කුලේ – මාලි ක්‍රිකට් අඹරෙන් බැස යන්නට මත්තෙන්

1243

සබඳතාවයන් යනු ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ඉතාමත් වැදගත් ගුණාංගයකි. පිටියේ විනිසුරුවරුන් දෙදෙනා, විස්තර විචාරක කුටියේ සිටින දෙදෙනා, පිතිකරණයේ නිරත වන විට වගේම පන්දු යවන විටත් මේ සබඳතාවය යන දෙය ක්‍රිකට් ක්‍රීඩාව තුල බොහෝ සෙයින් වැදගත් වේ.

වසර 20කට පසුව ශ්‍රී ලංකාව කළින්ම එළියට විසිවෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ……………

මාස 13ක වෙනසක් සහිතව මෙලොව උපත ලැබූ නුවන් කුලසේකර හා ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වරම් දිනා ගන්නේ මාස 8ක වෙනසක් ඇතිවයි. 20 වැනි සියවසේ අවසන් සමය තුල හා 21 වැනි සියවස ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ සිටි ප්‍රධානතම වේගපන්දු යවන්න බවට පත්වූයේ චමින්ද වාස් බව නොරහසකි. 

වාස් සිය උපරිම දස්කම් වෙත පැමිණෙන විට ඔහුගේ සහාය වෙනුවෙන් තවත් වේගපන්දු යවන්නෙක් සෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කිරීමත් සමඟම 2003/04 යන වර්ෂවල දේශීය ක්‍රිකට් සමාජ මට්ටමේ ඉහළ දස්කම් අතර සිටි නුවන් කුලසේකරට හා ලසිත් මාලිංගට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට හැකි විය.

එතැන් සිට වසර 6ක් යන තුරු එනම් චමින්ද වාස් අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදෙන තාක් කල් වාස්, කුලසේකර හා මාලිංග යන තිදෙනාම ක්‍රීඩා කර තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග 4ක් (ටෙස්ට් තරග 2, එක්දින තරග 2) පමණි.

2009 වසර නුවන් කුලසේකරගේ ක්‍රිකට් දිවියේ විශාලතම හැරවුම් ලක්ෂය බවට පත් වූයේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදිනු ලබන සෑම ක්‍රිකට් තරගයක දී ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමත් සමඟයි. ඒත් සමඟම ජාත්‍යන්තර ක්‍රිකට් එක්දින පන්දු යවන්නන් වර්ගීකරණයේ අංක 1 පන්දු යවන්නා බවට පත්වීමට කුලසේකර සමත් විය. ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් එවැනි දස්කමක් කළ පළමු හා එකම අවස්ථාව තවමත් එයයි.

2006 පාකිස්තානයට එරෙහිව පරාජයකින් ගමන ආරම්භ කරන ශ්‍රී ලංකා වේගපන්දුවේ කුලේ – මාලි යන සුසංයෝගය 2009 වසරේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු සබඳතාවය බවට පත්වූ අතර 2011 ලෝක කුසලානයේ අනුශූරතාවය හා 2014 විස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් කිරුල ජය ගැනීම වෙනුවෙන් කුලේ – මාලි යන සුසංයෝගය විශාල දායකත්වයක් දැක්වූවා. ඒ කැපකිරීම හා දක්ෂතාවය ඔබට අපට අද මෙන් මතකය.

නමුත් 2011 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව තරග වැදුණු තරග 9 තුල (අවසන් මහා තරගය ද ඇතුළත්ව) කුලේ – මාලි සුසංයෝගය ක්‍රීඩා කළේ තරග 4ක් පමණි. ඒ නිසාවෙන් ඔවුන් දෙදෙනාගේ සබඳතාවය එතරම් ඉස්මතු නොවුණු බව හැබෑය. නමුත් ඉන් වසර 3කට පසුව එනම් බංග්ලාදේශයේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කුලේ – මාලි සුසංයෝගය ඉතාමත් හොඳින් ඉස්මතු වූයේ තරගාවලිය අවසානයේ ලෝක ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා කුලසේකර (තරග 6යි කඩුලු 8) වීම හා එහි කණ්ඩායම් නායකයා මාලිංග වීමත් සමඟයි. 

මාලිංග හා කුලසේකර මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 3ක්, එක්දින ක්‍රිකට් තරග 105ක් හා විස්සයි විස්ස ක්‍රිකට් තරග 43ක දී ශ්‍රී ලංකාව නියෝජනය කොට ඉන් තරග 89ක දී ශ්‍රී ලංකාවේ ජය මාවත විවර කර තිබේ. 

ක්‍රිකට් ක්‍රීඩාව යනු නිරන්තරයෙන්ම සබඳතා මත දුවන ක්‍රීඩාවකි. කඩුලු අතර දුවන විට දී පවා දෙදෙනෙකු අතර තිබෙන අවබෝධය (එකිනෙකා අතර තිබෙන අවබෝධය) ඉතාමත් වැදගත්ය. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය දෙස බැලූ කළ සංගා – මහේල, ගිල්ක්‍රීස්ට් – හේඩ්න්, සනත් – කළු, ගංගුලි – සචින්, වසීම් – වකාර් යන යුගලයන් ක්‍රීඩකයින් ලෙස තවමත් අපේ මතකයේ සිටින ක්‍රීඩක යුගලයන් වේ. 

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ වන්නේ ක්‍රීඩකයින් පමණක් නොව එය පවත්වා ගැනීම සඳහා සහාය වන තරග විනිසුරුවරුන්, විස්තර විචාරකයින් ඇතුළු බොහෝ දෙනෙකුගේ සහාය ද අවශ්‍ය වේ. විනිසුරුවරුන් ලෙස ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන – පාකිස්තානයේ අලීම් ඩාර් ද, විස්තර විචාරකයින් ලෙස ටෝනි ග්‍රේයිග් – බිල් ලොව්රි යන පුද්ගලයින් පවා ක්‍රිකට් ක්‍රීඩාව තුල විවිධ අංශයන් හරහා යුගල ලෙස ප්‍රසිද්ධියට පත් වූ සැබෑ දක්ෂයින් වේ. 

© cricketworld.com
©YouTube

කුලසේකර හා මාලිංග යන දෙදෙනා  අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ජාත්‍යන්තර මට්ටමේ දී නියෝජනය කර තිබෙන්නේ 2017 ජූලි මාසයේ දී වන අතර එදා සිට මේ දක්වා එනම් වසර 2කට ආසන්න කාලයක් ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල එකට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැත. 2004 වසරේ සිට 2017 දක්වා වසර 13ක් කුලේ – මාලි සුසංයෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙය අපමණය. 

 

එසේම 2017 වසරේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ඇතුළත් වූ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙස ජය ගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ රටේ දී ම විස්සයි විස්ස තරගාවලි පරාජයකට ලක්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එවර ද මාලිංග හා කුලසේකර යන දෙදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

කුලේ – මාලි දෙදෙනාම 4 පහරක් ගැසූ විට පිටින් සිනාසී ඇතුළෙන් ඒ පිතිකරුවාව දවා ගැනීමට දරන වෙහෙස ක්‍රිකට් ක්‍රීඩාව බුද්ධියෙන් බලන අයට නම් හොඳින්ම තේරෙනු ඇත. දැන් දෙදෙනාම වයස අවුරුදු 36 ඉක්මවූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන අතර සංගා – මහේලට ලබා දුන්නාක් මෙන් ගෞරවාන්විත සමුගැනීමක් කුලේ – මාලි සබඳතාවයට ද ලබා දිය යුතුය. ඒ ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කළ මෙහෙය කියා නිම කළ නොහැකි නිසාවෙනි.

ඉන්දියාව පරාජය වෙමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන දොර වසා දමයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (30) බර්මින්ග්හැම් …….

ඔවුන් දෙදෙනාගේ දක්ෂතා පමණක් නොව ඔවුන් දෙදෙනාගේ ටෙස්ට් ජර්සි අංක ද (මාලිංග 99, කුලේ 100) එක ළඟමය. එක්දින හා විස්සයි විස්ස තරග රටාවේ ජර්සි අංක (මාලිංග 99, කුලේ 92) වේ. ඔවුන් දෙදෙනාගේ මිතුදම ඉතාමත් සමීපය. 

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම වේගපන්දු යවන්නෙක් වන චමින්ද වාස් 2007 වසරේ දී ඔහුගේ අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන විට, ශ්‍රී ලංකා සංචිතයේ සිටි වේගපන්දු යවන්නන් වූ මාලිංග, කුලසේකර, ෆර්වීස් මහරූෆ් හා දිල්හාර ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින් තරුණ ක්‍රීඩකයින් විය. නමුත් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ වේගපන්දු යවන්නෝ සියලුම දෙනාම වයස අවුරුදු 30ට වඩා වැඩි ක්‍රීඩකයින් වන අතර නුවන් ප්‍රදීප්ගේ ආබාධය නිසා සංචිතයට පැමිණි කසුන් රාජිත නම් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. 

මාලිංග පසුගිය දා BBC සිංහල වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාව තුල සිය අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්, වසර 13කට ආසන්න කාලයක් ඔහුගේ ක්‍රිකට් පිටියේ සඟයා වූ කුලසේකරට ද සමුගැනීමේ තරගයක් ලබා දෙන ලෙස ඔහු යම් ඉල්ලීමක් කරන ලදි. එය නැවත එකතු වීමකට ද? නොමැති නම් ගෞරවාන්විත සමුගැනීමකට ද? නොමැති නම් එය පමා වුනා වැඩි ද? එය විසඳීම කාලයට පැවරෙනු ඇත.

නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ දක්වා කඩුලු 313ක් දවාගෙන තිබෙන අතර ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ දක්වා කඩුලු 529ක් දවාගෙන තිබේ. මාලිංග හා කුලසේකර සමුගැනීමට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුල සිටින වේගපන්දු යවන්නන් කවුද? 

පිළිතුරු සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් හා ඉසුරු උදාන වේ. නමුත් ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු වේ අනාගතය භාරගැනීමට සිටින්නේ කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, විකුම් සංජය, ලහිරු කුමාර හා දුෂ්මන්ත චමීර වැනි ක්‍රීඩකයින් වන නමුත් ඔවුන්ට නිසි ලෙස අත්දැකීම් ලබා දීම කළ යුතුය. එසේම ක්‍රීඩකයින් සමුගන්නා විට සිදු කරන ආදේශ ඉතාමත් “සුමුදු” ලෙස නොකරන්නේ නම් එය ක්‍රීඩාවේ අනාගතයට විශාල බර පැනකි.

දැන් අප 2019 ලෝක කුසලානයෙන් ඉවත් වී අවසන්ය. එසේම වෙන්නට තිබූ දේ ද වී හමාරයි. ඒ නිසාවෙන් 2023 පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට දැන් තියාම අප සූදානම් වීම සිදු කළ යුත්තේ නිසි පෙරදැක්ම තබාගෙනයි. එසේ නොවුවහොත් දැන් තත්වයට වඩා බරපතළ ගැටලුවකට ශ්‍රී ලංකා ක්‍රිකට් මුල පුරනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<