අත්වැරැද්දක් නිසා ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තු සුන්වෙයි

98

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල මේ වසරේ ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතයි. පසුගිය දා එහි තරග කාලසටහන නිකුත් වූ අතර තරගාවලිය ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔලිම්පික් උළෙලට දින නිකුත් වෙයි

මෙම වසරේ පැවත්වීමට නියමිත බොහෝ දෙනාගේ අවධානය දිනා ……..

ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහට පසුව වසර විස්සක් තිස්සේ ශ්‍රී ලාංකිකයන් පදක්කම් පිපාසයෙන් පසුවේ. ඔවුන්ට පසුව බොහෝ ක්‍රීඩකයන් ඔලිම්පික් නියෝජනය කිරීමට සමත් වූවත් එයින් කිසිවෙකුටත් පදක්කම් ජයග්‍රහණයක් කරා යෑමට අවස්ථාවක් ලැබුණේ නැත. 

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මුල්ම ශ්‍රී ලාංකික නියෝජනය ලෙස ආසනය වෙන් කරවා ගැනීමට ක්‍රීඩිකා මැතිල්ඩා කාර්ල්සන් පසුගිය ජනවාරි මාසයේ දී සමත් විය. අශ්වාරෝහක ඉසව් සඳහා සහභාගි වීමට නියමිත ඇය ශ්‍රී ලාංකික පදක්කම් බලාපොරොත්තු අතර ඉහළින්ම සිටින ක්‍රීඩිකාවක් කිවහොත් නිවැරදිය.

Mathilda karlsson

නමුත් “International Federation for Equestrian Sports (FEI)” විසින් කළ නිවේදනයක් සමඟ ඇයගේ මෙම ඔලිම්පික් සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමට පත්ව ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මස ප්‍රංශයේ තරග ක්‍රීඩක වර්ගීකරණයෙන් ඉවත් කර ඇති බවයි. ඔවුන් පෙර මෙම තරග අනුමත කර තිබුනත් එය ඔවුන් වැරදීමකින් සිදු වූවක් ලෙස සඳහන් කරමින් ඇත.

ප්‍රංශයේ ජාතික අශ්වාරෝහක සම්මේලනය විසින් මෙම තරග ඉසව් සඳහා අනුමැතිය ලබා ගැනීමට FEI වෙත යොමු කර තිබූ අතර එය වැරදීමකින් අනුමත වී ඇතැයි පසුගිය සඳුදා (17) අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනය විසින් ප්‍රකාශ කරන ලදි.

මෙම ඉසව් සඳහා ඔලිම්පික් සුදුස්සන් තෝරාගැනීමේ දී එක් එක් කලාපයේ ක්‍රීඩක වර්ගීකරණය අනුව තෝරා ගැනීම් සිදු කරනු ලබයි. එහි දී ශ්‍රී ලංකාව අයිති කලාපයෙන් මුල් ස්ථාන දෙකෙහි සිටින ක්‍රීඩකයන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගනී. දෙසැම්බර් මස ප්‍රංශයේ පැවති තරගවල දී දැක්වූ දක්ෂතා අනුව මුළු ප්‍රසාද ලකුණු 350ක් දක්වා වැඩි කරගනිමින් මැතිල්ඩා කලාපයේ දෙවන තැන දිනා ගන්නට සමත් විය.

නමුත් එම සම්මේලනයේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟම ඇයට එම තරගාවලියෙන් හිමි වූ ප්‍රසාද ලකුණු අහිමි වී යන අතර ඒ හේතුවෙන් මේ වන විට කාර්ල්සන්ගේ ඔලිම්පික් අසුන අහිමි වී ඇත. 

මේ පිළිබඳව අදහස් දක්වමින් කාර්ල්සන් ප්‍රකාශ කර සිටියේ මෙය ඇයගේ වරදක් නොවන බවත්, ඇය මෙයට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බවයි.

“මම මෙම තීරණය සම්බන්ධයෙන් “Court of Arbitration for Sports (CAS)” හී සටන් කිරීමට සූදානම්, මගේ අතින් කිසිදු වරදක් සිදු වෙලා නෑ. සම්මේලනයේ මෙම මාධ්‍ය නිවේදනය මගින් පෙන්නුම් කෙරෙන්නෙ මෙය ඔවුන් අතින් සිදු වූ වරදක් මිස ධාවකයෙක් වශයෙන් මාගෙන් සිදු වූ වරදක් නොවන බවයි” යැයි ඇය අදහස් දක්වා තිබිණි.

මැතිල්ඩා පෙර පැවසූ ආකාරයට ඇය පෙර වසරේ අගෝස්තු මස දක්වා කලාපයේ දෙවැනි තැන සිට ඇති අතර තම අශ්වයාගේ ඇති වූ ආබාධයක් නිසාවෙන් ඇයට මස තුනක් පිටියෙන් ඉවත් වීමට සිදු වී ඇති බවය. 

ජර්මනිය කේන්ද්‍ර කර ගනිමින් තරගවලට සහභාගි වන කාර්ල්සන් “Longines Global Champions Tour” හී නිත්‍ය තරගකරුවෙකු වන අතර “Global Champions League (GCL)” හී සාමාජිකයෙකු ද වේ. ලොවපුරා සංචාරය කරමින් තරග වදින ඇය 2018 වර්ෂයේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගන්නේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ ප්‍රබල බලාපොරොත්තුවෙනි.

සම්මේලනයේ මෙම තීරණයත් සමඟ මැතිල්ඩා කාර්සන්ගේ මෙන්ම මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේම ඔලිම්පික් පදක්කම් සිහිනය බොඳ වෙමින් පවතී.

     >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<