කොමර්ෂල් ක්‍රෙඩිට්, ජෝන් කීල්ස් සහ MAS සිලුඒටා ජය ලබති

594

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනයට දැඩි අත්වැලක් සපයන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරග ත්‍රිත්වයක් අද (04) දිවයිනේ පුරා ක්‍රීඩාංගණ තුනක දී ක්‍රියාත්මක විය.

එහි දී ජයග්‍රහණ වාර්තා කර ගත්තේ MAS සිලුඒටා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ජෝන් කීල්ස් යන කණ්ඩායම් තුනයි. දිනයේ පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් බවට අරුණ ඩයස් සහ තරිඳු රත්නායක සමත් වෙද්දී දෙනුවන් රාජකරුණා, කවීන් බණ්ඩාර සහ රංග කුරේ පිත්තෙන් පිටිය වර්ණවත් කරමින් ජයග්‍රාහී කණ්ඩායම්වල කොටස්කරුවන් බවට පත්වූහ.

පොඩි මාලිංගගේ දස්කම් ජෝන් කීල්ස් ජයග්‍රහණය වෙත රැගෙන යයි

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අද (3) පැවැත්වූ තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට මොබිටෙල් හා ජෝන් කීල්ස් කණ්ඩායම්..

MAS සිලුඒටා කණ්ඩායම සහ පවර් ටෙක් සිමෙන්ති සමාගම අතර තරගය

කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති මෙම තරගයෙන් පහසු ජයක් හිමි කර ගත්තේ MAS සිලුඒටා කණ්ඩායමයි. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 25කින් ප්‍රතිවාදී පවර් ටෙක් සිමෙන්ති සමාගම පරාජයට පත් කරමිනි.

මෙම තරගයේ දී තුන් ඉරියව්වෙන්ම ඉහළ දක්ෂතා දැක්වීමට මනෙල්ක ද සිල්වා සමත් වුවද අවසානයේ MAS සිලුඒටා කණ්ඩායම් සගයින්ගේ තිබූ එකමුතු ක්‍රීඩා විලාසය හේතුවෙන් එම සියලු වෙහෙස මහන්සිය ගඟට කැපූ ඉනි බවට පත්විය.

කාසියේ වාසිය දිනාගත් පවර් ටෙක් කණ්ඩායම වෙළඳසේවා පිටියේ දී මුලින්ම පිත්ත හැසිරවීමේ අවස්ථාව MAS සිලුඒටා කණ්ඩායමට හිමිකර දීමත් සමඟම අද තරගය ආරම්භ විය. එහි දී අභියෝගයට සාර්ථක පිළිතුරක් සැපයූ MAS පිතිකරුවන්, සියල්ලන්ම දැවී ලකුණු 270ක් රැස් කිරීමට සමත් වූහ. ඒ ඉනිම නිමා වීමට තවත් පන්දු 11ක් ඉතිරිව තිබිය දීයි. MAS සිලුඒටා කණ්ඩායම වෙනුවෙන් දෙනුවන් රාජකරුණා විශිෂ්ට ලකුණු 81ක් රැස්කර ගනිද්දී ශෙහාන් ප්‍රනාන්දු අර්ධ ශතකයකින් තම කණ්ඩායමට වටිනාකමක් එක් කළේය. පන්දු යැවීමේ දී සඳකැන් පතිරණ, කවිඳු බණ්ඩාර, ඩිලාන් චන්දිම සහ මනෙල්ක ද සිල්වා කඩුලු 2 බැගින් සම සමව බෙදා ගත්හ.

ඉන් අනතුරුව අද කොළඹට ඇද හැලුණු වර්ෂාව නිසා තරගයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය භාවිතා කරන්නට සිදු වූ නිසා පවර් ටෙක් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 242කි. එහි දී සාර්ථකත්වය කරා ගියේ පන්දුවෙන් ද දස්කම් දැක්වූ මනෙල්ක ද සිල්වා පමණි. දක්ෂ පිති හරඹයක නිරත වූ ඔහු ලකුණු 88ක් රැස්කර ගන්නට සමත් විය. කෙසේ

වෙතත් අනෙකුත් පිතිකරුවන්ගෙන් මනෙල්කට අවශ්‍ය සහය නොලැබී යාමෙන් පවර් ටෙක් ඉනිම නිමා වූයේ ලකුණු 216කටයි. පන්දු යැවීමේ දී බුද්ධික සංජීව සහ දුශාන් හේමන්ත කඩුලු ත්‍රිත්වය බැගින් බිඳ හෙලමින් පවර් ටෙක් කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රබල බාධාවක් බවට පත්විය.

MAS සිලුඒටා – සියල්ලන්ම දැවී ලකුණු 270 (පන්දුවාර 48.1): දෙනුවන් රාජකරුණා 81, ශෙහාන් ප්‍රනාන්දු 55, ඇන්ජෙලෝ එමානුවල් 44, දුශාන් හේමන්ත 29, චරණ නානායක්කාර 21, සඳකැන් පතිරණ 2/12, කවිඳු බණ්ඩාර 2/42, ඩිලාන් චන්දිම 2/42, මනෙල්ක ද සිල්වා 2/68.

පවර් ටෙක් සිමෙන්ති සමාගම – සියල්ලන්ම දැවී 216 (පන්දුවාර 35.1): මනෙල්ක ද සිල්වා 88, සඳකැන් පතිරණ 31, බුද්ධික සංජීව 3/60, දුශාන් හේමන්ත 3/35, ඇන්ජෙලෝ එමානුවෙල් 2/29.

සංගා, මහේල, අරවින්ද අලූත් සූත්‍රයක් සමඟින් නැවතත් පිටියට

ක්‍රීඩා අමාත්‍යංශයේ දී ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී, ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්..

කොමර්ෂල් ක්‍රෙඩිට් B කණ්ඩායම සහ යුනිලීවර් ශ්‍රී ලංකා B කණ්ඩායම අතර තරගය

කටුනායක FTZ පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී අතිශයින්ම පහසු ජයක් හිමිකර ගත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට් B කණ්ඩායමයි. එහි දී යුනිලීවර් ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණය අසලකටවත් යාමට නොහැකි වීම සුවිශේෂී කරුණක් බවට පත්විය. කොමර්ෂල් ක්‍රෙඩිට් පිළ ජයග්‍රහණය කරා ගෙන ගිය තරගයේ කතා නායකයා ලෙස සැලකිය හැකි අරුණ ඩයස් පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක්වීය.

කාසියේ වාසිය දිනාගත් යුනිලීවර් පිළ මුලින් පිතිකරණ අවස්ථාව ලබා ගැනීම ඔවුන් සිදු කළ ප්‍රධානතම අතපසුවීම බවට පත්විය. ඒ ඔවුන්ගේ සියලු ජයග්‍රහණ බලාපොරොත්තු සුන්කර දමමින් යුනිලීවර් ඉනිම ලකුණු 164ක් තුල දී බිඳ වැටුණු බැවිනි. එහි දී දර්ශන කලංසූරිය සහ ගිහාන් ද සොයිසා පිළිවෙළින් ලකුණු 35 සහ 30 බැගින් ලබා ගත්ත ද එය යුනිලීවර් ඉනිම ගොඩ නැගීමට තරම් ප්‍රමාණවත් වූයේ නැත. පන්දුවෙන් යුනිලීවර් පිතිකරුවන් මෙල්ල කරමින් තරගය පුරා තම අණසක පැතිරවූ අරුණ ඩයස් ලකුණු 26කට කඩුලු 5ක් දවා ගනිමින් ජයග්‍රහණය කොමර්ෂල් ක්‍රෙඩිට් පිළ දෙසට හරවා දුන්නේය.

එම වාසියෙන් උපරිම ප්‍රයෝජන ගත් කොමර්ෂල් ක්‍රෙඩිට් පිතිකරුවන් මෙම ඉලක්කය පන්දුවාර 32යි පන්දු 4ක් තුල දී හඹා යමින් ඉතාමත් පහසු ජයක හිමිකරුවන් බවට පත්වූහ. ඒ කඩුලු දෙකක් පමණක් අහිමි කර ගනිමිනි. එහි දී ඉතාමත් අලංකාරවත් ඉනිමක් ක්‍රීඩා කළ රංග කුරේ නොදැවී ලකුණු 75ක් රැස් කරමින් කොමර්ෂල් ක්‍රෙඩිට් පිළේ සාර්ථකත්වයේ මුල්පෙළ වීරයෙකු බවට පත්විය.

යුනිලීවර් ශ්‍රී ලංකා – සියල්ලන්ම දැවී ලකුණු 164 (පන්දුවාර 35.3): දර්ශන කලංසූරිය 35, ගිහාන් ද සොයිසා 30, දමින්ද පෙරේරා 24, අරුණ ඩයස් 5/26.

කොමර්ෂල් ක්‍රෙඩිට් – කඩුලු 2ක් දැවී ලකුණු 165 (පන්දුවාර 32.4): රංග කුරේ 75*, අකීල් ඉන්හාම් 51.

ශ්‍රී ලංකා එක්දින සංචිතය නිකුත් වේ

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා…

ජෝන් කීල්ස් B කණ්ඩායම සහ සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගය සම්පූර්ණයෙන්ම තම ග්‍රහණයට ගත්තේ ජෝන් කීල්ස් කණ්ඩායමයි. ඔවුන්ගේ දක්ෂතා හමුවේ සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූයේ කඩුලු 9ක දරුණු පරාජයකි. තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්වූ තරිඳු රත්නායක ලකුණු 23ට කඩුලු 6ක් දවා ගනිමින් ජෝන් කීල්ස් කණ්ඩායමට අද සන්ධ්‍යාවේ ජයපැන් බීම සඳහා ඉඩහසර විවර කර දුන්හ.

මෙම තරගය ආරම්භ වූයේ සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායමට කාසියේ වාසිය හිමි වීමත් සමඟයි. ඒ අනුව මුලින් පිතිකරණය සඳහා යොමුවීමට ඔවුන් තීරණය කළත් වැඩි කල්වේලා ගත වන්නට පෙර එම තීරණයේ තිබූ දෝෂ සහගත බව සියලු දෙනාටම පැහැදිලි විය. ඒ ලකුණු 125කට සිංගර් ශ්‍රී ලංකා ඉනිම සීමාවුණු බැවිනි. එහි දී ඉසුරු ශාමර අර්ධ ශතකයක් ආසන්නයටම පැමිණිය ද කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ගේ සහය ප්‍රමාණවත් මට්ටමක තිබුණේ නැත. පන්දු යැවීමේ දී තරිඳු රත්නායක කඩුලු 23කට කඩුලු 6ක් දවා ගනිමින් ජෝන් කීල්ස් පිළේ ජය මාවත පෙන්වා දුන්නේය.

ඒ අනුව ලකුණු 126ක පහසු ඉලක්කයක් ලැබුණු ජෝන් කීල්ස් පිතිකරුවන් වේගවත් පිති හරඹයක යෙදෙමින් පන්දුවාර 17ක් තුල දී ජයග්‍රහණය තහවුරු කර ගත්හ. එහි දී ඔවුන්ගේ මුල් කඩුල්ල තරමක් වේලාසන බිඳ වැටුණ ද, යොවුන් පිතිකරු කවීන් බණ්ඩාර සහ මනෝජ් සරත්චන්ද්‍ර පිළිවෙළින් නොදැවී ලකුණු 55 සහ 28 බැගින් රැස් කර ගනිමින් මෙම විශිෂ්ට ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට පත්වූහ.

සිංගර් ශ්‍රී ලංකා – සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 33.5): ඉසුරු ශාමර 46, ලෝචන බණ්ඩාර 26, තරිඳු රත්නායක 6/23, සසිඳු පෙරේරා 2/17.

ජෝන් කීල්ස් – එක් කඩුල්ලක් දැවී ලකුණු 126 (පන්දුවාර 17): කවීන් බණ්ඩාර 55*, රවිඳු කොඩිතුවක්කු 29, මනෝජ් සරත්චන්ද්‍ර 28*.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට