“ඇතුගල්පුර සටන” ජය පරාජයයෙන් තොරව අවසන්

232

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර “ඩයලොග් ආසිආටා” සමාගමේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ 34 වන “අතුගල්පුර සටන” අද (18) සවස නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයක් ලෙසිනි. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්විණි.

ඇතුගල්පුර සටනේ පළමු දිනයේ වැඩි වාසිය සාන්ත ආනාවන්ට

කුරුණෑගල මලියදේව විදුහල සහ කුරුණෑගල සාන්ත ආනා විදුහල අතර 34 වන වරටත් පවත්වනු ලබන ඇතුගල්පුර සටනේ පළමු දිනය නිමාව දකින විට මලියදේව විදුහල සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 48ක් ලබා සිටියි…

ඊයේ (17) උදෑසන මලියදේව නායක දමිත් සිල්වා කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී සාන්ත ආනාවන්ට ලබා දුන් අතර, ඉන් උපරිම ඵල නෙලාගත් සාන්ත ආනා නායක වනිත වන්නිනායක ඇතුළු පිරිස ඊයේ සවස කඩුලු 7ක් බිඳ වැටි ලකුණු 307ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටුවා මලියදේව විද්‍යාලයට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දුන්නේය.

සාන්ත අන්න ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රන්දීර රණසිංහය. ඉතාමත් අවාසනාවන්ත ලෙසින් සිය ශතකයට ලකුණු දෙකක් ඉතිරිව තිබිය දී, ඔහුට ක්‍රීඩාගාරය වෙත යාමට සිදුවූයේ මලියදේව නායක දමිත් සිල්වාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යාමකට හසුවීමෙනි. ඒ වන විට පන්දු 116කට මුහුණ දී  සිටි රන්දීර් සිය ඉනිම දර්ශනීය 4 පහර 13කින් සරසා තිබිණි.  ඔහුගේ විශිෂ්ට පිතිහරඹය නිසාම තරගයේ වීරයාට හිමි සම්මානය ද රන්දිර්ට හිමි විය. හොඳම පන්දු රකින්නාට හිමි සම්මානය හිමිවූයේ රන්දිර්ව දවාගත් මලියදේව නායක දමිත් සිල්වාටය. හොඳම පන්දු යවන්නා ලෙසින් සම්මාන හිමි කර ගත්තේ ලකුණු 68කට කඩුලු 5ක් බිඳහෙලු සාන්ත ආනාවේ පුබුදු ගනේගම ය. සාන්ත ආනා පළමු ඉනිම මෙතරම් ඉහළට ඔසවා තබන්නට නොදැවී ලකුණු 56ක් රැස්කළ තරින්ද විජේසිංහ සහ අගනා ලකුණු 56ක් රැස්කළ කවිඳු රණසිංහ ඉහළ දායකත්වයක් ලබා දුන්හ.

ඊයේ (17) සවස තරගය නතර කරන විට මලියදේවය සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් ලබාගෙන තිබුණි. ඉන් අනතුරව තරගයේ දෙවන දිනය වූ අද (18) යලි සිය ඉනිම ආරම්භ කල මලියදේව විද්‍යාලය ලකුණු 68ක් රැස්කරගෙන සිටි අවස්ථාවේ, තෙවන කඩුල්ල ලෙස දුලාජ් රණතුංග ලකුණු 17කට දැවී ගියේය. ඉන් මඳ වේලාවකට පසු මලියදේව ආරම්භක පිතිකරු බ්‍රයන් චන්ද්‍රසේන ද ලකුණු 30ක් ලබා සිටිය දී ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පියුමාල් සිංහවංස සමත් විය.

ඉන් අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 සබඳතාවයක් ගොඩනැගීමට නායක දමිත් සිල්වාට සහ මුදිත ප්‍රේමදාසට හැකිවිය. එම සබඳතාවය බිඳ වැටුනේ මුදිත ලකුණු 20කට දැවී යාමත් සමඟය. ඉන් අනතුරුව සිය නායකයා හා එක්වූ කවීන් බණ්ඩාර සිය පිත්තෙන් ලකුණු 30ක් රැස් කරමින් ගරා වැටෙමින් තිබූ මලියදේව ඉනිමට ජීවයක් එක් කරන්නට සමත්විය. කවීන්ගේ දැවි යාමත් සමඟ ලකුණු 63 සබඳතාවය නිමා විය.

ඉන් අනතුරුව පිටියේ තනිවූ මලියදේව නායකයට හොඳ සහායකයෙක් ඉතිරිවී සිටියේ නැත. එනමුත් සිය නායකත්වයේ වගකීම එලෙසම ඉටු කළ දමිත් සිල්වා ලකුණු 85ක් මලියදේව ලකුණු පුවරුවට දායාද කිරීමට සමත්විය. ඉන් අනතුරුව දිගු සබඳතා ගොඩනැගීමට කිසිදු ක්‍රීඩකයෙකුට ඉඩක් ලැබුනේ නැත. මලියදේව විද්‍යාලයට පළමු ඉනිමට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 224 ක් පමණි.

අනතුරුව සිය දෙවන ඉනිම ආරම්භ කල සාන්ත ආනා ආරම්භක පිතිකරු යුගලය දිනය නිමාවන තුරුම පිටියේ රැදී සිටීමට සමත් විය. පන්දුවාර 14කට මුහුණ දී ලකුණු 53කින් සාන්ත ආනා දෙවන ඉනිම වර්ණවත් කිරීමට ඔවුන්ට හැකිවිය. දිනය නිමාවීමත් සමඟ ජය පරාජයෙන් තොරව තරගය අවසන් විය. ඇතුගල්පුර සටන් ඉතිහාසයේ දී එකදු තරගයක හෝ ජය පැන් බොන්නට අවස්ථාව නොලද සාන්ත ආනාවන්ට මෙවර ද එම අවස්ථාව ගිලිහිණි. මලියදේව විදුහල අවස්ථා හතරක දී මෙහි ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබේ.

හෙට (18) මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 22 වන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය වෙලගෙදර ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

සාන්ත ආනා විදුහල පළමු ඉනිම – කඩුලු 7 කට ලකුණු 307 ( පන්දුවාර 73.5): රන්දීර රණසිංහ 98, තරින්ද විජේසිංහ 56*, කවිඳු රණසිංහ 56, පුබුදු ගනේගම 34, කවීන් බණ්ඩාර 2/45 සහ දමිත් සිල්වා 2/97

මලියදේව විදුහල පළමු ඉනිම – සියල්ලන්ම දැවී 224 (පන්දුවාර 101.2): (දමිත් සිල්වා 85, බ්‍රයන් චන්ද්‍රසේන 30, කවීන් බණ්ඩාර 30, මුදිත ප්‍රේමදාස 20, පුබුදු ගනේගම 5/68, කවිඳු රණසිංහ 2/47, පියුමාල් සිංහවංස 2/54 )

සාන්ත ආනා දෙවන ඉනිම ලකුණු 53 (පන්දුවාර 14)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට