47 වන වරට පැවති වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන්නට අවසන් මහා තරගයේ දී ‘Access Group’ කණ්ඩායම ලකුණු 19-14ක් ලෙස පරාජයට පත්කළ ‘MAS Holdings’ කණ්ඩායම සමත් විය.

තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 14 බැගින් ලබා ගනිමින් සම තත්වයේ පසු වූ අතර අතිරේක කාලයේ දෙවන අර්ධයේ දී තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ‘MAS Holdings’ කණ්ඩායම සමත් විය.

බැංකු, මූල්‍ය සහ වෙළඳ ආයතන අතර රග්බි ගැටුමක්

වෙළඳසේවා සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන දිනය ඊයේ (22) අවසන් වූයේ කොළඹ තුරඟ…

පලඟ ශූරතාවය සඳහා පැවති අවසන් මහා තරගයේ දී ‘CDB A’ කණ්ඩායම ලකුණු 12-07ක් ලෙස පරාජයට පත්කරමින් ශූරතාවය දිනා ගන්නට ‘Kanrich Finance’ කණ්ඩායම සමත් විය. එමෙන්ම මෙම තරගයේ දී ද ජයග්‍රාහකයා තීරණය වූයේ තරගයේ අමතර කාලයේ දී ය. එමෙන්ම තරගාවලිය සඳහා ප්‍රථම වරට ක්‍රීඩා කළ ‘Clovetel’ කණ්ඩායම ලකුණු 21-14ක් ලෙස පරාජයට පත්කරමින් බඳුන ශූරතාවය ජයග්‍රහණය කරන්නට ‘Classic Travel’ කණ්ඩායම සමත් වූ අතර පළිහ ශූරතාවය සඳහා පැවති අවසන් මහා තරගයේ දී තවත් ප්‍රථම වරට ක්‍රීඩා කළ කණ්ඩායමක් වූ ‘Fairfirst Insurance’ කණ්ඩායම ලකුණු 20-14ක් ලෙස පරාජයට පත්කළ ‘CDB B’ කණ්ඩායම එහි දී ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

CDB කාන්තා කණ්ඩායම එහි දී පැවති ටැග් රග්බි තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ‘Ceylon Tobacco’ කණ්ඩායම ලකුණු 25-00ක් ලෙස පරාජයට පත්කරමිනි.

තරගාවලියේ තෙවන දිනයේ තරග බඳුන හා පලිහ ශූරතා සඳහා පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග සමඟ තුරඟ තරග ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය.

ඒ අනුව පලිහ ශූරතාවය සඳහා පැවති අර්ධ අවසන් පූර්ව වටයේ දී ‘HSBC’ කණ්ඩායම ලකුණු 35-10ක් ලෙස පරාජයට පත්කරන්නට ජනශක්තිකණ්ඩායම සමත් වූ අතර ‘NTB’ කණ්ඩායම ලකුණු 24-17ක් ලෙස පරාජයට පත්කරන්නට ‘AMW B’ කණ්ඩායම සමත් විය. එහි දී පැවති තෙවන අර්ධ අවසන් පූර්ව තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ජයග්‍රහණය කරනු ලැබුවේ ‘Ceylon Knit Trend’ කණ්ඩායම ලකුණු 15-12ක් ලෙස පරාජයට පත්කරනු ලැබූ ‘CDB B’ කණ්ඩායම යි. අනතුරුව පැවති අවසන් අර්ධ අවසන් පූර්ව තරගයේ දී ‘Ceylon Tobacco’ කණ්ඩායම ලකුණු 26-07ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළ ‘Fairfirst Insurance’ කණ්ඩායම අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව බඳුන ශූරතාවය සඳහා පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ වූ අතර එහි දී ජයග්‍රහණ වාර්තා කළ ‘Clovetel’, ‘Classic Travels’, කදුරට කුඩ සහ ‘Prospectus Capital’ කණ්ඩායම් එහි දී අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

Clovetel 24 00 Sri lanka insurance
Classic Travel 19 12 Hela Clothing
Kandurata Umbrella 24 17 Brandix
Prosperous Capital 19 14 SAMPATH BANK

ඉන් අනතුරුව පැවති පලිහ ශූරතාවයේ අවසන් පූර්ව තරග ජයග්‍රහණය කළ ‘CDB B’ කණ්ඩායම සහ ‘Fairfirst Insurance’ කණ්ඩායම එහි අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සමත් විය.

Janashakthi 21 36 CDB ‘B’
NTB 21 24 Fairfirst Insurance

අනතුරුව මෙම තරගාවලිය සඳහා සහභාගී වූ නව කණ්ඩායම් දෙකක් වූ ‘Clovetel’ සහ ‘Classic Travels’ කණ්ඩායම් බඳුන ශූරතාවය සඳහා පැවති අවසන් මහා තරගයට සුදුසකම් ලැබීය.

Clovetel 15 05 Kandurata Umbrella
Classic Travel 24 17 Prosperous Capital

එම තරග අවසානයේ පලඟ ශූරතාවය සහ කුසලාන ශූරතාවය සඳහා වන අවසන් පූර්ව වටයේ තරග ආරම්භ විය. ඒ අනුව බඳුන ශූරතාවය සඳහා පැවති අවසන් පූර්ව වටයේ දී ‘AMW A’ කණ්ඩායම ලකුණු 22-12ක් ලෙස පරාජයට පත්කරන්නට ‘CDB A’ කණ්ඩායම සමත් වූ අතර එහි දී ‘AMW A’ කණ්ඩායම පළමු අර්ධයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළත් භානුක නානායක්කාර සහ සංදේශ් ජයවික්‍රම වාර්තා කරගත් උත්සාහක දිනුම් ‘CDB A’ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. අනතුරුව ‘Mobitel’ කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ අවසන් තරගයට නිතරගයෙන් සුදුසුකම් ලබන්නට ‘Kanrich Finance’ කණ්ඩායම සමත් විය.    

බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි ශූරතා කුසලානය සඳහා වන අවසන් පූර්ව තරග ඊළඟට ආරම්භ විය. එහි දී පළමු තරගය පැවැත්වුණේ ‘Access’ සහ ‘John Keells (JKH)’ කණ්ඩායම් අතරයි. තරගයේ පළමු අර්ධයේ ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට ‘John Keells (JKH)’ කණ්ඩායම සමත් වූ අතර එහි දී තිලිණ විජේසිංහ සහ හිරන්ත පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කර ගන්නට සමත් විය. කෙසේ නමුත් තරගයේ දෙවන අර්ධයේ දී තරගයට අවතීර්ණ වෙමින් ‘Access’ කණ්ඩායමේ බුවනෙක උදන්ගමුව සහ ලවංග පෙරේරා එක් උත්සාහක දිනුම බැගින් සහ නායක දනුෂ්ක රංජන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය. තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 20-10ක් ලෙසයි.

අනතුරුව පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී උණුසුම් තරගයකින් අනතුරුව ‘Dialog’ කණ්ඩායම ලකුණු 14-10ක් ලෙස පරාජයට පත්කරන්නට ‘MAS Holdings’ කණ්ඩායම සමත් විය. ‘MAS Holdings’ කණ්ඩායම වෙනුවෙන් අනුරුද්ධ විල්වර සහ සඳුන් හේරත් උත්සාහ දිනුම් වාර්තා කර ගත් අතර ‘Dialog’ කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අද්සාල් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනු ලැබීය. කෙසේ නමුත් ‘Dialog’ කණ්ඩායමට උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට අවස්ථා කිහිපයක්ම විවෘත වුවත් ඒවා සාර්ථක කර ගන්නට ඔවුන් අසමත් විය.

පලිහ ශූරතාවය – අවසන් තරගය

තරගාවලියේ පලිහ ශූරතාවය දිනා ගනු ලැබුවේ ‘Fairfirst Insurance’ කණ්ඩායම පරාජයට පත්කළ ‘CDB B’ කණ්ඩායම යි. එහි දී ‘CDB B’ කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ලී උත්සාහක දිනුම් දෙකක් සහ දනුක රත්නායක සහ හේෂාන් ජැන්සන් උත්සාහක දිනුම බැගින් වාර්තා කර ගත් අතර ‘Fairfirst Insurance’ කණ්ඩායම වෙනුවෙන් එම්. ඒ. එස්. ප්‍රනාන්දු උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනු ලැබීය. තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුණේ ලකුණු 20-14ක් ලෙසයි.

කාන්තා අවසන් තරගය

පසුගිය වසරේ ශූරතාවය දිනාගත් ‘Ceylon Tobacco’ කණ්ඩායම ලකුණු 25-00ක් ලෙස පරාජයට පත්කළ ‘CDB’ කණ්ඩායම තරගාවලියේ කාන්තා ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

බඳුන ශූරතාවය – අවසන් තරගය

Classic Travel’ සහ ‘Clovetel’ කණ්ඩායම් අතර පැවති මෙම තරගයේ දී ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබුවේ ‘Classic Travel’ කණ්ඩායමයි. ඒ චතුර සෙනෙවිරත්න ප්‍රතිවාදී ක්‍රීඩකයින් තිදෙනෙක් පසු කර යමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමත් සමඟයි. අනතුරුව තරගයේ නිමාවට මිනිත්තු 2ක කාලයක් ඉතිරිව තිබිය දී ‘Clovetel’ කණ්ඩායම වෙනුවෙන් චාමික තිවංක සහ බී. බස්නායක පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගත්තේ තම කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එමිනි.

කෙසේ නමුත් පසුව ‘Classic Travel’ කණ්ඩායම වෙනුවෙන් නිරෝෂ් උදයංග උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර ඉන් අනතුරුව පන්දුව වේගයෙන් රැගෙන ගිය ඔහු තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට පන්දුව ගයාන් වික්‍රමරත්නට බාර කළේය. ඒ අනුව ඔහු සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත පන්දුව රැගෙන ගියේ ‘Classic Travel’ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමිනි. තරගයේ අවසන් ලකුණු තත්වය ලකුණු 21-14ක් ලෙස දැක්විණ.

පලඟ ශූරතාවය – අවසන් තරගය

තරගයේ ලකුණු ලබා ගැනීම ‘Kanrich Finance’ කණ්ඩායම වෙනුවෙන් තිලිණ වීරසිංහ විසින් ආරම්භ කරනු ලැබූ අතර තරගයේ දෙවන අර්ධයේ දී ‘CDB A’ කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් රෙහාන් ත්‍යාගරාජා තරගයේ ලකුණු තත්වය සම කිරීමට සමත් විය. තරගයේ අවසාන අවස්ථාවේ දී වීරසිංහ හට දඬුවම් පහර අවස්ථාවක් ලැබුණු අතර ඒ වන විට කණ්ඩායම් දෙකම ලකුණු 7 බැගින් ලබා ගනිමින් සම තත්වයේ පසුවිය. කෙසේ නමුත් එම අවස්ථාව සාර්ථක කර ගන්නට වීරසිංහ අසමත් වූ අතර ඒ අනුව තරගය අමතර කාලය වෙත යොමු විය.

අමතර කාලයේ පළමු අර්ධයේ දී ‘Kanrich Finance’ කණ්ඩායම වෙනුවෙන් පබසර හේවගේ උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 12-07ක් ලෙසයි.

ශූරතා කුසලානය – අවසන් මහා තරගය

විදුලි ආලෝකය මධ්‍යයේ පැවති අවසන් මහා තරගය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසිනි. ‘Mas Holdings’ කණ්ඩායම තරගයේ මුල් භාගයේ දී ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර එහි දී ඔමල්ක ගුණරත්න ප්‍රතිවාදී ක්‍රීඩකයින් තිදෙනෙක් තමන් වෙත යොමු කර ගනිමින් පසුව පන්දුව අනුරුද්ධ විල්වර වෙත බාර කරන ලදි. ඒ අනුව ඔහු පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගියේ තම කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එමිනි. (MAS 07-00 Access)

ඉන් අනතුරුව ද උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ඔමල්ක විසින් අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරනු ලැබුවත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. තරගයේ පළමු අර්ධයේ නිමාවට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ‘Access’ කණ්ඩායම වෙනුවෙන් රිචඩ් ධර්මපාල උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ ලකුණු තත්වය සම කරමිනි. (MAS 07-07 Access)

තරගයේ දෙවන අර්ධයේ දී ද ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කරන්නට ‘Mas Holdings’ ක්‍රීඩකයින් සමත් වූ අතර එහි දී සඳුන් හේරත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් නැවතත් තම කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන ඒමට සමත් විය. (MAS 14-07 Access)

කෙසේ නමුත් තරගයේ අවසාන මිනිත්තුවේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයින් අතින් සිදු වූ දුර්වලතාවයකින් ප්‍රයෝජන ගත් ‘Access’ කණ්ඩායමේ රිචඩ් ධර්මපාල ඔහුගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ තරගයේ ලකුණු තත්වය නැවතත් සම කරමිනි. (MAS 14-14 Access)

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකේම ලකුණු තත්වය සම තත්වයේ පසු වූ බැවින් තරගය අතිරේක කාලයට යොමු වූ අතර එහි දී පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකටම උත්සාහක දිනුම් ලබා ගැනීමට අවස්ථාවන් ලැබුණත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. කෙසේ නමුත් අවසානයේ ‘Mas Holdings’ කණ්ඩායමේ නායක රොෂාන් වීරරත්න උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ තරගාවලියේ ශූරතාවය ‘Mas Holdings’ කණ්ඩායමට හිමි කර දෙමිනි. . (MAS 19-14 Access)

තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයින්

  • පලිහ ශූරතා කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩකයා – හේෂාන් ජැන්සන් (CDB B)
  • බඳුන ශූරතා කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩකයා – ගයාන් වික්‍රමරත්න (Classic Travels)
  • පලඟ ශූරතා කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩකයා – පබසර හේවගේ (Kanrich Finance)

කාන්තා අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව – ඉෂානි ඔබේසේකර (CDB)

අවසන් තරගයේ වීරයා – සඳුන් හේරත් (MAS)

සමස්ත තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා – රිචඩ් ධර්මපාල (Access)

ක්‍රීඩාවේ ජීවගුණය වෙනුවෙන් පිදෙන සම්මානය ‘Mas Holdings’ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

අවසන් දිනයේ තරග වල ප්‍රතිඵල

MATCH TEAM 01 SCORE SCORE TEAM 02
Shield QF 01 Janashakthi 35 10 HSBC
Shield QF 02 NTB 24 17 AMW ‘B’
Shield QF 03 CDB ‘B’ 15 12 Ceylon Knit Trend
Shield QF 04 Ceylon Tobacco 07 26 Fairfirst Insurance
Bowl QF 01 Clovetel 24 00 Sri lanka insurance
Bowl QF 02 Classic Travel 19 12 Hela Clothing
Bowl QF 03 Kandurata Umbrella 24 17 Brandix
Bowl QF 04 Prosperous Capital 19 14 SAMPATH BANK
Shield SF 01 Janashakthi 21 36 CDB ‘B’
Shield SF 02 NTB 21 24 Fairfirst Insurance
Bowl SF 01 Clovetel 15 05 Kandurata Umbrella
Bowl SF 02 Classic Travel 24 17 Prosperous Capital
Plate SF 01 Kanrich Finance Walk over
Plate SF 02 AMW ‘A’ 12 22 CDB ‘A’
Cup SF 01 Access 20 10 John Keells
Cup SF 02 MAS 14 10 Dialog
Shield Final CDB ‘B’ 20 14 Fairfirst Insurance
Ladies Final CDB 25 00 Ceylon Tobacco
Bowl Final Clovetel 14 21 Classic Travel
Plate Final Kanrich Finance 12 07 CDB ‘A’
Cup Final Access 14 19 MAS

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට