මලියදේවයට කඩුලු 7ක විශිෂ්ට ජයක්

540

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී 22 වැනි වරටත් පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය සමත්විය.

“ඇතුගල්පුර සටන” ජය පරාජයයෙන් තොරව අවසන්

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර “ඩයලොග් ආසිආටා” සමාගමේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ 34 වන “අතුගල්පුර සටන” අද (18) සවස නිමාව දුටුවේ…

අද (19) උදෑසන කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව සාන්ත ආනා නායක වනිත වන්නිනායක පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. ඒ අනුව පිටියට පිවිසි සාන්ත ආනා ආරම්භක පිතිකරු යුගලයට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට මලියදේව පන්දු යවන්නන් ඉඩ කඩ ලබා දුන්නේ නැත.

ඒ අනුව සාන්ත ආනා ලකුණු පුවරුවට ලකුණු 11ක් එකතුවෙද්දී ආරම්භක පිතිකරු පුබුදු ගනේගම එක් ලකුණකට දවා ගැනීමට මලියදේවයේ මානෙල්ක ධර්මදාස සමත්විය. ඉන් අනතුරුව පිටියට පිවිසි දිනෙත් චන්දිමාල් ලකුණු 11කට දැවී ගියේ සාන්ත ආනා ඉනිමේ දෙවන බිල්ල බවට පත්වෙමිනි. සාන්ත ආනා නායක වනිත වන්නිනායක විමුක්ති බණ්ඩාරට එකතුවී තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 24ක සබඳතාවයක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 16කට දැවී ගියේ කවිඳු බණ්ඩාරගේ පන්දුවක් හමුවේය.

විමුක්ති බණ්ඩාරට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් දමිත් සිල්වා ලකුණු 30කට විමුක්තිගේ ඉනිම නිමා කළේය. මොහොතකට පසු කවිඳු රණසිංහ ද ලකුණු 2කට දැවී ගියේ කවිඳු බණ්ඩාරගේ ඊළඟ දඩයම බවට පත්වෙමිනි. සාන්ත ආනා ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවය වූ ලකුණු 34ක සබඳතාවය 6 වන කඩුල්ල වෙනුවෙන් වාර්තා කරන්නට රන්දීර රණසිංහ සහ තරින්ද විජේසිංහ සමත්වූහ.

6 වැනි කඩුල්ල ලෙසින් ලකුණු 34ක් ලබා සිටි රන්දීර රණසිංහ දැවී ගියේ සාන්ත ආනා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. ඊයේ (18) අවසන් වූ මෙම විදුහල් දෙක අතර පැවති මහා ක්‍රිකට් තරගයේ ද වැඩිම ලකුණු ලාභියා වූයේ, ශතකය පෙනී පෙනී ලකුණු 98කට අවාසනාවන්ත ලෙස දැවී ගිය රන්දීර ය. ඉන් අනතුරුව සාන්ත ආනා ඉනිමට තවත් ලකුණු 31ක් එකතු වෙද්දී සියලු දෙනා දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු140ක් පමණි.  

පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වෙලගෙදර තණතීරුවේ දී ප්‍රතිවාදී මලියදේවයට අභියෝගයක් එල්ල කිරීමට තරම් එය ප්‍රභල ලකුණු පුවරුවක් වූයේ නැත. ඊයේ (18) අවසන් වූ මහා ක්‍රිකට් තරගයේ දී මලියදේවයට උඩ පන්දු 9ක් ගිලිහි ගිය ද, අද (19) ඔවුන් ඒ අඩුපාඩු සියල්ල සකසා ගෙන සාන්ත ආනා ඉනිම අඩු ලකුණු ගණනකට සිමා කිරීමට සමත්විය.

මලියදේවය වෙනුවෙන් ලකුණු 141ක ඉලක්කයක් හඹා යාමයට පැමිණි මලියදේව ආරම්භක පිතිකරු බ්‍රයන් චන්ද්‍රසේන, ලකුණු 8කට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නායක වනිත වන්නිනායක සමත්වූයේ අඩු ලකුණු ගණනක් වුව ද ආරක්ෂා කර ගැනීමට සිය කණ්ඩායමට හැකි බව ප්‍රදර්ශනය කරමිනි.

ඉන් අනතුරුව දෙවන කඩුල්ල ලෙසින් දිල්ශාන් කොල්ලුරේ ලකුණු 13කට දවා ගැනීමට ලක්ෂිත ද සිල්වා සමත්වීමත් සමඟ තරගය තවදුරටත් දෙපිලටම විවෘත විය. තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සබඳතාවයක් ගොඩ නැංවීමට දිනන්ජය ප්‍රේමරත්න සහ දුලාජ් රණතුංග සමත්වූහ. වනිත ඇතුළු පිරිසට රිසි සේ පහරදුන් මෙම පිතිකරු යුගලය පාලනය කරගැනීමට නොහැකි වූ සාන්ත ආනාවන්ගෙන්, ජයග්‍රහණය දුරස්විය. තෙවන කඩුල්ල ලෙසින් දුලාජ් රණතුංග ලකුණු 53කට දැවී යන විට මලියදේව ලකුණු පුවරුව ලකුණු 113ක් ලෙස දිස්විය. ඉන් අනතුරුව පිටියට පිවිසි නායක දමිත් සිල්වා දිනන්ජය සමඟ එක්ව මලියදේවයට ජයපැන් බීමට අවස්ථාව සලසා දුනි. 34 වැනි පන්දු වාරයේ දී මලියදේවය ලකුණු 141ක් රැස්කරමින් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කරන ලදි.

මෙම තරගයේ හොඳම පන්දු යවන්නා ලෙසින් ලකුණු 12කට කඩුලු 2ක් බිඳ හෙලූ කවින් බණ්ඩාර සම්මන ලබද්දී, හොඳම පිතිකරු සම්මානය හිමි වූයේ දුලාජ් රණතුංගටයි. හොඳම පන්දු රකින්නා ලෙස මුදුත ප්‍රේමදාස සම්මාන ලැබූ අතර සියලුම සම්මාන මලියදේවයට හිමිවීම කැපී පෙනෙන සිදුවීමක් විය.

සාන්ත ආනා විදුහල සියල්ලන් දැවී ලකුණු 140 ( පන්දුවාර 48.1): රන්දීර රණසිංහ 34, විමුක්ති බණ්ඩාර 30,  කවීන් බණ්ඩාර 2/12 ,සන්ජිවන් ප්‍රියදර්ශන 2/16,දිනන්ජය ප්‍රේමරත්න 2/22 සහ මානේල්ක දර්මදාස 2/30

මලියදේව විදුහල  කඩුලු 3 කට ලකුණු 141 (පන්දුවාර 33.1): දුලාජ් රණතුංග 53, දිනම්ජය ප්‍රේමරත්න 35* , ලක්ෂිතද සිල්වා 2/18

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට