5 වන වරටත් ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රහකත්වයත් සමඟින් පැවැත්වෙන 34 වන “ඇතුගල්පුර සටන” කුරුණෑගල මලියදේව විදුහල සහ සාන්ත ආනා විදුහල අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී හෙට (17) ආරම්භ වේ.

යළිත් වරක් මහින්දයට බැට දෙන්නට රිච්මන්ඩ් බලකාය සූදානමින්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හෙට සහ අනිද්දා (මාර්තු 17 – 18) දෙදින තුල පැවැත්වීමට නියමිත 112 වන “ආදරවන්තයන්ගේ සටන” සඳහා මෙවර අන්තර් පාසල් 19න් පහල පළමු පෙළ ක්‍රිකට්…

මෙවර මලියදේව කණ්ඩායම මෙහෙය වන්නේ දමිත් නවීන් සිල්වා විසිනි. උපනායකයා දිල්ශාන් කොල්ලුරේ ය. 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කල දමිත් සිල්වා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු මෙවර පාසල් ක්‍රිකට් වාරය තුල ලකුණු 547ක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව ලකුණු 108ක් සහ කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිව නොදැවී ලකුණු 110ක් ලබා ගනිමින් වාර්තා කල ශතක දෙකක් ද ඊට ඇතුළත් වේ. මිට අමතරව පන්දු යැවීමෙන් ද කඩුලු 51ක් දවා ගැනීමට දමිත්ට හැකි විය. හොඳම පන්දු යැවීම ලකුණු 46කට කඩුලු 5ක් ලෙස වාර්තා වේ. පසුගිය වසරේ දී පැවති 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය වයඹ පළාත් කණ්ඩායමට දිනා ගැනීමට හැකි වූයේ ද දමිත්ගේ නායකත්වය යටතේය.

මෙවර පාසල් ක්‍රිකට් වාරය තුල මලියදේව විදුහල ලකුණු 300කට වැඩියෙන් රැස්කළ අවස්ථා 5ක් ඇති අතර වැඩිම ලකුණු ලබා ගැනීම ලෙස කොළඹ සාන්ත ජෝසප් විදුහලට එරෙහිව ලබා ගත් කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 403 දැක්විය හැක. උපනායක දිල්ෂාන් කොල්ලුරේ මුල් පෙළ පිතිකරුවෙක් ලෙස කණ්ඩායමට එක්වේ. ඔහු මෙවර පාසල් ක්‍රිකට් වාරය තුල ලකුණු 508ක් ලබාගෙන ඇති අතර පන්දු රකින්නෙකු ලෙස ද විශිෂ්ට දස්කම් දක්වා ඇති ක්‍රීඩකයෙකි. මලියදේවයේ කඩුලු රකින්නා වන දුලාජ් රණතුංග කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වේ.

මෙවර ලකුණු 800ක් රැස්කරගෙන ඇති දුලාජ්, කොළඹ ආනන්ද විදුහල එරෙහිව ලබා ගත් ලකුණු 111 සහ සාන්ත ජෝසප් විදුහලට එරෙහිව ලබා ගත් ලකුණු 118ත් සමඟින් ශතක 2ක් ද තමාගේ වාර්තා අතරට එක් කර ගැනීමට සමත් විය.

මලියදේව විදුහලේ ආරම්භක පිතිකරු දිනන්ජය ප්‍රේමරත්න ද මෙවර පාසල් ක්‍රිකට් වාරය තුල ලකුණු 500කට වඩා ලබාගෙන ඇති දක්ෂ පිතිකරුවෙකි. මේ වන විට ඔහු ලකුණු 560ක් වාර්තා කර ඇත. ඒ අතර වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලට එරෙහිව ලබා ගත් ලකුණු 141ක ශතකය ඔහුගේ හොඳම ලකුණු ලබා ගැනීම ලෙස සටහන්ව ඇත. මිට අමතරව ආරම්භක පිතිකරු සුපුන් සුමනරත්න, සුපුන් නිස්සංක, විශ්ව දිසානායක සහ නවක ක්‍රීඩක මුදිත ප්‍රේමරත්න මලියදේව පිතිකරණය ශක්තිමත් කරන සෙසු ක්‍රීඩකයන් වේ.

මලියදේව පන්දු යැවීමේ බල ඇණියේ ඉදිරියෙන්ම සිටින්නේ මඳ වේග පන්දු යවන ක්‍රීඩක මාන‍ෙල්ක ධර්මදාස සහ දිනන්ජය ප්‍රේමරත්නය. දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායම් නායක දමිත් සිල්වා, වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක කවීන් බණ්ඩාර සහ වමත් පා දඟ පන්දු යවන සංජිවන් ප්‍රියදර්ශන කණ්ඩායමට එකතු වී සිටියි.

මෙවර තරග වාරයේ දී මලියදේව විදුහල තරග 14කට සහභාගී වී පූර්ණ තරග ජයග්‍රහණ 2ක් වාර්තා කර ඇත. ඒ පන්නිපිටිය ධර්මපාල විදුහලට සහ කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිවයි. නමුත් තර්ස්ටන් විදුහල සහ නාලන්ද විදුහල සමඟ පැවැත්වූ තරග දෙකෙන් පරාජයට පත්වීමට ඔවුන්ට සිදුවිය. මෙරට ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් වන කොළඹ ආනන්ද විදුහලට සහ සාන්ත ජෝසප් විදුහලට එරෙහිව ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට ද මලියදේව කණ්ඩායම සමත්වී තිබීම කැපිපෙනෙන සිදුවීමකි.

සමස්ත ලංකා අන්තර් පාසල් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට ද මලියදේවය දැනටමත් සුදුසුකම් ලබා ඇත. ඒ අර්ධ අවසන් පූර්ව තරගයට පෙර ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ අර්ධ අවසන් පූර්ව තරගයේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමිනි. මෙවර මලියදේව විදුහලේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මලියදේවයේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ තුසිත හේරත් මහතාය. ක්‍රිකට් භාර ආචාර්යවරුන් ලෙස මහින්ද උදුවරැල්ල සහ ශිරන්ත බණ්ඩාරනායක යන මහත්වරු කටයුතු කරයි.

මලියදේව කණ්ඩායම් නායක දමිත් සිල්වා තරගය පිලිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.

damith“මෙම තරගාවලිය පැවැත්වෙන්නේ මම සහ මගේ කණ්ඩායම ඉතාමත් හොඳින් දක්ෂතා අතර ඉන්න අවස්ථාවක, එ් නිසාම මම විශ්වාස කරනවා මෙවර ශූරතාවය දිනා ගැනීමට අපිට හැකියාව තියනවා කියලා. ඒ සදහා අපට දක්ෂ පුහුණුකරුවෙක් ඉන්නවා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න අවශ්‍යයි, තරගයේ ජය පරාජය බොහොම සතුටෙන් විඳ දරා ගන්න අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනි. ඒ නිසා හැමෝටම කියන්න තියන්නේ බොහොම සහෝදරත්වයෙන් මේ සඳහා එකතු වෙන්න. සහෝදරත්වයෙන්ම තරගය අවසන් කරන්න සහයෝගය දෙන්න කියල හැමෝගෙන්ම බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.”

ඇතුගල්පුර සටනට සුදානම් මලියදේව සංචිතය.

දමිත් සිල්වා (නායක), දිශාන් කොල්ලුරේ (උපනායක), මන‍ෙල්ක ධර්මදාස, දුලාජ් රණතුංග, දිනන්ජය ප්‍රේමරත්න, පවිත්‍ර මදුශාන්, සංජිව ප්‍රියදර්ශන, සුපුන් නිශ්ශංක, සහන් රණතුංග, මුදීත ප්‍රේමදාස, දේශව බ්‍රියාන්, සෙරන් ගුණරත්න, චාලුක අතපත්තු, ශාචින්ත කලන, නිශාන්ජය හෙට්ටිආරච්චි, කවීන් බණ්ඩාර, අංජන සිව්රත්න, භාග්‍ය සුපුන්

දමිත් ඇතුළු මලියදේව කණ්ඩායමට ThePapare.com  අපි ද සුබ පැතුම් එක්කරමින් මලියදේවයෙන් සමු ගත්තේ හෙට (17) වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී මුණ ගැහෙන බලාපොරොත්තුවෙන්.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<