මිලින්දගේ ශතකය අපතේ: MAS ඇක්ටිව්ට අනපේක්ෂිත පරාජයක්

2999
Mercantile Cricket

24 වන වරට පැවැත්වෙන සිංගර් – වෙළඳ සේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදීම හිරපු ශූරයන් වන MAS ඇක්ටිව් කණ්ඩායමට පරාජයක වේදානාව උරුම කරමින් පෙරළිකාර ජයක් ලබන්නට තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඩිමෝ කණ්ඩායම සමත් විය.

අද (10) පැවති අනෙක් තරගයේදී ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමේ ඉලක්කය සාර්ථකව හඹා යන්නට සම්පත් බැංකු කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: ජයග්‍ර‍හණය මොබිටෙල් සහ MAS කණ්ඩායම් වලට

MAS ඇක්ටිව් සහ ඩිමෝ කණ්ඩායම් අතර තරගය.

මතීෂ පෙරේරාගේ නායකත්වයෙන් යුතු ඩිමෝ කණ්ඩායම, වෙළඳ සේවා ප්‍රධාන කාණ්ඩයේ තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්තාව මෙයයි. පසුගිය වසරේ B කාණ්ඩයේ අනුශූරයන් වෙමින් මෙවර ප්‍රධාන තරගාවලියට එක්වූ ඔවුන්, පසුගිය වසරේ ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලි දෙකේම ශූරයන් වන MAS ඇක්ටිව් කණ්ඩායම සමගින් අද තරග වැදුනේ කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගනයේදීයි.

ප්‍රබල MAS ඇක්ටිව් කණ්ඩායම ලකුණු 116කට සීමා කරන්නට පළමුවෙන් පන්දු යැවූ ඩිමෝ කණ්ඩායම සමත් විය. පා දඟ පන්දු යවන ක්‍රීඩක පුලින තරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක තික්ෂිල ද සිල්වා කඩුලු 3 බැගින් දවා ගනිමින් MAS ඇක්ටිව් ඉනිම වනසද්දී ඇන්ඩි සොලමන්ස් ලකුණු 29කින් සහ නායක ජෙහාන් මුබාරක් ලකුණු 21කින් ලකුණු පුවරුවට දායකත්වය ලබා දෙන ලදී.

ලකුණු 117ක පහසු ඉලක්කය අභියෝගයකින් තොරව හඹා යාමට ඩිමෝ කණ්ඩායමට සවි බලය සැපයු දකුණත් මුල් පෙළ පිතිකරු හෂාන් දුමිඳු පන්දු 72කින් නොදැවී ලකුණු 52ක් ලබා ගත් අතර රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 26ක් රැස් කරන්නට සමත් විය. සචිත්‍ර සේනානායක දැවී ගිය කඩුලු 4න් හරි අඩකට හිමිකම් කියන ලදී.

ලකුණු පුවරුව :

MAS ඇක්ටිව් කණ්ඩායම  – සියල්ලන් දැවී – 116 (27.1) : ඇන්ඩි සොලමන්ස් –  29, ජෙහාන් මුබාරක් – 21, සමීර සොයිසා – 19, පුලින තරංග 3/05, තික්ෂිල ද සිල්වා – 3/23, ජේසන් පෙරේරා – 2/20.

ඩිමෝ කණ්ඩායම  – 118/4 (33.4) : හෂාන් දුමිඳු – 52*, රමේෂ් මෙන්ඩිස් – 26*, ලක්ඛණ ජයසේකර – 22, සචිත්‍ර සේනානායක – 2/29.

ඩිමෝ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.


ටෙක්ස්චර්ඩ් ජර්සි සහ සම්පත් බැංකු කණ්ඩායම් අතර තරගය

ටෙක්ස්චර්ඩ් ජර්සි නායක මිලින්ද සිරිවර්ධනගේ සුපිරි ශතකය අපතේ යවමින් අගනා හඹා යාමක් සමග තරග ජයග්‍රහණය තහවුරු කර ගන්නට සම්පත් බැංකුව සමත් විය.

මග්ගොන සරේ ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය දිනාගත් සම්පත් බැංකු නායක ජීවන් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීමට පසුගිය වසරේ B කාණ්ඩයේ ශූරයන් වෙමින් මෙවර ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබූ ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමට ආරාධනා කරන ලදී. ඔවුන් පන්දුවාර 49යි එක් පන්දුවක් තුල සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 262ක්.

ඊයේ නිමා වූ ඕස්ට්‍රේලියානු තරග සංචාරය තුල වැඩි අවස්ථා ගණනකදී කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූ මිලින්ද සිරිවර්ධන පන්දු 109 කින් ලකුණු 130ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමගිනුයි. ශ්‍රී ලංකා අවුරුදු 19න් පහල කණ්ඩායමේ නායක චරිත් අසලංක ලකුණු 40ක් ලබා ගන්නා ලදී. සම්පත් බැංකු නායක ජීවන් මෙන්ඩිස් ලකුණු 24ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙලන්නට සමත් විය.

ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූයේ අප්‍රිකා සංචාරය නිමවා පසුගියදා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ නායක රුමේෂ් බුද්ධිකයි. ඔහු පන්දු 71කින් නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමගිනි. කඩුලු රකින ක්‍රීඩක සමීන් කඳනාරච්චි ලකුණු 48ක් සහ දසුන් ශානක වේගවත් ලකුණු 33ක් ලබා ගන්නා ලදී.

ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම  – සියල්ලන් දැවී – 262 (49.1) : මිලින්ද සිරිවර්ධන – 130, චරිත් අසලංක – 40, මිනෝද් භානුක – 27, නිපුන කාරියවසම් – 27, ජීවන් මෙන්ඩිස් – 4/24, නුවන් පෙරේරා – 2/52, කසුන් රාජිත – 2/71.

සම්පත් බැංකු කණ්ඩායම  – 263/5 (46.4) : රුමේෂ් බුද්ධික –  90*, සමීන් කඳනාරච්චි – 48, දසුන් ශානක – 33, ජීවන් මෙන්ඩිස් – 26, චලන ද සිල්වා – 2/52.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට