ඇතුගල්පුර සටනට කුරුණෑගල සුදානම්

488

“ඇතුගල්පුර සටන” හෙවත් වයඹ පළාතේ ප්‍රධානතම මහා ක්‍රිකට් ගැටුම ආරම්භ වීමට හරියටම ඇත්තේ තවත් දිනක් පමණි. මෙම මහා ක්‍රිකට් තරගයෙන් රටට දායාද කල විශිෂ්ටතමයා “රංගන හේරත්” ය. ඔහු ගැන අටුවා ටීකා අවැසි නැත. ලොව අංක එකේ වමත් දඟ පන්දු යවන්නා ඔහු ය. අද ජාතික ටෙස්ට් කණ්ඩායමේ පෙරමුනේරාළ හෙවත් නායකයාගේ භූමිකාවට පණ පොවන්නේ ඔහුය. එමනිසාම ඔහුගේ දස්කම් විදහාපාන්නට තෝතැන්නක් වූ “ඇතුගල්පුර සටනේ” තතු සොයා ThePapare.com අපි කුරුණෑගල ගියෙමු.

“ශූරතාවය මලියදේවයට ලබා ගැනීම අපේ අරමුණයි” – දමිත් සිල්වා

5 වන වරටත් ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රහකත්වයත් සමඟින් පැවැත්වෙන 34 වන “ඇතුගල්පුර සටන” කුරුණෑගල මලියදේව විදුහල සහ සාන්ත ආනා විදුහල

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර පවත්වනු ලබන ඇතුගල්පුර සටනේ 34 වන දිගහැරුම මාර්තු 17 වැනිදා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී සිදු වේ. විදුහල් දෙක අතර පවත්වනු ලබන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මාර්තු 19 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. එය පැවැත්වෙන්නේ 22 වන වතාවටයි.

මෙම මහා ක්‍රිකට් තරගය ආරම්භ වන්නේ 1959 වසරේ දී ය. 1965 සිට 1979 දක්වා කිසියම් හේතුවක් මත තරගය පවත්වා නොමැති නමුත් 1980 සිට මේ දක්වා අඛණ්ඩව තරගාවලිය පවත්වා ගෙන යනු ලබයි. මලියදේව විදුහල තරග 4ක් ජයගෙන ඇති අතර සාන්ත ආනාවන්ට මේ වන තුරුත් මහා ක්‍රිකට් තරගයක ජය පැන් බොන්නට ලැබී නැත. අවසන් වරට විසදුමක් සහිතව තරගයක් අවසන් වූයේ 2014 වසරේ දී මලියදේව විදුහලට ජය හිමිකර දෙමිනි.

[rev_slider dfcc728]
.

1992 දී ආරම්භ වූ “මලියදේව – සාන්ත ආනා” සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී මලියදේවය තරග 11ක ජය තහවුරු කරගෙන ඇති අතර, සාන්ත ආනාවන් තරග 8ක ජය තමන්ගේ නමට ලියාගෙන ඇත. තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මහා ක්‍රිකට් තරග ඉතිහාසය තුල විදුහල් දෙකෙන්ම ශතක 8ක් වාර්තා වී ඇති අතර, පන්දු යවන්නන් විසින් කඩුලු 5කට වඩා බිඳහෙලු අවස්ථා 17ක් සටහන්වේ. වැඩිම ලකුණුලාභියා ලෙස ඉතිහාසගතව ඇත්තේ මලියදේව විදුහලේ සුදර්ශන ගුරුගේය. ඒ 1980 දී ලකුණු 156ක් ලබා ගනිමිනි. හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කියන්නේ මලියදේවයේ දමිත් ගුණතිලකය. ඔහු විසින් 2001 දී ලකුණු 26කට ප්‍රතිවාදීන්ගේ කඩුලු 6ක් බිඳහෙලා ඇත.

“මලියදේවයට හොඳ සටනක් දෙන්න අපිට පුළුවන්” – වනිත වන්නිනායක

හෙට (17) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී කුරුණෑගල මලියදේව විදුහල සහ කුරුණෑගල සාන්ත ආනා විදුහල…

මලියදේව – සාන්ත ආනා මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තවත් සුවිශේෂී වාර්තාවක් පවති. එය ලොව හොඳම වමත් දඟ පන්දු යවන්නාගේ නමට ඉදිරියෙන් ලියවී ඇත. එනම් මේ දක්වා වාර්තා වී ඇති එකම කඩුලු ත්‍රිත්වයේ හිමිකරුවා මලියදේවයේ රංගන හේරත් ය. 1997 වසරේ දී ඔහු ලබා ගත් එම කඩුලු ත්‍රිත්වයත් සමඟින් ඔහුගේ පන්දු යැවීම සටහන්ව ඇත්තේ ලකුණු 27කට කඩුලු 6ක් වශයෙනි.

ඇතුගල්පුර සටනේ ඉතිහාසය එලෙස සොයා බැලූ අප වත්මන් තත්වය සොයා බැලීමට ද අමතක කලේ නැත. මෙවර මලියදේව කණ්ඩායම මෙහෙයවන්නේ දමිත් නවීන් සිල්වා ය. උපනායකයා දිල්ශාන් කොල්ලුරේය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කල දමිත් සිල්වා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. සාන්ත ආනා කණ්ඩායමේ නායක වනිත වන්නිනායක ද ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කල දක්ෂ ක්‍රීඩකයෙකි. ඔහුගේ උපනායකයා තුන් ඉරියව් ක්‍රීඩක රන්දීර රණසිංහය. පසුගිය වසරේ දී පැවති අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය වයඹ පළාත් කණ්ඩායමට දිනා ගැනීමට හැකි වූයේ ද දමිත්ගේ නායකත්වය යටතේය. එම ශූරතාවය වයඹ පළාතට දිනා ගැනීමට තම දායකත්වය උපරිමයෙන් ලබා දුන් ක්‍රීඩකයෙකු ලෙස සාන්ත ආනා නායක වනිත වන්නිනායක ද හඳුන්වාදිය හැකිය.

Maliyadeva & St.Anne's

කවදත් දේශීය ක්‍රීඩාවට අත හිත දෙන “ඩයලොග්” ආයතනයේ අනුග්‍රහයෙන් මෙවර ඇතුගල්පුර සටන පැවැත්වෙනු ලබන අතර, සීමිත පන්දු වාර තරගය පවත්වනු ලබන්නේ “දම්රෝ” ආයතනයේ අනුග්‍රහයෙනි.

මෙවර මහා ක්‍රිකට් තරගය සඳහා තරග විනිශ්චයෙන් දායක වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු (ICC) රැන්මෝ මාටිනස් මහතා සහ ජේ. ආර්. ඩබ්. විශ්වකුල මහතාය. අතිරේක විනිසුරුවරයා ලෙස ප්‍රියාන් විතානාච්චි මහතා කටයුතු කරනු ඇත.

හෙටින් ඇරඹෙන ඇතුගල්පුර සටනේ තතු විත්ති ඔබ වෙත සමීප කරවීමට ThePapare.com අපි සුදානම්. තරගයේ නවතම තොරතුරු දැනගැනීමට ඔබත් අප සමඟින් එකතු වන්න.

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න