ඉන්දියාවෙම දැලි ගෑ අශ්වින්ගේ ‘මන්කාඩ’ය

1638

එය 1987 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ නවවැනි තරගයයි. ස්ථානය ලාහෝරයේ ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානු පිලට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේ දී අවශ්‍යව තිබුණේ ලකුණු දෙකක් පමණක් වන අතර ඒ සඳහා ඉතිරිව තිබුණේ ද එක් කඩුල්ලක් පමණි. පාකිස්තානයේ පැවැත්වුණු තරගයක් හේතුවෙන් පාකිස්තානු පිලේ ජය පතා නැගෙන ඔල්වරසන් හඬ ගැන මෙහි සඳහන් කිරීමෙන් ඵලක් නැත. ඒ ඔල්වරසන් හඬ මධ්‍යයේ ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අවසන් පන්දුවාර යැවීමට පැමිණියේ කලක් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙසින් කිරුළු පළන් සිටි වේගපන්දු යවන කර්ට්නි වෝල්ෂ්ය.

පන්දුව යැවීම සඳහා දිව ආ වෝල්ෂ්ට දැක ගැනීමට හැකි වූයේ තම පන්දු යවන අන්තයේ සිටි පිතිකරු සිය සීමා ඉර පසුකර අඩි කිහිපයක්ම ඉදිරියට ගොස් ලකුණක් සඳහා පැති මාරු කර ගැනීම සඳහා වැඩි ඉඩ කඩක් නිර්මාණය කරගෙන සිටි අයුරුය. මෙය දුටු වෝල්ෂ් පන්දු යැවීම පසෙකලා කඩුල්ල අසලට පැමිණියේය. පාකිස්තානු පිලේ අවසන් පිතිකරු වූ සලීම් ජෆර් එසේ සීමා ඉරෙන් ඉදිරියට ගොස් සිටි පිතිකරුවා විය. සැවොම සිතුවේ වෝල්ෂ් කඩුල්ල බිඳ දමා තම කණ්ඩායමට ජයග්‍රහණය රැගෙන එනු ඇති කියාය. එබැවින් එතෙක් පාකිස්තානයට සහය පතා නැගුණු ප්‍රීති ඝෝෂා හඬ එකවරම මීයට පිම්බාක් මෙනි. ඒ නිශ්ශබ්දතාව අතුරින් කඩුල්ල අසලට පන්දුව රැගෙන ගිය වෝල්ෂ්, ‘මන්කාඩ්’ ක්‍රමයට කඩුල්ල බිද දමනවා වෙනුවට කළේ සීමා ඉරෙන් පිටත සිටි සලීම් ජෆර්ට සීමාව වෙත යළි පැමිණෙන පවසා සිටියේය.

‘මන්කාඩ්’ ක්‍රමය යනු පන්දු යවන්නා අතින් පන්දුව නිදහස් කරන අවස්ථාවේ දී පන්දු යවන අන්තයේ පිතිකරු සිය සීමා ඉරෙන් ඉදිරියට ගොස් සිටිය දී පන්දු යැවීම පසෙකලා පන්දු යවන අන්තයේ කඩුල්ල බිඳ දැමීමය. මේ ආකාරයේ දවා ගැනීම් ක්‍රිකට් නීතියට ඇතුළත් වුවද, එවැනි අවස්ථාවකට පෙලඹෙන්නේ එහෙමමත් කෙනෙක් පමණි.

1947-48 වකවානුවේ දී විනූ මන්කාඩ් නමැති හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයා විසින් ඕස්ට්‍රේලියානු පිතිකරු බිල් බ්‍රවුන්ව මේ ආකාරයෙන් දෙවතාවක දී ම දවා ගැනීම නිසා මෙම දැවී යෑමේ ක්‍රමයට ඔහුගේ නමේ කොටසක් වන’මන්කාඩ්’ යන කොටස එක් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් මෙම තරගයේ ජය බටහිර ඉන්දීය කොදෙව් පිලට තීරණාත්මක විය. මන්දයත් පළමු වටය යටතේ එංගලන්තය සමඟ තරගය ඒ වන විටත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්ව තිබූ නිසාවෙනි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග එංගලන්තය සහ පාකිස්තානය ජයගෙන තිබීම නිසා අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලැබීමට මෙම තරගයේ ජය කොදෙව්වන්ට තීරණාත්මක විය. එහෙත් ඒ වෙනුවෙන් වෝල්ෂ් තමාගේ ආත්ම ගෞරවය මෙන්ම රටේ ආත්ම ගෞරවය ඒ වෙනුවෙන් පාවා නුදුන්නේය.

ඒ සැණින් තම හඬ අවදි කළ වෝල්ෂ්, “ඕන නම් මට දැන් මේ කඩුල්ල බිඳලා මේ තරගය දිනන්න පුළුවන්. ඒත් එහෙම දිනලා වැඩක් නෑ. ඒ නිසා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා. ආයිත් පාරක් එහෙම කළොත් මං කඩුල්ල බිඳලා ඔයාව අවුට් කරනවා” යි පැවසීය. ඒ තරම්ම ක්‍රීඩාවට අවංක වූ වෝල්ෂ් විසින් ඊළඟට යවන ලද පන්දුවේ දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 2 වාර්තා කළ අබ්දූල් කාදර් පාකිස්තානු කණ්ඩායම ජය කණුව කරා රැගෙන ගියේය. එපමණක් නොව අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හොඳින්ම තිබූ අවස්ථාව ද අහිමි කරමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීමට පාකිස්තානු පිලට අවස්ථාව උදා විය. එතෙක් පැවති ලෝක කුසලාන තරගාවලි 3 දී ම අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණීමට සමත්වූ කොදෙව් කණ්ඩායමට අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් නොලද පළමු ලෝක කුසලාන තරගාවලිය ලෙසින් 1987 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය ඉතිහාස ගත විය.

එම තරගයේ ජය පාකිස්තානයට හිමි වුන ද පාකිස්තානයේ ජයග්‍රහණය පසෙකලා මිනිසුන් කතා කරන්නට පටන් ගත්තේ වෝල්ෂ්ගේ මහත්මා ගුණය ගැනය. ඔහුගේ ඒ ක්‍රියාව අගය කරමින් ලෝකයේ නන් දෙසින් සුබ පැතුම් ගලා ආවා පමණක් නොව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යනු ලොව නිහතමානීම ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින කණ්ඩායම ලෙසින් ද හඳුන්වනු ලැබීය. ඔබ මේ ලිපිය කියවන මොහොත දක්වාම බටහිර ඉන්දීය කොදෙව් පිල මහත්මා ගුණයෙන් පිරි නිහතමානී කණ්ඩායමක් ලෙසින් හඳුන්වන්නේ ඒ නිසාවෙනි.

වෝල්ෂ් එදා හඳුන්වා දුන් ඒ නිහතමානීත්වයේ ජීව ගුණය, මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිනෙන් දිනම අහිමි වෙමින් පවතියි. ඒ පිළිබඳව හොඳම උදාහරණය සපයනු ලබන්නේ ඉන්දියාවේ දී ක්‍රියාත්මක වෙමින් පවතින අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ රාජස්ථාන් රෝය්ල්ස් කණ්ඩායම අතර පැවති තරගයේ දී ය. කිංග්ස් XI පන්ජාබ් වෙනුවෙන් පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින් විසින් රාජස්ථාන් පිලේ ආරම්භක පිතිකරු ජොස් බට්ලර්ව මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව බොහෝ දෙනා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ. කිංග්ස් XI පන්ජාබ් පිලේ නායකයා ලෙසින් අශ්වින් කටයුතු කිරීම, එල්ලවන විවේචනයන් තවත් උග්‍ර වීමට හේතු වී තිබේ.

තරගයේ 12 වැනි පන්දුවාර ක්‍රියාත්මක කළ අශ්වින් පස්වැනි පන්දුව යැවීමට පැමිණ, මඳක් නැවතී තම අන්තයේ කඩුල්ල බිඳ හෙළුවේය. ඒ සැණින් කරන ලද ඉල්ලීම ද තෙවැනි විනිසුරුවරයා දක්වා ඇදී ගිය ද ක්‍රිකට් නීතියට අනුව එය දැවී යෑමක් බැවින් තෙවැනි විනිසුරු ද එය දැවී යෑමක් ලෙස නම් කරනු ලැබීය. එහෙත් එම පුනරූපන නැරඹීමේ දී බට්ලර් හිතා මතාම තම සීමා ඉර ඉක්මවා ගොස් නැති බව පැහැදිළිවම දිස් විය. පන්දු යැවීමට පැමිණි අශ්වින්ගේ අතින් පන්දුව මුදා හැරෙනු ඇතැයි සිතෙන වේලාවට අනුව බට්ලර් සිය සීමා ඉරෙන් ඉදිරියට පැමිණි නමුත්, පන්දු යැවීම පසෙකලා කඩුල්ල බිද දැමීමට අශ්වින් කටයුතු කළේය.

සැබැවින්ම කණ්ඩායමක නායකයකු යනු සෙසු ක්‍රීඩකයින්ට ද ආදර්ශමත් විය යුතු චරිතයකි. නායකයා මානව සම්බන්ධතාවලින් යුක්ත කෙනෙක් විය යුතුය. ඒ පිළිබඳ නිර්වචනය ඊට එහාට රැගෙන ගියහොත් නැණවත් බව, උපායශීලී බව, සත්‍යවාදී බව, ඉවසීම, පෞරුෂය, අවංකකම, සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව, විශ්වාසවන්ත බව මෙන්ම ආත්ම විශ්වාසය නායකත්වයේ ලක්ෂණ ලෙසින් හැඳින්වේ. එවන් වූ පුළුල් පථයක් දක්වා නායකත්වයේ ලක්ෂණ විහිදී තිබුණ ද අශ්වින්ගේ බාලාංශ ආකාරයේ හැසිරීම පිළිබඳව බොහෝ ක්‍රීඩකයින්ගේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

අශ්වින් විසින් මෙවැනි ආකාරයේ දවා ගැනීමක් සිදු කරන ලද පළමු අවස්ථාව ද මෙය නොවන්නේය. මීට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2012 වසරේ පැවති එක්දින තරගයක දී ලකුණු 44ක් ලබා සිටි ළහිරු තිරිමාන්නව ද මන්කාඩ් ආකාරයේ දැවී යෑමකට ගොදුරු කරගත්තේය. එහෙත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයට පටහැනි ක්‍රියාවක් බව පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ලද පෝල් රයිෆල් සහ බිලී බවුඩ්න් දෙදෙනා, නායකයා ලෙසින් කටයුතු කරන ලද විරෙන්ද්‍ර ෂෙවැග්ට පෙන්වා දීමෙන් අනතුරුව තවදුරටත් පන්දුවට පහර දීමේ අවස්ථාව තිරිමාන්නට ලබා දීමට ෂෙවැග් එකඟ විය.

අශ්වින් විසින් සිදු කළ ක්‍රියාව සම්බන්ධව එවකට අදහස් දක්වා සිටි මහේල ජයවර්ධන, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය අශ්වින් විසින් කෙලසූ බවයි. ඒ වතාවේ දී මහේල ජයවර්ධනගේ විවේචනයට පමණක් ලක්වූ අශ්වින් මෙවර නම් මූණේ මදි නොකියන්න තරම් දැලි ගා ගත්තේය. අශ්වින් විසින් සිදු කරන ලද මෙම ක්‍රියාව සම්බන්ධව ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩ නිකුත් කර තිබෙන අතර ඉන් එකක හෝ අශ්වින් සිදු කරන ලද ක්‍රියාව අනුමත කර නැත.

මෙම ගැටලුවට මුහුණ දුන් රාජස්ථාන පිලේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන ෂේන් වෝන් පවසා ඇත්තේ, පන්ජාබ් නායකයා විසින් සිදු කරන ලද ක්‍රියාව පිළිබඳව තමා දැඩි කලකිරීමට පත්ව සිටින බවයි. “සෑම කෙනෙක්ම අයි. පී. එල්. තරගාවලියේ ජීව ගුණය ආරක්ෂා කරන්න බැඳී සිටිනවා. ඒත් අශ්වින් කළ දේ මේ තරගාවලියට අහිතකර විදියට බලපාන බව මා තරයේ විශ්වාස කරනවා. ඒ වගේම ඔහු කරපු ඒ වැඩේ ගැන අවධානය යොමු කොට සුදුසු දඬුවමක් දෙන ලෙසට ද මම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. මෙම සිදුවීම නිසා අශ්වින් නින්දිත කෙනෙක් විදියට ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතකයේ රැඳේවි” යැයි වැඩිදුරටත් සටහන් කර තිබේ.

ෂේන් වෝන් එසේ පවසද්දී එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන පැඩී අප්ටන් ද අදහස් දක්වමින් පවසා ඇත්තේ, සිදු කරන ලද එම ක්‍රියාව තුළින් අශ්වින්ගේ සැබෑ ස්වරූපය පිළිබිඹු වන බවයි. තරගාවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රාජස්ථාන් පිලේ පුහුණුකරු, “අශ්වින් සිදු කළ එම ක්‍රියාව මගින් ඔහුගේ සැබෑ ස්වරූපය අපට හොඳින්ම දැක ගන්නට ලැබුණා. ඒ වගේම නායකයකු සතු ගුණාංග කිසිවක් ඔහු තුළ තිබෙනවා ද යන්න පිළිබඳව සැකයක් පැන නගිනවා. ඔහුගේ මේ අයහපත් ක්‍රියා කලාපය ගැන ක්‍රීඩාලෝලීන් තීරණය කරාවි. ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගනිමින් ශිෂ්ට සම්පන්නව ක්‍රීඩා කිරීමයි අපේ අරමුණ විය යුත්තේ. අශ්වින් සිදු කළ මේ අශිෂ්ට සම්පන්න ක්‍රියාව පිළිබඳ සමස්ත ලෝකයේම අවධානය යොමු විය යුතුයි” යනුවෙන් පවසා තිබේ.

එංගලන්ත එක්දින පිලේ නායක ඉයන් මෝගන් පවසන අන්දමට අශ්වින් සිදු කළ දේ සම්බන්ධව තමන් විමතියට පත් වන බවත්, එහෙත් කාලයාගේ ඇවෑමත් සමඟ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස පශ්චාත්තාපයට පත්වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් පවසා තිබේ. එංගලන්ත එක්දින නායකයා එසේ සඳහන් කර සිටිද්දී එම කණ්ඩායමේම තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසා ඇත්තේ, ‘ලෝක කුසලාන අවසන් මහ තරගයක දී මන්කාඩ් ආකාරයෙන් ඉන්දීය නායක විරාත් කෝලිව දවා ගැනීමට තමන්ට අවස්ථාවක් හිමි වුවද කිසි විටෙක එවැනි අයහපත් ක්‍රියාවක් තමන් සිදු නොකරන බව පවසා තිබේ.

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවකි. එවන් ක්‍රීඩාවක මෙවැනි නොමනා දැවී යෑම් සිදු නොවිය යුතුය යන්න අනාදිමත් කාලයක සිටම පැවත එන්නකි. ලොව නන් දෙසින් වූ විරෝධතාවන් අශ්වින් වෙත ගලා එද්දී ඒ පිළිබඳ වූ යම් වගකීමක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමි වේ.

ඒ පිළිබඳව පණිවිඩයක් නිකුත් කර ඇති අයි. පී. එල්. තරගාවලි සභාපති රජීව් ශුක්ලා සඳහන් කර ඇත්තේ, මන්කාඩ් අයුරින් දවා ගැනීම සම්බන්ධව තරගාවලිය ආරම්භයට පෙර පැවති නායකයන් සහ තරග තීරකයන් අතර වූ හමුවේ දී සාකච්ඡාවට බඳුන් වූ බවත්, එහි දී මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමේ අවස්ථා හිමි වුවද එවැනි දවා ගැනීම් සිදු නොකිරීමට සියල්ලෝම එකඟතාවයට පැමිණි බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ශුක්ලා පවසා ඇත්තේ එම සාකච්ඡාවට ඉන්දීය නායක විරාත් කෝලි මෙන්ම හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ද සහභාගි වී සිටි බවයි. ඒ අනුව බැලීමේ දී අශ්වින් විසින් සිදු කරන ලද ක්‍රියාව ඇතැම් විට පුදුමය දනවන ක්‍රියාවක් ලෙසින් ද හැඳින්විය හැක.

හදිසියේම පහළ වුණු ඉසුරු උදානය

මෑත කාලේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබලා ….

මෙවැනි ආකාරයේ ක්‍රියාවලින් සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය පහළවැටීම මෙන්ම අනාගත පරපුරට වැරදි පූර්වාදශයක් සැපයීමය. ‘ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස පැළඳිය යුත්තක් නොවේ’ යන්න ප්‍රකට කියමනකි. ක්‍රීඩාව යනු ජය, පරාජය, සතුට දුක මුසු වූ සුන්දර අත්දැකීමක් බව ඔබ අප සියලු දෙනා කුඩා කාලයේ සිටම ප්‍රගුණ කර එන්නකි. ඉවසීමකින් යුක්ත, කැපවීමක් සහිත, අධිෂ්ඨානයෙන් යුක්ත, ආත්ම විශ්වාසයෙන් හිබි සාර්ථක පුද්ගලයකු නිර්මාණය කරන්නට ක්‍රීඩාවෙන් ලැබෙන දායකත්වය අති ප්‍රබලය. එය ඇතැම් විට එකිනෙකාට එරෙහිව යුද වදින රාජ්‍යයන් පවා ක්‍රීඩාවේ නාමයෙන් සහෝදරත්වය බෙදා හදා ගන්නා වකවානුවක අශ්වින් විසින් සිහියෙන් හෝ අසිහියෙන් සිදු කරන ලද ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකිය.

ඔබට ක්‍රිකට් උගැන්වූ පිරිස් ක්‍රිකට් ක්‍රීඩා කරන හැටි හරියටම කියා දී තිබේ. ඔබ ද ඒ පාඩම් ප්‍රගුණ කිරීම අකුරටම කර තිබේ. ඒත් මේ අවස්ථාවේ දී කීමට ඇත්තේ ක්‍රිකට් ඉගැන්වීමේ දී ඔවුන්ට එක් කොටසක් අතපසු වී තිබෙන බවයි. ඒ පරාජයේ දී ඉවසා දරා සිටීම මෙන්ම රටක් නියෝජනය කරන්නෙකු කෙසේ හැසිරිය යුතු ද යන්න පිළිබඳවය. ක්‍රීඩා කරන්නේ දිනන්නම නොවන බවත් වඩා වටින්නේ මහත්මා ගුණය රැක ගනිමින් ක්‍රීඩාවේ නියැළීම බවත් ඔවුන් ඔබට කියා දුන්නේ නම් මේ තරම් දොසක් ඔබ ලෝකයාගෙන් අසන්නේ නැත. මෙය වහා ඔබ තේරුම් ගත යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ මෙතෙක් කලක් පැවති මහත්වරුන්ගේ ක්‍රීඩාව වලපල්ලට ගොස් අනාගතයේ දී එය ‘මහත් හොරුන්ගේ’ ක්‍රීඩාවක් බවට පත්වීමය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<