ඒ පන්දුවාර 40ක් තුල දීයි. කණ්ඩායම වෙනුවෙන් එකම අර්ධ ශතකය කවිඳු කුලසේකර වාර්තා කරද්දී ලහිරු මදුසංක ලකුණු 13කට කඩුලු 3ක් බිඳ හෙලමින් වැඩි දක්ෂතා දැක්වීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොමර්ෂල් ක්‍රෙඩිට් පිළ පන්දුවාර 22ක් තුල දී කඩුලු 5ක් පමණක් දැවී ඉතාමත් පහසුවෙන් අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් විය. එහි දී කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමින් ලකුණු 63ක නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළේ මේ දිනවල සුපිරි රිද්මයක පසුවන වනිඳු හසරංගයි. මීට අමතරව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරග වල නායකත්වය උසුලන උපුල් තරංග ලකුණු 38ක් රැස්කර ගත්තේය.

කැන්රිච් ෆිනෑන්ස් – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 40.2): කවිඳු කුලසේකර 54, අලංකාර අසංක 24, ලහිරු මදුසංක 3/13, වනිඳු හසරංග 2/26, අසිත ප්‍රනාන්දු 2/27.

කොමර්ෂල් ක්‍රෙඩිට් – කඩුලු 5ක් දැවී ලකුණු 154 (පන්දුවාර 22.1): වනිඳු හසරංග 63*, උපුල් තරංග 38, ඉමේෂ් උදයංග 29, ප්‍රමෝද් මධුෂාන් 3/30.


හැටන් නැෂනල් බැංකුව සහ ටීජේ ලංකා සමාගම අතර තරගය

කලක් ශ්‍රී ලංකාවේ පැවති ටෙස්ට් තරගාවලිවල දී අනිවාර්ය නියෝජනයක් වුවද වර්තමානයේ දේශීය තරග සඳහා පමණක් භාවිතයට ගැනෙන කොළඹ පී. සරා ඕවල් පිටියේ දී මෙම තරගය ක්‍රියාත්මක විය. දෙපිළෙන්ම අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වූ මෙම තරගය අවසානයේ ලකුණු 30ක ජයක් හිමිකර ගත්තේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමයි. කාසියේ වාසිය දිනාගත් ටීජේ ලංකා සමාගමේ ඇරයුමින් පිටියට පිවිසි HNB පිතිකරුවන් පන්දුවාර 45ක් සම්පූර්ණ වීමටත් පෙර ලකුණු 203කට සීමා විය.

එහි දී කණ්ඩායම වෙනුවෙන් එකම අර්ධ ශතකය වාර්තා කළේ කෝසල කුලසේකර (68) විසිනි. මීට අමතරව සමීර සොයිසා ලකුණු 43ක් රැස්කර ගත්තේය. පන්දුවෙන් ඉහළ දක්ෂතා දැක්වූ දකුණත් පිට දඟපන්දු යවන සචිත්‍ර සේනානායක සහ චලන ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීජේ ලංකා සමාගමට මෙම අඩු ලකුණු සංඛ්‍යාව පවා හඹා යාමට හැකි වූයේ නැත. ඒ විමුක්ති පෙරේරාගේ පන්දුවට ටීජේ ලංකා පිතිකරුවන් සිව් දෙනෙකුම බිලිවූ බැවිනි. කණ්ඩායමට කෙසේ හෝ ජය ගෙන දීමට උත්සාහ දැරූ කිත්රුවන් විතානගේ ලකුණු 70ක් සහ චලන ද සිල්වා ලකුණු 49ක් රැස් කළ ද අවසානයේ ටීජේ ලංකා ඉනිම ලකුණු 173කට සීමා විය.

හැටන් නැෂනල් බැංකුව (A) – සියල්ලන්ම දැවී ලකුණු 203 (පන්දුවාර 43.4): කෝසල කුලසේකර 68, සමීර සොයිසා 43, සචිත්‍ර සේනානායක 2/23, චලන ද සිල්වා 2/35.

ටීජේ ලංකා සමාගම – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 39.5): කිත්රුවන් විතානගේ 70, චලන ද සිල්වා 49, විශාද් රන්දික 21, විමුක්ති පෙරේරා 4/34, කෝසල කුලසේකර 2/12, නවීන් ගුණවර්ධන 2/43.


ජෝන් කීල්ස් සමාගම සහ හේලීස් සමාගම අතර තරගය

කටුනායක FTZ පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ අවසන් ප්‍රතිඵලය බවට පත්වූයේ ජෝන් කීල්ස් කණ්ඩායම කඩුලු 6කින් ජය ගැනීමයි. තරගය ආරම්භයේ දී උරගා බැලුණු කාසියේ වාසිය ද ඔවුන්ටම හිමි වූ අතර හේලීස් සමාගමට මුලින් පිතිකරණයේ යෙදීමට අවස්ථාව ලබා දීම නායකයාගේ තීරණය බවට පත්විය. ඒ අනුව හේලීස් පිතිකරුවන් පන්දුවාර 48යි පන්දු 3කට මුහුණ දී ලකුණු 183කට දැවී ගියහ. එහි දී සචිත්‍ර සේරසිංහ ලකුණු 53ක් ලබා ගනිද්දී චාමිකර එදිරිසිංහ සහ විකුම් සංජය කඩුලු 3 බැගින් දවා ගනිමින් දක්ෂතා අතරට පැමිණියහ.

අයහපත් කාලගුණය නිසා තරගය පන්දුවාර 46කට සීමා කෙරුණු අතර එහි දී ජෝන් කීල්ස් කණ්ඩායමට හිමිවුණු ලකුණු 178ක ඉලක්කය පන්දුවාර 32ක් තුල දී පහසුවෙන් හඹා යාමට ඔවුන්ට හැකි විය. එහි දී අක්ෂු ප්‍රනාන්දු නොදැවී ලකුණු 68ක් රැස්කළ අතර ලහිරු මිලන්ත ලකුණු 41කින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට ආධාර විය.

හේලීස් සමාගම (A) – සියල්ලන්ම දැවී ලකුණු 183 (පන්දුවාර 48.3): සචිත්‍ර සේරසිංහ 53, චානක රුවන්සිරි 38, ප්‍රසන්සන ජයමාන්න 40*, විකුම් සංජය 3/22, චාමිකර එදිරිසිංහ 3/28, මදූක ලියනපතිරණගේ 2/27.

ජෝන් කීල්ස් (A) – කඩුලු 4ක් දැවී ලකුණු 178 (පන්දුවාර 31.5): අක්ෂු ප්‍රනාන්දු 68*, ලහිරු මිලන්ත 41, භානුක රාජපක්ෂ 36.


LB ෆිනෑන්ස් සහ ඩිමෝ කණ්ඩායම අතර තරගය

අද දිනයේ ක්‍රියාත්මක වූ උද්වේගකරම තරගය වූ මෙහි අවසන් ජයග්‍රාහකයා බවට පත්වූයේ LB ෆිනෑන්ස් කණ්ඩායමයි. ඒ ලකුණු 10ක් තරම් සුළු පරතරයකිනි. කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දුන් LB ෆිනෑන්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී ලකුණු 280ක් රැස් කිරීමට සමත් වූහ. එහි දී දකුණත් පිතිකරු ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 73ක් ද ප්‍රියමාල් පෙරේරා ලකුණු 66ක් ද රැස් කරමින් දක්ෂතා දැක්වීය. LB ඉනිම හැකිතාක් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දැඩි වෙහෙසක් දැරූ තික්ෂිල ද සිල්වා ලකුණු 43කට කඩුලු 4ක් බිඳ හෙලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩිමෝ කණ්ඩායම ලකුණු 281ක දැවැන්ත ඉලක්කය පසුපස නොසැලී හඹා ගිය ද අවසානයේ ලකුණු 270කට සීමා වන්නට ඔවුන්ට සිදු විය. එහි දී ශම්මු අශාන් ලකුණු 87ක් රැස්කර ගනිද්දී පිත්තෙන් ද දක්ෂතා ප්‍රකට කළ තික්ෂිල ද සිල්වා ලකුණු 27ක් රැස් කිරීමට ද සමත් විය. කෙසේ වෙතත් ශිරාන් ප්‍රනාන්දු ලකුණු 52කට කඩුලු 4ක් බිඳ හෙලමින් දැක්වූ දස්කම් නිසා මොරටු පුරවරයට අඳුර වැටීගෙන එද්දී ලකුණු 10ක පරාජයක් පිළිගැනීමට ඩිමෝ කණ්ඩායමට සිදු විය.

LB ෆිනෑන්ස් සමාගම (A) – සියල්ලන්ම දැවී ලකුණු 280 (පන්දුවාර 49.5): ඇන්ජෙලෝ පෙරේරා 73, ප්‍රියමාල් පෙරේරා 66, යශාන් සමරසිංහ 21, තික්ෂිල ද සිල්වා 4/43, නිසල තාරක 2/50, රමේෂ් මෙන්ඩිස් 3/68.

ඩිමෝ කණ්ඩායම (A) – සියල්ලන්ම දැවී ලකුණු 270 (පන්දුවාර 48.1): ශම්මු අශාන් 87, ලසිත අබේරත්න 39, තික්ෂිල ද සිල්වා 27, ශිරාන් ප්‍රනාන්දු 4/52, ඉසුරු උදාන 2/41.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට