මාලිංග – ඇමති ගැටලුව දිග්ගැස්සෙයි

1411

රජයේ ඇමතිවරයෙක් හට අපහාස වන අන්දමින් වචන භාවිතා කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඊයේ (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා තිබුණි. අමාත්‍යවරයා හා ලසිත් මාලිංග අතර මෙම මත ගැටුම හට ගත්තේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව අමාත්‍යවරයා සිය අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

“ඔය කියන අය මෙහෙ ෆිට්නස් හදන් ගිහිල්ලා ගහන්නේ ඉන්දියාවට” – දයාසිරි කියයි

ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ නිමාවත් සමඟින් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පවතින…

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තු උල්ලංඝණය වන ලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වීම නිසා මාලිංගට මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙනවා.” ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒ.එෆ්.පී. වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

“ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කරන අය විතරයි. ඒකට තමයි කියන්නේ ගිරව් එළියේ ඉද්දී රිළව් බෙනේ ඉන්නවා කියලා. මොකද, ගිරවා තමයි දන්නේ බෙනේ වෙන්නේ මොනවද කියලා. ගිරවාට තමයි බෙනේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒක නිසා ගිරවා දන්නවා බෙනේ දී මොකද වෙන්නේ කියලා. ඒකට රිළව් රිංගලා වෙන වෙන උත්තර දෙන්න ගියාම වැරදි වෙන්න පුළුවන්. මම දන්නේ නෑ කවුද ඒ කතා කිව්වේ කියන එක. මං ඒවා අහන්න ගියේ නැහැ.” යැයි මාලිංග විසින් ඊයේ (21) එක්තරා මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තමන් ක්‍රීඩා කළ අවසන් තරගයේ දී පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් විසින් ලබා දුන් උඩපන්දු දෙකක්ම අත් හරින ලදි. එම අවස්ථාවන්වල දී පන්දු යැවීම සිදු කළේ ලසිත් මාලිංග විසින් වන අතර, මාලිංග එදින ලකුණු 52කට එක් කඩුල්ලක් දවා ගනිමින් තම පන්දුවාර 10 අවසන් කරන ලදි.

“සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ ශරීරය තුළ තිබිය යුතු මේද ප්‍රමාණය 16%ක් පමණ වුවත් අපේ බොහෝ ක්‍රීඩකයින්ගේ මෙම ප්‍රතිශතය දැක්වෙන්නේ 25%කටත් වැඩි අගයක.” යැයි අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදහස් ප්‍රකාශ කළේය.

ශාරීරික යෝග්‍යතාවය අතින් ප්‍රශස්ත මට්ටමට පැමිණ නොමැති එවන් ක්‍රීඩකයින් හට ඉදිරියේ දී ජාතික සංචිතය සඳහා ක්‍රීඩා කිරීමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කරන බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

33 වැනි වියෙහි පසුවන මාලිංග තම පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පසුගිය මාස 18ක කාලයක් පුරාවට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් බැහැරව සිටියේය.

මාලිංග ශූරයින්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීමට පෙරාතුව, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාවය ජයග්‍රහණය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ලදි. විදෙස්ගත වී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තම දායකත්වය ලබා දුන් මාලිංගට, ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යාමට පෙර මහනුවර ප්‍රදේශයේ දින කිහිපයක්ම පැවැත්වූ පුහුණු කඳවුරට ද සහභාගී වීමට නොහැකි විය.

“කොච්චර දක්ෂ ක්‍රීඩකයෝ වුනත් කමක් නෑ. මොකද, ඒගොල්ලෝ මෙහෙ ෆිට්නස් හදන් ගිහින් ගහන්නේ ඉන්දියාවට ඔය කියන සමහර කට්ටිය. ඒ නිසා ලංකාවට නෙමෙයි ඒගොල්ලෝ වැඩිපුර ගහලා තියෙන්නේ සල්ලිවලට. ඒ නිසා කරුණාකරලා ඇවිල්ලා ෆිට්නස් එක හදාගෙන ඉන්න කියන්න.” යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (21) සවස මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.

“එක එක ක්‍රීඩකයන්ට උත්තර දෙන්න මම සූදානම් නැහැ. දැකපු දේ තමයි මම මේ කිව්වේ. ෆිට්නස් එක හොඳ නම් ඒ අයට යන්න පුළුවන්, නැත්නම් මම ෆිට්නස් එක පිළිබඳව අවසන් තීන්දුවක් අරන් තියෙනවා. හැම ක්‍රීඩකයෙක්ම ෆිට්නස් ටෙස්ට් එකට ඉන්න ඕන. ඒ ටෙස්ට් එක පාස් වුනොත් අනුමත කරනවා, නැත්නම් අනුමත කරන්නේ නැහැ.” වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<