“වයස අදාළ නැහැ දක්ෂතාවයි වැදගත්” – චමරි අතපත්තු

113

වයස නොබලා දක්ෂතාවය අනුව ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවන් ගන්නා බවත් දක්ෂතාවය සඳහා වයස බාධාවක් නොවන බව වත්මන් ශ්‍රී ලංකා කාන්තා විස්සයි-විස්ස කණ්ඩායම් නායිකා චමරි අතපත්තු පවසා සිටියි. 

පෙබරවාරි 21 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි-විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (06) පස්වරුවේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේ දී අතපත්තු එසේ පවසන ලදි.

ත්‍රිත්ව, මහින්ද සහ සාන්ත තෝමස් ජයග්‍රාහකයින් අතරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ……

හත්වැනි වතාවටත් පැවැත්වෙන මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ‘A’ කාණ්ඩය යටතේ සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටය යටතේ ප්‍රබල ඉන්දියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ තරග වැදීමට නියමිතව තිබෙන නමුත්, ශ්‍රී ලංකා නායිකාව පවසන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී තමන් ඇතුළු කණ්ඩායමට විශේෂ දෙයක් සිදු කළ හැකි බව විශ්වාසයක් තිබෙන බවයි.

“මම 2009 වසරේ දී තමයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ආවේ. ඒ ඇවිල්ලා අපිට 2016 දී විතරයි අර්ධ අවසන් පූර්ව තරග වටය දක්වා එන්න පුළුවන් වුනා. ඒ තරගාවලියෙදීත් අපි 5 වැනි ස්ථානයට ආවා. මේ තරගාවලියේදීත් අපිට ක්‍රීඩා කරන්න වෙලා තියෙන්නේ අමාරු කණ්ඩායම් 4ක් එක්ක. ඒ නිසා මේ තරගාවලියේදීත් උඩ කණ්ඩායම් 4ට එන එක ලේසි නැහැ. අපිට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව වගේම බංග්ලාදේශය සමඟ තරග වැදීමට සිදු වෙනවා” යැයි එහි දී අදහස් දැක්වූ අතපත්තු පැවසීය.

“ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවක් තෝරන්නේ ලොකු වැඩපිළිවෙළක් යටතේ, ඕනෑම ක්‍රීඩිකාවක් ජාතික කණ්ඩායමට ආවම ඇයගේ වයස අදාළ නැහැ. ඇයගේ දක්ෂතාවය තමයි එතනට එන්නේ. තරුණ ක්‍රීඩිකාවනුත් අත්දැකීම් තිබෙන ක්‍රීඩිකාවන් හා සමානවම දක්ෂතාවය දක්වයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අත්දැකීම් ගැටලුවක් වුනත් දක්ෂතාවය තිබෙනවා නම් ඔවුන්ට අත්දැකීම් ලබා ගන්න එක ගැටලුවක් නැහැ” යැයි එම මාධ්‍ය හමුවේ දී සිය සංචිතය පිළිබඳව අදහස් දැක්වූ අතපත්තු පවසා සිටියාය.

දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් ක්‍රීඩාවෙන් සමුගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවක් ……

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන සටන ආරම්භ කරන්නේ නවසීලන්තයට එරෙහිව ලබන 22 වැනිදා සිඩිනි හිදී පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරමිනි. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහිව පුහුණු තරග 2කට සහභාගී වීමට නියමිතව තිබේ. 

එම පුහුණු තරග දෙක පිළිවෙළින් ලබන 16 සහ 18 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබුණ ද, දින 10කට පමණ කාලයකට පෙර ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාව බලා යෑමට ඉඩ පහස වෙන්කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු තණතීරු සහ එහි දේශගුණික තත්ත්වයන්ට හුරුවීම සඳහා වැඩි අවස්ථාවක් සලසාලීමේ අරමුණ ඇතිවයි.

මෙම මාධ්‍ය හමුවට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල අනුග්‍රාහක ආයතනයක් ලෙසින් කටයුතු කරන MAS ආයතනය විසින් ලෝක කුසලාන තරගාවලියේ දී කාන්තා පිල භාවිතයට ගනු ලබන නිල ටීෂර්ටය එළිදැක්වීම ද සිදු කෙරිණ. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා ද එක්ව සිටියේය. ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ තීරයට එක්කාසු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය, නවීන තාක්ෂණය භාවිතයෙන් ප්‍රතිචක්‍රීකරණය කරමින් මෙම ටීෂර්ටය නිෂ්පාදනය කර තිබීම කැපී පෙනෙයි.

මීට අමතරව කාන්තාවන් සවි බල ගැන්වීම වෙනුවෙන් MAS ආයතනය දියත් කොට ඇති “Go Beyond”  වැඩසටහන යටතේ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව වන කුසලතා වර්ධනය කිරීම කෙරෙහි ද වැඩපිළිවෙළක් දියත් කර ඇත. එමෙන්ම MAS ආයතනය විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන කාන්තා කණ්ඩායමට දිරිය දීමේ අරමුණින් වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය විය.

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි-විස්ස කාන්තා සංචිතය – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), අනුෂ්කා සංජීවනී, ශෂිකලා සිරිවර්දන, හංසිමා කරුණාරත්න, අමා කාංචනා, නිලක්ෂි ද සිල්වා, උදේශිකා ප්‍රබෝධනී, කවීෂා දිල්හාරි, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමාෂනී, සුරංගිකා කුමාරි, ඩිලනි මනෝදරා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන 

  • පෙබරවාරි 22 – ශ්‍රී ලංකාව සහ නවසීලන්තය – පර්ත් හිදී 
  • පෙබරවාරි 24 – ශ්‍රී ලංකාව සහ නවසීලන්තය – පර්ත් හිදී 
  • පෙබරවාරි 29 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව – මෙල්බර්න් හිදී 
  • මාර්තු 2 – ශ්‍රී ලංකාව සහබංග්ලාදේශය – මෙල්බර්න් හිදී 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<