දුලාජ්ගේ හුදකලා සටන ඵල රහිතයි; MAS යුනිචෙලාවට තවත් ජයක්!

605

පුරා වසර ගණනාවක් මුළුල්ලේ ඉතාමත් සාර්ථක ලෙසින් පැවතුණු වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ මෙවර ක්‍රියාත්මක වන්නේ 25 වැනි අදියරයි.

සිංගර් ආයතනයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ A කාණ්ඩය යටතේ අද (24) ක්‍රියාත්මක වූ තරග 5න් 4ක් ප්‍රතිඵලයක් සහිතව නිමා විය. එහි දී ජයග්‍රහණ වාර්තා කර ගත්තේ LB ෆිනෑන්ස්, හැටන් නැෂනල් බැංකුව, ඩිමෝ කණ්ඩායම සහ MAS යුනිචෙලා කණ්ඩායමයි.

දසුන්ගේ ශතකයත්, දුවිඳුගේ පන්දුවත් දිනය වර්ණවත් කරයි!

සිංගර් අනුග්‍රහයෙන් 25 වැනි වරටත් පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 5ක් ඊයේ (23) දිනයේ ක්‍රියාත්මක විය. එහි දී ටීජේ ලංකා, ජෝන් කීල්ස්…

MAS යුනිචෙලා සහ ජෝන් කීල්ස් අතර තරගය

මෙවර තරගාවලියේ කැපී පෙනෙන දස්කම් පෑ කණ්ඩායම් දෙකක් අතර පැවති මෙම තරගය ක්‍රියාත්මක වූයේ කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට ප්‍රබල MAS යුනිචෙලා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් යුනිචෙලා ක්‍රීඩකයින් පන්දුවාර 47ක දී ලකුණු 283ක් රැස් කරගත් අතර රමිත් රඹුක්වැල්ල සහ මහේල උඩවත්ත අර්ධ ශතක රැස් කරමින් ඊට දායක විය. පසුව වර්ෂාව ඇද හැලීම නිසා පන්දුවාර 43ක් දක්වා කපා හැරුණු තරගයේ දී ජෝන් කීල්ස් ක්‍රීඩකයින්ට ලකුණු 265ක ඉලක්කයක් හිමි වූ නමුත් ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 240ක් පමණි.

තම කණ්ඩායමට ජය ගෙන දීම සඳහා හුදකලා සටනක නිරත වූ ශානුක දුලාජ් නොදැවී ලකුණු 92යි. අද තරගයේ දී සුපිරි පන්දු යැවීමක යෙදුණු ඉෂාර අමරසිංහ ලකුණු 39කට කඩුලු 5ක් දවා ගනිමින් MAS යුනිචෙලා ජය ස්ථිර කළේය.

MAS යුනිචෙලාකඩුලු 9ක් දැවී ලකුණු 283 (පන්දුවාර 47): රමිත් රඹුක්වැල්ල 54, මහේල උඩවත්ත 51, තිලක්ෂ සුමනසිරි 34, චතුරංග ද සිල්වා 32, ධනුෂ්ක ගුණතිලක 29, අක්ෂු ප්‍රනාන්දු 2/26, මදූක ලියනපතිරණගේ 2/31, චාමිකර එදිරිසිංහ 2/59.

ජෝන් කීල්ස්කඩුලු 9ක් දැවී ලකුණු 240 (පන්දුවාර 41): ශානුක දුලාජ් 92*, අක්ෂු ප්‍රනාන්දු 32, භානුක රාජපක්ෂ 24, ඉශාන් ජයරත්න 24, ලහිරු මිලන්ත 22, ඉෂාර අමරසිංහ 5/39, ශෙහාන් මධුශංක 2/62.


LB ෆිනෑන්ස් සමාගම සහ කැන්රිච් ෆිනෑන්ස් සමාගම

කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගය කඩුලු 6කින් පහසුවෙන්ම ජය ගත්තේ LB ෆිනෑන්ස් කණ්ඩායමයි. ඒ මෙවර තරග වාරයේ අසාර්ථකම කණ්ඩායම බවට පත්ව සිටින කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

අද දිනයේ කාසියේ වාසිය දිනා ගැනීමට ද LB ෆිනෑන්ස් කණ්ඩායම සමත් වූ අතර පිතිකරණයේ අඩු දක්ෂතා ප්‍රකට කරන කැන්රිච් ක්‍රීඩකයින්ට පිතිකරණය සඳහා ඇරයුම් කිරීමට තරම් ඔවුන් උපක්‍රමශීලී විය. ඒ අනුව එතරම් නමගිය පිතිකරුවන් නොමැති කැන්රිච් පිළ ලකුණු 134කට සීමා කිරීමට LB ෆිනෑන්ස් පන්දු යවන්නන්ට හැකි විය.

එහි දී සාරංග රාජගුරු සහ පවන් දේවින්ද ලකුණු 37 බැගින් රැස්කළ අතර ඇන්ජෙලෝ පෙරේරා කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි දක්ෂතා දැක්වීය. මෙම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 23යි පන්දු 3ක් තුල දී පහසුවෙන්ම හඹා යමින් කඩුලු 6ක ජයක් තහවුරු කර ගැනීමට අද සන්ධ්‍යා කාලයේ දී LB ෆිනෑන්ස් කණ්ඩායමට හැකි විය. එහි දී දකුණත් පිතිකරු ධනංජය සිල්වා ලකුණු 30ක් රැස්කළ අතර රොෂාන් ලක්සිරිට කඩුලු 3ක් හිමි විය.

කැන්රිච්ෆිනෑන්ස්සියල්ලන්මදැවීලකුණු 134 (පන්දුවාර 42.4): සාරංග රාජගුරු 37, පවන් දේවින්ද 37, ඇන්ජෙලෝ පෙරේරා 4/17, ඉසුරු උදාන 3/23.

LB ෆිනෑන්ස්කඩුලු 4ක්දැවීලකුණු 140 (පන්දුවාර 23.3): ධනංජය ද සිල්වා 30, රොෂාන් ලක්සිරි 3/44.


හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව අතර තරගය

අද දිනයේ ක්‍රියාත්මක වූ උණුසුම් සහ උද්වේගකරම තරගය වූ මෙහි ජයග්‍රහණය හිමි වූයේ හැටන් නැෂනල් බැංකුවටයි. ඒ ලකුණු 5ක් තරම් සුළු පරතරයකිනි.

එහි දී මුලින් පන්දුවට පහර දුන් හැටන් නැෂනල් බැංකුව අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් අවසන් මොහොත දක්වා සටන අත් නොහරිමින් ජය තහවුරු කර ගත් ආකාරය විශිෂ්ට විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් HNB ඉනිම වෙනුවෙන් අද සමීර සොයිසා ලකුණු 51ක් රැස් කර ගත් අතර නවිඳු නිර්මාල් නොදැවුණු අර්ධ ශතකයක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී වැඩි දස්කම් ප්‍රකට කළේ ලකුණු 36ට කඩුලු 4ක් බිඳ හෙලූ තරිඳු කෞෂාල් විසිනි. ඒ අනුව සම්පත් බැංකු පිළට හිමිවුණු සුළු ඉලක්කය සපුරා ගැනීමට ඔවුන්ට නොහැකි වූයේ ඉනිම පුරාවට නිරන්තරයෙන් කඩුලු බිඳ දැමීමට HNB පන්දු යවන්නන් සමත් වූ බැවිනි. එහි දී ලහිරු විමුක්ති සහ නවීන් ගුණවර්ධන කඩුලු 3 බැගින් බිඳ දමමින් HNB පිළට නොසිතූ ජයක් උරුම කළේය.

හැටන් නැශනල් බැංකුවසියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 49.4): සමීර සොයිසා 51, නවිඳු නිර්මාල් 50*, මින්හාජ් ජලීල් 36, තරිඳු කෞෂාල් 4/36, ප්‍රභාත් ජයසූරිය 2/30.

සම්පත් බැංකුවසියල්ලන්ම දැවී ලකුණු 181 (පන්දුවාර 38.5): අවිශ්ක ප්‍රනාන්දු 38, දුෂ්මන්ත චමීර 22, ලහිරු විමුක්ති 3/22, නවීන් ගුණවර්ධන 3/24, තිලංග උදේශන 2/64.


ඩිමෝ සමාගම සහ හේලීස් සමාගම අතර තරගය

තවත් අඩු ලකුණු සංඛ්‍යා වාර්තා වූ තරගයක් වූ මෙහි ජය හිමි කර ගත්තේ ඩිමෝ කණ්ඩායමයි. ඒ කඩුලු 6කිනි. කාසියේ වාසිය දිනාගත් ඩිමෝ ආරාධනයෙන් මුලින් පිතිකරණයේ යෙදුණු හේලීස් පිළට ලකුණු 177ක් තුල දී සියලුම කඩුලු අහිමි විය. කෙසේ වෙතත් එහි දී චානක රුවන්සිරි ලකුණු 73ක් රැස් කරගත් අතර නිසල තාරකට කඩුලු 3ක් හිමි විය.

මෙම සුළු ලකුණු සංඛ්‍යාව පසුපස ප්‍රවේසමෙන් හඹාගිය ඩිමෝ පිතිකරුවන් පන්දුවාර 42ක් අවසානයේ ජය කණුව පසුකර යාමට සමත් විය. එහි දී වැදගත්ම ඉනිම ක්‍රීඩා කළේ නොදැවී ලකුණු 71ක් රැස් කර ගත් ශම්මු අශාන් විසිනි. තරගය කොළඹ වෙළඳ සේවා පිටියේ දී ක්‍රියාත්මක විය.

හේලීස්සමාගමසියල්ලන්මදැවීලකුණු 177 (පන්දුවාර 42): චානක රුවන්සිරි 73, හර්ෂ විතාන 25, නිසල තාරක 3/33, කවිශ්ක අන්ජුල 2/42.

ඩිමෝසමාගමකඩුලු 4ක්දැවීලකුණු 181 (පන්දුවාර 42): ශම්මු අශාන් 71*, ලසිත් අබේරත්න 33, තික්ෂිල ද සිල්වා 31, රමේෂ් මෙන්ඩිස් 20*.

මීට අමතරව පානදුර යුධ හමුදා පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ටීජේ ලංකා සමාගම අතර තරගය අද අතොරක් නැතිව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

 තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්රිකට් ක්රීඩා පිටුවට