ගෙවී ගිය සති කිහිපය තුළ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සිදු වූ බොහෝ සිදුවීම් නිසා මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කරන ශ්‍රේණිගත කිරීම්වල විවිධ වූ වෙනස්කම් සිදුව ඇත.

පසුගිය දා පැවති එංගලන්තය හා කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් තරගාවලියේ දී එංගලන්තයට එරෙහිව ලද ටෙස්ට් ජයග්‍රහණය හේතුවෙන් කොදෙව් ක්‍රීඩකයින් වන ක්රේග් බ්රැත්වේට් හා ශායි හෝප් ICC ටෙස්ට් පිතිකරුවන්ගේ දර්ශකයේ ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා 20-20 සංචිතය නිකුත් වේ

සනත් ජයසූරිය මහතා ප්‍රමුඛ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවසන් නිළ රාජකාරි

බ්රැත්වේට් ස්ථාන 14ක් ඉදිරියට පැමිණ පිතිකරුවන්ගේ දර්ශකයේ 16 වන ස්ථානයට පත් වී ඇති අතර ශායි හෝප් ස්ථාන 60ක් ඉදිරියට පැමිණ ලැයිස්තුවේ 42 වන ස්ථානය හිමි කර ගෙන සිටී.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ මුල් තැන ඉන්දිය ක්‍රීඩක ජඩේජාට හිමිව ඇති අතර, දෙවන තැන ජේම්ස් ඇන්ඩර්සන්ටත්, තෙවන ස්ථානය රවිචන්ද්‍රන් අශ්වින්ටත් හිමිව ඇත. ටෙස්ට් පන්දු යවන්නන්ගේ සිව්වන ස්ථානය හිමිව තිබෙන්නෙ වමතින් දඟපන්දු යවන ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් හටයි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය දා ඓතිහාසික ටෙස්ට් ජයක් වාර්තා කළ බංගලාදේශ පිළේ තමිම් ඉක්බාල් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 14 වන ස්ථානය හිමි කර ගෙන ඇති අතර, ශකීබ් අල් අසන්ට පන්දු යවන්නන්ගේ දර්ශකයේ 14 වන ස්ථානය හිමි වී තිබේ. තවද ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස යන අංශ තුනේම තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් අතර ප්‍රමුඛත්වය හිමි වන්නේ ද ශකීබ අල් හසන්ට ය.

නිමාවට පත්වූ ශ්‍රී ලංකා-ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන එක්දින පිතිකරු ලැයිස්තුවේ ප්‍රසාද ලකුණු 873ක් ලබාගෙන ප්‍රමුඛත්වය හොබවන්නේ ඉන්දීය නායක විරාට් කෝලිය. එහි දෙවන ස්ථානය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් විසින් හිමි කර ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 861 ලබා ගනිමිනි. ප්‍රසාද ලකුණු 847ක් ලබා සිටින ඒ. බී. ඩී විලියර්ස් එහි තෙවන ස්ථානය හොබවයි.

එක්දින පිතිකරු ලැයිස්තුවේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හිමිව ඇති ඉහළම ස්ථානය වන්නේ ඇන්ජෙලෝ මැතිව්ස් රැඳී සිටින 27 වන ස්ථානයයි. කුසල් මෙන්ඩිස් එහි 27 වන ස්ථානයත්, නිරෝශන් දික්වැල්ල 38 වන ස්ථානයත් හිමි කර ගෙන ඇති අතර, දිනේෂ් චන්දිමාල් 54 වන ස්ථානයේ රැඳී සිටී.

ICCය ප්‍රකාශයට පත් කර ඇති නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන හිමිවන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමටයි. ඕස්ට්‍රේලියානු හා ඉන්දීය කණ්ඩායම එහි දෙවන හා තෙවන ස්ථාන හොබවයි. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි අටවන ස්ථානයයි.

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ප්‍රසාද ලකුණු 125ක් ලබාගෙන ඉන්දීය කණ්ඩායම සතු කර ගෙන සිටින අතර ප්‍රසාද ලකුණු 110ක් ලබාගෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම එහි දෙවන ස්ථානයත්, ප්‍රසාද ලකුණු 105ක් ලබාගෙන එංගලන්තය එහි තෙවන ස්ථානයත් හොබවයි. දිනේශ් චන්දිමාල්ගේ වත්මන් නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 90ක් ලබාගෙන එහි හත්වන ස්ථානය හොබවයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට